Friday, January 10, 2014

හිච්චි මාමා වෙනුවෙන්.



මෙයට පෙරත් ජනධිපතිතුමාට ලියුමක් ලීවා.

ආදරණිය ජනධිපති මාමේ,

මෙන්න මේ ලියමන ලියන්නේ බෝගම්බර ඉන්න අපේ හිච්චි මාමගේ බලවත් පෙරැත්තය නිසාය.

පහුගිය දොහක මාමා බලන්නට බෝගම්බර ගිය වෙලේ හිච්චි මාමා මට බලකොට කියා සිටියා මේ ගැන ඔබතුමාට ලියන්නයි කියා.මේක ලියන්න පරක්කු කොරන්න එපා කියලා මේ යකා මාමා මට කෝල් කරලත් නිතරම කියන නිසාත්, උන්දැ කියන දේවල් වල ඇත්තක් තියෙනවයි මගේ ටිකිරි මොළේටත් වැටහෙන නිසායි මේ ලියුම් කරදාහිය ලියන්නේ.

කසිප්පු අරක්කු පෙරුවත් අපේ හිච්චි මාමා ගමේ වුන්න හරිම අහිංසක,සාධරණ මිනිහෙක් බව අපි හොදටම දන්නේය.මම එහෙම කියන්නේ එකා අපේ මාමා නිසාම නොවේය.අනික කසිප්පු අරක්කු පෙරුවත් ඒකා ඒහෙම කළේ ගමේ වුන්ගේ බලවත් ඉල්ලීම නිසාය.මාමාට බෝගම්බර මහා උළු ගෙදර ලගීන්න වුණේ ගමේ වුන්නු එපාම කරපු චණ්ඩිය වෙච්චි ඉන්දරේට පිහියෙන් ඇන මරාපු නිසාය.මාමාට එහෙම ඉන්දරේ මරන්නට සිද්ධ වුණෙත් මාමාට ඔබතුමාට වගේ අයුක්තිය,අසාධරණේ පෙන්වන්න බැරි නිසාය.  

හැමදාම මාමා පෙරන අරක්කු බලහත්කාරයෙන් නිකං බිලා ගිය  ඉන්දරේ එහෙම යන ගමන් ඔබතුමාටත්,අපේ දේශප්‍රේමි ආණ්ඩුවේ මැති ඇමතිලාටත් බැණ,බැණ ගියේ ඌගේ සරමත් කරට අරන්ය.ඌ ඔබතුමාට නිතරම බැන්නේ චින්නුන්ගෙ ගිනිපොලි ගෙවන්න ඔබතුමා අරක්කු,සිගරට් මිල උස්සනවා කියලාය.ඒ නිසා අපේ මාමා පෙරන දහාජරාව බොන්න වෙනවායයි ඌ නිතරම කිවේය.එත් එහෙම ඔබතුමා අරක්කු,සිගරට් මිල උස්සන්නේ වෙන හේතුවක් නිසා නොව ඉන්දරේ වාගේ බේබද්දන්ගේන් මේ උතුම් මෘතෘ භූමිය රැකගන්නට බව උන් පිළිගත්තෙම නැතිය.

අනිත් අතට ඒවයේ මිලගණන් එහෙම ඉහළ යාම නිසා අපේ හිච්චි මාමලාටත් වාසිය.ඒ හිචිචි මාමා පෙරන අරක්කු වලට තියෙන ඉල්ලුම වැඩි වීමෙන් මාමාගේ ආර්ථිකේ යහපත් වන නිසාය.මාමාගේ ආර්ථිකේ යහපත් නිසා මාමාගේ ගෙදර ආර්ථිකේට හොදය,ගෙදර ආර්ථිකේ යහපත් නිසා එකෙන් හන්දියේ කඩේට වාසිය,කඩේට වාසියි යනු රජයට වාසි වීමයි.ඒ කඩේ තියෙන හැමදේටම ඔබතුමාලා බදු අය කරන නිසාය.මෙන්න මේ සරල ආර්ථික න්‍යායවල් ඉන්දරේලා වගේ මෝඩයන්ට තේරෙන්නේ නැත.

හැමදාමත් අපේ මාමා හොරකම්,මැරකම් නොකර ඉතා දුක සේ පෙරන මේ අරක්කු ටික ඉන්දරේ වගේ උන් පිනට බිලා යන එක මාමාට බලාගෙන ඉන්න බැරුව ගියේය.     

ඒ මන්දයත් අපේ හිචිචි මාමාටත් ජනධිපති මාමාට සේම අසාධරණේ පෙන්වන්න බැරි නිසාය.අවසානයේදී ඉවසලා,ඉවසලා බැරිම තැන මාමා තීරණයක් ගත්තේය.ඉතින් මාමේ ජනධිපති මාමේ එහි අන්තිම ප්‍රතිපලය වුණේ අපේ අහිංසක හිච්චි මාමාට බෝගම්බර ලගින්නට වුණු එකය.අනේ එකෙන් අපේ හිච්චි මාමාට සිද්ධ වුණේ නම් බලවත් අසාධාරණයක්ය.මහත් වරදක්ය.

අවසානේ කුරුලු කුඩුවක් වගේ තිබුණු හිච්චි මාමාගේ ගෙදර දැන් සිසීකඩය.නැන්දාත් දැන් ජයේ මාමාලාගේ ගෙදරය.එකටත් අපේ මාමාට වාවාගෙන ඉන්න බැරිය.අනික ඔය ජයේකාරායා වරක් මටත් පාර්ට් එකක් දැම්මේය.ඌට පාඩමක් කියා දෙන්න අපේ හිච්චි මාමා එන්නම ඕනෙය. හිච්චි මාමා නිතරම කියන්නේ අනේ ඉතින් මේ වරද නිවැරදි කරන්න පුළුවන් ඔබතුමාට පමණක්ම කියලාය.එකත් ඇත්තය.මාමාත් එක්ක එක කල්දෙරමේ බත් කාපු එස්.බි ඇමතිතුමාගේ කට්ටියක් ඔබතුමාගේ කරුණාවෙන් ගෙදර යන්න ලැස්ති වෙනවාය.ඉතින් අපේ හිච්චි මාමා කියන්නෙ හරිනම් එයාටත් මේ නිදහස ලැබෙන්න ඕනේ කියාය.

මේ නිදහස හිච්චි මාමාටත් ලැබෙන්න ඕනේ කියා මට කෝල් කරලා හිච්චි මාමා මට කිවේ මෙන්න මේ කරුණු නිසාය.
  1. ඔබතුමාගේ පාක්ෂිකයෙක් වීම.
  2. ඉන්දරේ වැනි දේශද්‍රෝහීන්ට විරුද්ධ වීම.
  3. ජන්ද කාලෙට ඔබතුමාගේ ගෝලයන් වෙනුවෙන් දන්සැල් දී තිබීම.
  4. ජන්ද කාලෙට විරුද්ධ පාක්ෂිකයන්ට පහරදී තිබීම.
  5. ඔබතුමාට මෙන් මාමාටත් උඩු රැවුලක් තිබීම.
මේවාට අමතරව තවත් කරුණු ගොඩාරියක් හිච්චිමාමා කිවාත් මට ඒවා අමතකය.මේ මතක ටිකය.

ඉතින් ආදරණිය ජනධිපති මාමේ,ඔබතුමා මේ කරුණ ගැන ඉතා සංවේදීව බලනු ඇති බව අපේ හිච්චිමාමා හිතයි. ඒහිරකරයෝද මනුෂ්‍යන් වන බැවින් හා ඔබතුමා අපේ සංවේදී නායකතුමා වන නිසාය.

ප.ළි.ය:කාලෙකින් දේශපාලනයට සම්බන්ධ කිසිවක් ලියන්නට නොහැකිවූ නිසා මෙය ලියන්නට සිත්විය.උඩ කාටුනය අවන්ත ආටිගල ගෙනි.




Friday, January 3, 2014

සිතල දුරුත්ත.


මේ වගේම සිතල දුරුත්තක අපි හමුවුණු හැටි කොහොමද අමතක කරන්නේ?කවදාවත් අමතක නොවන මුළු ලෝකෙම සමරන දවසක අපි පෙමින් බැදුන හැටි,අමතකද ඔය සිනිදු අත මගේ මේ සුරත උඩින් තියලා හිමි,හිමිට ඔය දෙතොල් පෙති මුමුණලා කිව්වා මට ඔයා ආදරේයි කියලා.ජිවිතේට වසන්තේ ආවේ එදා තමයි කියලායි මට හිතුණේ.

මතකද ඒ වසන්තේ අපේ ජිවිතවලට කොයි තරම් මිහිරක් ගෙනාවද කියලා.ඉර ඇහැරෙන්නත් කලින් අවදිවෙලා ඔයා සුබ උදැසනක් කියලා එවපු දුරකථන පණිවිඩයෙන් පටන් ගන්න දවස ඒ ඉර අවරට ගිහින් මුළු ලෝකෙම නිදිය ගන්න වේලාවේ ආයෙමත් ඔය එවන සුබ රාත්‍රියක් කියන පණිවිඩයෙන් ඉවර වෙන දවස පුරාවටම කොයි තරම් දේවල් අපේ ජිවිතවල සිද්ධ වෙන්න ඇතිද...?අමතක නැහැ නේද අපි ඒවාට මුහුණ දීපු හැටි.

මතකයි නේද අත්වැල් පටලාගෙන අපි ගමන් කරපු හැටි මහරගම නගරය පුරාවටම,සමහරක් දවස්වල ඒ විදියට අරමුණක් නැතුව ඇවිදලා,ඇවිදලා හති වැටෙනකොට,බොරලැස්ගමුව වැව ගාවට ඇවිත් ගල්බංකුවක් උඩ වාඩිවෙලා වැවේ හංස බෝට්ටු පදින අය දිහා බලගෙන හිටි හැටි සමහරක් දවස්වල එහෙම බෝට්ටුවක අපිත් නැගලා පැදපු හැටි අමතකද කරන්නේ කොහොමද.?

ඇයි සමහරක් වැසි දවස්වල එකට තුරුල් වේවි එක කුඩයක් යටින් ඇවිදන් ගිය හැටි,තවත් දවසක ගිනිගෙන දැවෙන හිරුගෙන් බේරෙන්න ඒ කුඩේ යටම අපි ගුලි වුණ හැටි හරියට නිකන් අද ඊයේ වගේයි නේද ඒ මතකය.

වෙරළේ මාළිගා හැදුවොත් රැල්ල ගහනකොට ඒවා කැඩෙනවා.අහසේ මාළිගා හැදුවත් ඒවා වළාකුළු එක්කම නැතිවෙනවා.ඒ බව දැන,දැනම අපි වෙරළේ මාළිගා හැදුවා,අහසේ මන්දිර තැනුවා.අනාගතය ගැන හින මැව්වා.ඒ දැකපු හින,ඒවා යථාර්ථයක් කර ගන්න අපි දරපු වෙහෙස,උත්සාහයන් කොයි තරම්ද?මගේ හෙවනැල්ල කියලා සමහරු ඔයාව දකිනකොට,එහෙම දැකපු අයට මම කිවේ ඔයා මගේ හෙවනැල්ල නෙමේ මගේ හුස්ම කියලායි.

එත් ඒ වසන්තේ හැමදාටමත් පවතින වසන්තයක් නොවුනේ ඇයි කියන ප්‍රශ්නයට තාමත් මම උත්තර හොයනවා.ජිවිතේ ලගින්ම වුන්න සමහරක් අය අපෙන් ඇත්වෙනකොට අපි කොයි තරම් ලං වුණාද?එත් දවසක මේ වගේ දුරස් වෙන්න වේවි කියලා හිතුණානම් සත්තයි ලං වෙන්නේ නැහැ ඒ තරම් කවදාවත්.

සිතල දුරුත්තක හමුවුණු අපි ඊටත් වඩා සිතල දුරුත්තකදීම සමුගත්තා.ඒ තීරණය හරි වුණත්,වැරදුණත් ඒක යළිත් හරවන්න අපි දෙන්නාටම නොහැකි වුණත්,තාමත් සිතල දුරුත්ත එනකොට ඔයා ගැන මතකය අවදි වෙනවා වෙනදාටත් වඩා වැඩියෙන්.ඉතින් මේ සිතල දුරුත්තේ මට නිතරම මතක් වෙන ප්‍රශ්නයක් තියෙනවා.කවදාවත් උත්තරයක් නොලැබෙන.


දුරස් වන්නට මේ ලෙසින් 
ඇයිද අප හමුවුණේ
දුරස් වන්නට මේ ලෙසින් 
මොටද අප ඉපදුණේ 

අත්වැල් බැද මංමාවත් දිග 
ඔහේ ඇවිද ගිය කාලය මතකද 
පුංචි ළදැරියක් වගේ හුරතලෙන් 
ඔබ හිනැහුණු ඒ කාලය මතකද  

අනාගතය ගැන අහස් මාළිගා 
අප දෙදෙනා මැව් කාලය මතකද 
ඔබේ පෙම්වතා ලෙසින් එදා මා 

ඔබේ ලගින් වුන් කාලය මතකද.

ප.ළි.ය: මේ ලොකු ඇස් ගැන නොවේ.අමතක කරන්න අමාරු තවත් ඇස් දෙකක් ගැනයි මේ.
මේ පිංතුර ගුගල්ගෙන්.සිංදුව යු ටියුබ්.