Monday, January 26, 2015

රට පෙරට (ද) ?

වියයුත්ත එපරිද්දෙන්ම සිදුවෙමින් මහින්ද රාජපක්ෂ පරදවමින් විපක්‍ෂ අපේක්‍ෂකයා ජය ලැබුවා.ජනධිපතිවරණයට පෙර අලුත් රටක් ගැන තිබ්බ බලාපොරොත්තු ඉටු වෙනවා දකිනකොට හිත ඇතුළේ ලොකු සතුටක් දැනෙනවා.අලුත් රජයේ යම්,යම් අඩුපාඩු පෙනෙන්නේ නැතුව නෙමේ.නමුත් අවුරුදු ගාණක් ආපස්සට ගිය රටක්,ක්‍රමයක් දවසින් දෙකින් එක පාරටම වෙනස් කරන්න අමාරුයි.නමුත් දැන් පේන්න තියෙන ඒ වැරදි,අඩුපාඩු සුළුවෙන් තකන්නේ නැතුව දැම්මම හදා ගන්න එක ආණ්ඩුවට වගේම රටටත් හොඳයි.

පරද්දන්න බැහැ,අමාරුයි කියලා හිතපු පාලනයක් පෙරළා දමන්න ජනතා බලයට හැකි වුණා.රට ත්‍රස්තවාදයෙන් මුදවා ගත්තා වුණත් මිනිසුන්ගේ සිතීමේ නිදහසට සිමා පනවලා සමාජය නිද්‍රශීලි කරලා හොරු,තක්කඩි,කට්ටඩි එක්ක රට තමන්ගේ හිතුමනාපෙට සදාකල්ම පාලනය කරන්න හිතාගෙන හිටපු පාලකයාට අකමැත්තෙන් හෝ තමන් වාඩි වෙලා හිටපු සිහසුනෙන් බැහැලා යන්න සිද්ධ වුණේ ඔහු වටා සිටි අයගේ ක්‍රියාකලාපයන් නිසා කියලා බොහෝ දෙනා පැවසුවත් ඔහුගේ පරාජයේ ඒ අය වගේම ඔහුත් කොටස්කරුවෙක්.තමන් වටා ඉන්න අය පාලනය කර ගන්න බැරි කෙනා කොහොමද රටක් හරියට පාලනය කරන්නේ?

කොහොමින් කොහොම හරි ජනාධිපතිවරණයට කලින් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් දිවිපුදන්න තරම් සුදානමින් සිටි අය මැතිවරණයෙන් පසුව මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තමන්ගේ කරගන්න උත්සහා කරන හැටි හරිම හස්‍යාජනකයි.එක අතකට ඒ ඉතින් මේ රටේ දේශපාලනයේ හැටිනේ.අවස්ථාවාදී දේශපාලකයෝ එක මොහොතින් තමන්ගේ පාට වෙනස් කරගන්නේ හරියට නිකං අහස වගේ,එක එක වේලාවට එක එක පාටයි.

ඒ කතා කොහොම වුණත් දැන් රට ඉස්සරහා ලොකු අභියෝගයක් තියෙනවා.එක තමයි මේ මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයාගේ ආණ්ඩුව මහින්ද මහත්තයාගේ ආණ්ඩුව ගිය පාරේම යන්න නොදී "යහපාලන" මාවතේම ඉදිරියට අරන් යන එක. ඒක වේදිකාවල කියන තරම් කරන්න පහසු කරුණක් නොවුණත් කරන්න බැරි අපහසු දෙයක් නෙමෙයි.

මට හිතෙන විදියට අලුත් ආණ්ඩුවේ දින සියයේ වැඩ පිළිවෙළ තුළ ප්‍රමුඛත්වය දෙන්න ඕනේ ව්‍යවස්ථා සංශෝධනයට.දුෂිතයින්ට,සොරුන්ට අනිවර්යෙන්ම නිතිය ඉදිරියට පමුණුවා දඬුවම් දිය යුතුයි.එකේ තර්කයක් නැහැ.නමුත් මේ වේලාවේ මුල්තැන දෙන්න ඕනේ ව්‍යවස්ථා සංශෝධනයටඔළු ගෙඩි මාරු වීමෙන් පමණක් රටට යහපතක් වෙන්නේ නැහැ.එකට ක්‍රමයේ වෙනසක් තියෙන්න ඕනේ.ඒ කරුණ සම්පුර්ණ කරගන්න පුළුවන් නම් මේ ජයග්‍රහණය තවත් අර්ථන්විත වනු නිසැකයි.

කලින් ජනාධිපතිගේ ආකර්ශනිය තේමවක් තිබ්බේ "රට පෙරට" කියලා.හැබැයි ඉතින් එක තේමා පාඨයටම සිමා වෙලයි තිබ්බේ.කිසියම් භෞතිකව පෙනෙන සංවර්ධනයක් තිබ්බත් රටේ සංස්කෘතිම හෝ අධ්‍යාත්මික සංවර්ධනයක් තිබ්බේම නැති ගාණයි."රට පෙරට" කොහොම වෙතත් "රට වලට" ගිය යුගයක් කියලායි මට නම් හිතෙන්නේ ඒ යුගේ ගැන. 

කොහොමින් කොහොමහරි ගිය දේවල් වලට වඩා දැන් උදා කරගන්න,දිනා ගන්න සැහෙන දේවල් තවත් බොහොමයක් තියෙනවා.අපි බලමු මේ ආණ්ඩුව යන මාවත දිහා ඉවසිල්ලෙන්.හැබැයි මේ ආණ්ඩුවත් ගියොත් මහින්ද ගිය කෑලෑ පාරේම මේ ආණ්ඩුවට විරුද්ධව ලියන්න කතා කරන්න පසුබට වෙන්නෙත් නැහැ අපි.මොකද අපිට ඕනේ ආපස්සට යන රටක් නෙමේ පෙරට යන රටක් නිසා.