Monday, March 23, 2015

හොරු සමග හෙළුවෙන් බුදියන යහපාලන ආණ්ඩුව.


යහපාලනය,ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලස්සන කතන්දර කියමින් බලයට පැමිණි නව ආණ්ඩුවේ ගමන පෙර පැවති මහින්දගේ ජරාජීර්ණ ආණ්ඩුවේ ගමන මෙන් නොවුණත් යන හැටිය ඒ තරම් හොඳ නැත.පසුගිය ජනධිපතිවරණ කාලයේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාවෙන් ඇසුණු දේවල්,දුන් පොරොන්දු බලයට පැමිණිමෙන් අනතුරුව ඒ විදියෙන්ම සිදු නොවීම කණගාටුවකි.

ආකර්ෂණිය දින 100 වැඩසටහනට අදාළ දින ගණනින් දින 70 පමණ ගෙවී ගොස් තිබෙන නමුත් මහින්ද රාජපක්‍ෂගේ නාස්තිකාරී වියදම් පාලනයේ සීමාවක් සහා ලැබුණු සහන කිහිපයක් මිස ජනතාව වෙත සෘජු 
ප්‍රතිලාභ කිසිවක් නොලැබීමද අවාසනාවකි.සැමට එක ලෙස ක්‍රියාත්මකම වෙන නීතියක් ගැන යහපාලන බලාපොරොත්තු මුලින්ම බිඳ දැමුවේ නිතිය,සාමය,පොලිසිය භාර අමත්‍යවරයම වීම ඉමහත් කණගාටුවකි. 

මේ යහපාලන ආණ්ඩුවෙන් මා පුද්ගලිකවම බලාපොරොත්තු වුවේ මේ ප්‍රෝඩාකාරී ව්‍යවස්ථාවේ ජනතාවාදී සංශෝධනයක් මිස අනිකක් නොවේ.මා පුද්ගලිකව එසේ බලාපොරොත්තු වුවත් අනෙක් බොහෝදෙනාගේ අපේක්ෂාව වී තිබුණේ හොරුන් එතනෝල්,කුඩු ජාවාරම්කරුවන් නිතිය හමුවට පමුණුවා දඬුවම් පැමිණවීමයි.

ධනබලයෙන්,මැරබලයෙන් උදම්වී රාජ්‍යබලය උපයෝගී කරගෙන වැරදිකල වුන්ට දඬුවම් කිරීම අනිවර්යෙන් සිදුකල යුතු වන අතරම එසේ දුෂිතයින්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රමුඛතාව දෙන්නා සේම දුෂිතයින්,මිනීමරුවන් බිහිකරන,ආරක්ෂාකරන ව්‍යවස්ථාවේ පැහැදිළි වෙනසක්,ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කිරීම වැනි ජනතාවාදී දේ මේ දින 100 තුල සිදුකිරීමට යහපාලන ආණ්ඩුව ප්‍රමුඛතාව දියයුතු වන අතර එසේ සිදුකිරීමට බහුතර විපක්ෂයේ සහය නොලැබේනම් සිදුකල යුතුව තිබුණේ ආණ්ඩුව විසුරුවා හැර මහාමැතිවරණයකට යාමයි.නමුත් දැන් සිදුවෙන්නේ යහපාලනේ නාමයෙන් පක්‍ෂ,විපක්‍ෂ සියලු දුෂිතයින් එකම වේදිකාවකට එකතුවී එකිනෙකා සමග සහයෝගයෙන් එකිනෙකා ආරක්ෂා කර ගැනීමට සුදානම් වීමයි. 

පහුගිය මැතිවරණයෙන් පැරදවූයේ මහින්දගේ ඒකාධිපතිපාලනය පමණක් නොවේ.ඒ ආණ්ඩුවේ බොහොමයක්දෙනා ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද බව පැහැදිලිය.එසේ තිබියදී ගහෙන් ගෙඩි එන්නා සේ "ජාතික ආණ්ඩු"යයි කියාගන්නා විකෘති ආණ්ඩු පිහිටුවීම කිසිසේත් පිළිගත හැකි නොවේ.

ජනතාවට අවශ්‍ය නීතිගරුක,යුක්තිසහගත රටක් මිස වෙනකක් නොවේ.විපක්ෂය ආණ්ඩුව සමගින් දීග යෑමෙන් සිදු වන්නේ නාමික විපක්‍ෂය හෝ නැතිව යාමයි.එය ප්‍රජාතන්තවාදී රටකට කිසිසේත් සුදුසු නොවේ.විපක්ෂයේ හඬ ජවිපෙ වුවත් ඔවුන් පාර්ලිමේන්තුව තුළ ඔවුන් සතු බලය සීමිතවීමද ගැටලුවකි.

"ජාතික ආණ්ඩු" බිහිවිය යුත්තේ "ජාතික ප්‍රතිපත්ති" පෙරදැරි කරගෙන මිස පුද්ගල පරමාර්ථ මුදුන් කර ගැනීමේ පටු චේතනාවෙන් නොවිය යුතුය.මේ "ජාතික ආණ්ඩුව" හොරු සමගින් හෙළුවෙන් එකට සිට ගැනීමකි.බල්ලන් සමග නිදියැමකි.