Friday, May 8, 2015

අපේ තාත්තායි,යහපාලනයයි.



මේ දවස්වල ජනප්‍රියම මෘතුකාවක්නේ "යහපාලනය"කියන්නේ හිටං.මේ අපේ තාත්තාගේ යහපාලන කතාවක්.අපේ තාත්තා ගැන කලිනුත් මම ලියලා තියෙනවානේ.

අපේ ගෙදර ජන්ද හතරයි.ගිය ජනධිපතිවරණයෙදී  හතර බෙදුණේ යහපාලනේට තුනක් යමපාලනේට එකක් විදියට.තාත්තා තමයි යමපාලනෙට ජන්දේ දුන්නේ.මහින්දට නොදී මෛත්‍රිට ජන්දේ දෙන්න කොයි තරම් කරුණු කාරණා අපි තාත්තාට පෙන්වලා දුන්නත් තාත්තා ජන්දේ දුන්නේ මහින්දටමයි.

මේ අවුරුද්දේ මුලදීම ඒ කියන්නේ ඔය ජන්ද දවස්වලදීම වගේ අපේ මල්ලි එයාගේ රස්සාවෙන් අයින් වුණා.වැඩකරන තැන පඩි මදි කියලා තමයි මිනිහා ඒ රස්සාවෙන් අයින් වුණේ.මිනිහාගේ ලොක්කා මල්ලිට ආයෙත් රස්සාවට එන්න පඩි වැඩිකරලා දෙන්නම් කිව්වත් මිනිහා ඒ රස්සාවට යන්න ආයෙත් කැමති වුණේ නැහැ. 

ඔය අතරවාරයේ මාසේ අන්තිම ආවා.සාමන්‍යවිදියට මම වැඩ කරන ආයතනයේ වාර්ෂික වැටුප් වැඩිවීම සිද්ධ වෙන්නේ ජනවාරියේ,හැබැයි මේ ජනවාරියේ එක ඒ විදියට සිද්ධ වුණේ නැහැ.එකට හේතු වුණේ යහපාලන ආණ්ඩුව අපේ ක්‍රොන්ත්‍රත් කිහිපයක් නතර කරලා තිබීමත් කරපු වැඩ වල සල්ලි නොලැබී යාමත් නිසා.හරියට නිකම් කලාහිතට වුණා වගේ වැඩක් තමයි අපිටත් වුණේ හිටං.

ඉතින් දැන් ඔය අපේ පඩි ජනවාරියේ වැඩි නොවිච්චි සිද්දිය මම ගෙදර ඇවිත් තාත්තා එක්ක කිව්වම තාත්තා කියාපි

"ඕකද උඹලාගේ යහපාලනේ,මල්ලිට රස්සාව නැහැ,උඹලාට පඩි වැඩි වෙලා නැහැ.දැන් තේරෙනවාද රඟේ" කියලා.

`````````````````````````````````````````````````````````````````````````````````

මේ තවත් කතාවක් මේ කතාව මතක් වුණේ අපේ හැලපයියාගේ ඌරු කතා නිසා.ඒ මතකය අලුත් වුණේ අපේ රවියියා ලියන්න ගත්තු කුකුළේ ගඟ කතා වස්තුව නිසා.


ඔන්න ඉතින් එකෝමත් එක සමයක අපි යාලුවෝ කිහිප දෙනෙක් කතා වුණා ට්‍රිප් එකක් යන්න.කොච්චර කතා වුණත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ බොහෝම හෙමිහිටනේ.විශේෂයෙන්ම ඔය ට්‍රිප් වගේ එව්වා අපි ගොඩක් වෙලාවට ගියේ කටින් තමයි.ඉතින් ඒ නිසා මේ වතාවේ කටින් නොවේ ඇත්තටම කොහෝම හරි යන්න ඕනේ කියලා තීරණය කර ගත්තා හිටං.

ට්‍රිප් එක යන්න සභා සම්මත කරගත්තේ අර කුකුළේ ගඟ පැත්තේ තියෙන මාකෙළිය ඇල්ල.නාලා,කලා,බිලා එන්න තමයි අපේ න්‍යය පත්‍රය වුණේ.ගමන යන්න යාළුවෙක්ගේ NOHA වැන් එකක් සුදානම්.මේ යාළුවාට තව KDH වැන් එකකුත් තියෙනවා.ගමනේ ප්‍රධන සංවිධායකත් මිනිහාම තමයි.

ටුඩේ ඉස්පෙෂල් මඤ්ඤොක්කා සමගින් ඌරු මස්  හොඳයිනේ!බොන දේවල් අතරමගින් ගන්න කතා කර ගත්තා.දැන් හැමෝම ගමනට සුදානම්.කල්ගියොත් වැඩේ නොවෙන්න තියෙන සම්භාවිතාව වැඩි හින්දා සෙනසුරාදාම ගමන යන්න දාගත්තා.

මඤ්ඤොක්කායි,ඌරු මසුයි හදන වැඩේ භාර ගත්තේ මම.මොකද අපේ ආච්චිට කෑම හදන්න පුළුවනි ආයේ නැහැ හැලි,වලං හුරාන් කන්න පුළුවන්.දිව්‍යලෝක රසයි එයාගේ කෑම.ඔන්න දැන් සිකුරාදා දවසක ජාඇල ගිහින් ආපු යාළුවෙක් ඌරු මස් කිලෝ 4 විතර අපේ ගෙදරට ගෙනත් දාලා ගිහින් තිබ්බා පහුවදාට අරන් යන්න හදන්න.මම ඔෆිස් ඉඳන් යන ගමන් මඤ්ඤොක්කා කිලෝත් 5 විතර අරන් ගියා.

එදා රෑම ආච්චි ඌරු මස් එක ඉව්වා.ලොකු මැටි ඇතිළියක දර ලිපේ.මඤ්ඤොක්කා එක පහුවදා උදේ හදන්න තියා ගත්තා.උදේ  හයට විතර කට්ටිය අපේ ගෙදරට එනවා කියලා රෑ නමයට විතර කෝල් කරලා ගමනේ සංවිධායකතුමා මට දැන්නුවා.දැන් සියල්ල හරි සතුටු සිතින් නින්දට ගියා.

පහුවදා උදේම නැගිටිනකොටත් ආච්චි මඤ්ඤොක්කා එක තම්බලාත් ඉවරයි.මම නැගිටලා ලෑස්ති වෙලා හිටං ඇවිත් ෆෝන් එක ගත්තා තව යාළුවෙක්ට කෝල් එකක් ගන්ට.එතකොටයි දැක්කේ මගේ ෆොන් එක ඔෆ් වෙලා තිබ්බ බව.සාමාන්‍යයෙන් මම නිදාගන්න කොට ඔය ෆෝන් එක ඔෆ් කරන්නේ නැතත් එදා කොහොමින් හරි ෆෝන් එක ඔෆ් වෙලා තිබ්බා.  

දැන් ඔන්න ෆෝන් එක ඕන් කරලා මිනිත්තු කිහිපයක් යද්දී මැසේජ් කිහිපයක් අවා.කෝල් ඇලට් කිහිපයක් එක්ක තිබ්බ එක මැසේජ් එකක තිබ්බා.'මචං ට්‍රිප් එක යන්න වෙන්නේ නැහැ.මම හදිසියේම හැටන් යනවා'කියලා එකක් අපේ ට්‍රිප් එකේ ප්‍රධන සංවිධායක තුමාගෙන්.


දැන් ආච්චි කුස්සියේ ලෑස්ති කරපු කෑම අරන් යන්න භාජන වලටත් දාන්න අරගෙන.ඔය අතරතුරේ තව යාළුවෙකුත් අපේ ගෙදරට අවා ට්‍රිප් එක යන්න.

සංවිධායකතුමාගේ මැසේජ් එක දැක්ක ගමන් මම යාළුවට කෝල් එකක් ගත්තා.මම හිතුවෙම මේකා මේ අපිව බයිට් කරන්න යන්න වෙන්නේ නැහැ කියලා කිව්වේ බොරුවට කියලා හිටං.එත් මම කෝල් කරනකොටත් ඇත්තටම සංවිධායකතුමා හැටන්.

වෙලා තියෙන්නේ සංවිධායක යාළුවාගේ තාත්තා අර මම කිව්ව KDH එකේ හැටන් වලට හයර් එකක් ගිහින්.හයර් එක ගිය උන් තාත්තාට බොන්න දීලා වැන් එක අරන් ගිහින්.තාත්තා බලන කොට වැන් එක නැහැලු.හයර් එක ගිය මිනිහා ෆෝන් එක ආන්සර් කරන්නෙත් නැහැලු.ඉතින් තාත්තා කලබල වෙලා පුතාට කෝල් කරලා පුතා කලබල වෙලා හැටන් දුවලා.

තනියෙනුත් නෙමේ මේකා ගිහින් තියෙන්නේ ට්‍රිප් එක යන්න හිටිය තව යාළුවෝ දෙන්නෙකුත් එක්ක.දැන් ඉතින් ට්‍රිප් එකට අබ සරණයි.දැන් මොනවා කරන්නද ඒ පාර මම හිතුවා දැන් ඔන්නඔහේ ඔෆිස් එකටවත් යනවා කියලා අර ආපු යාළුවාට කිව්වා "ඔහොම හිටපන් මම නාගෙන එන්නම්"කියලා.එක ඇහුණු තාත්තා කිව්වා "ඉතින් මේ මඤ්ඤොක්කා ටිකයි,මස් ටිකත් ටැප් එක ළඟටඅරන් ගිහින් නාලා කාපන්" කියලා. 

හරි දැන් ඒ කතා ඉවරයි.දැන් මගේ කතාව."යහපාලන ආණ්ඩුව" බලයට අවා කියලා එකෙන් අපේ සාක්කුවට වාසියක් නොවුණු බව ඇත්ත.ඒ වගේම "යහපාලනෙත්"කියපු තරම් යහපාලනයක් නැති බවත් ඇත්ත.එත් මිනිස්සු එපා කියලා බලයෙන් පහකරපු නායකයෝ තවමත් "ජාතිය,ආගම"ඉස්සරහට දාගෙන නටන පිස්සු දැක්කාම මේ යහපාලනය අඩුපාඩු තිබුණත් අර අධම මර පාලනයට වඩා ගොඩක් හොඳයි.