Monday, August 3, 2015

මගේ මනාපය.



කලකට පස්සේ වෙලකට බැස්සේ කියලා "මී හරකෙක්" කිව්වායි කියන්නේ.ඉස්සර ගොවිතැන් කරන කොට නැතුවම බැරි වෙච්චි මී හරක් වුණත්  දැන් හිතනවා ඇති තාක්‍ෂණය කුබුරටත් බැහැලා තියෙන කොට නිරපරාදේ මඩ නා ගන්නේ මොකටද කියලා හිටං.

මී හරක්,මඩ වගේ වචනත් එක්ක එකටම ගලපා ගන්න පුළුවන් වචනයක් තමයි අපේ ජන්දත්.

දේශපාලකයෝ මී හරක්ය කියලා හිතං ඉන්න ජන්ද දායකයොත්,
ජන්දදායකයෝ මී හරක් කියලා හිතං ඉන්න දේශපලකයොත් ඉන්න රටේ මී හරක්ටත් වඩා වැඩියෙන් මඩ නාන/ගහන කාලයක්නේ ජන්ද කාලේ කියන්නේ.

පහුගිය ජනවාරි අටවෙනිදා මහින්දගේ ඒකාධිපති පාලනය අවසන් වෙච්චි දවසෙම වගේ තමයි මම හිතුවේ ඊගාව මහා ජන්දේදී "ජවිපෙට" ආයෙමත් දෙනවා කියලා හිටං.

එදා ජවිපෙට මහා ජන්දේදී කතිරේ ගහන්න ගත්ත තීරණය අද වෙද්දී තහවුරු කරගන්න රනිල්ගේ දින සියේ ආණ්ඩුවේ ක්‍රියා කලාපය බෙහෙවින්ම උපකාරී වුණා.රට ආපහු ජාතිවාදී,වර්ගවාදී බලලෝභයෙන් උමතු වෙච්චි ඒකාධිපතියෙක්ට යටත් කරන්න බැරි නිසා සන්ධානයට දෙන්නේ නැහැ.ඒ නිසා ජනවාරි අටවෙනිදා එපා වෙච්චි මහින්දව ආයෙමත් කොහොමත්ම එපාම තමයි.හිත හදාගෙන රනිල්ට දෙන්නත් බැරි මහා බැංකුවේ "බැඳුම්කර ගනුදෙනුව"ගැන රනිල්ගේ ඇල්මැරුණු ක්‍රියා කලාපය හා ප්‍රකාශ නිසයි.අජිත් නිවාඩ් මහා බැංකුවේ අධිපති ඉන්න කාලේ මිට වඩා දේවල් වුණා කියලා මේ ප්‍රශ්නය මග හරින එක සාධාරණ නැහැ.පහුගිය ආණ්ඩුවල වැරදි අලුත් ආණ්ඩුවේනුත් වෙනවානම් ජන්ද තියන එකෙනුත් තේරුමක් නැහැනේ. 

 කොහොම වෙතත් මේ මහා ජන්දෙන් කාටවත් 113 සරල බහුතරය ලබා ගන්න බැරි වෙන බව පැහැදිලියි.මොකාට වුණත් බලය අනිසි විදියට වැඩියෙන් ලැබුනාම පිස්සු කෙළින්න හදන නිසා එක එහෙම වෙන එකත් එක අතකට හොඳයි.කවුරු ආණ්ඩු කෙරුවත් ශක්තිමත් විපක්‍ෂයක් තියෙන්න ඕනේ රට අයාලේ නොයන්න නම්.පහුගිය කාලේ විපක්‍ෂයේ කාර්ය ජවිපෙන් ඉටුවූ ආකාරය ගැන සැහිමකට පත් විය හැකියි.ඒ නිසා කලිනුත් වතාවක වගේ මේ ගමනත් ජවිපෙට ජන්දේ දෙන්න ගත්තු තීරණය හරි කියලා මම හිතනවා.මේ ගමන මගේ මනාප තුන දෙන්නේ අනුර කුමාරට.ලාල් කාන්තට,සුනිල් වටගලට.

යම් විදියකින් ජවිපෙට නොදී එක්සත් ජාතික පෙරමුණට දෙනවා නම් මනාප දෙන්නේ හර්ෂට,එරාන්ට හා මනෝ ගනේෂන්ට.මනෝට දෙන්නේ මනෝ වාසියට නොවිකෙන පුද්ගලයෙක් කියලා හිතෙන නිසයි.පහුගිය ජන්දේදී කොළඹ මන්ත්‍රී කෙනෙක් විදියට පත්වෙච්චි ප්‍රභා ගනේෂන් මහින්දගේ දැත් ශක්තිමත් කරන්න මහින්ද ගාවට ගියාම තමන්ගේ සහෝදරයා වුණත් කරපු වැඩේ වැරදියි කියන්නත් ඔහුට විරුද්ධව විනය මාර්ග ගන්නත් මනෝ පැකිලුනේ නැහැ.තමන්ගේ මතය වෙනුවෙන් පැහැදලි ලෙස පෙනි ඉන්න ඔහු වගේ අයෙක්ට මනාපයක් දීමේ වරදක් මා දකින්නේ නැහැ.

පහුගිය මහා ජන්දේදී මම දුන්නේ යුඑන්පි එකට.පරදින බව දැන,දැන යුඑන්පි එකට දුන්නේමහින්දට එරෙහිව යුඑන්පි එකෙන් වැඩක් වේවි කියලා හිතලා.හිතපු තරම් වැඩක් වූණේ නැහැ හැබැයි එකෙන්.ඒ වතාවේ මනාප දුන්නේ රනිල්ට,රවීට හා මොහාන් ලාල් ග්‍රේරෝට.රත්මලානේ මිනිස්සුන්ට කොකා පෙන්නලා අන්තිමේදී  මොහාන් ලාල් මහින්දට සෙට් වුණා.දැන් "නැණස පැදු මිනිසා"කියලා අපේ ඔෆිස් එක එහා පැත්තේ ඔෆිස් එකක් දාගෙන ඉන්නවා.මට රවීව එපා වූණේ රවීගේ ප්‍රචාරක ව්‍යපාරය නිසාමයි.ජනතාවට සහන දුන්නේ ගෙදරින් ගෙනත් වගේ තමයි රවී පෝස්ටර්.කටවුට් ගහන්නේ.

කොහොම වුණත් ගිය ගමන වගේ විකෘති පාර්ලිමේන්තුවක් නොවී යහපත් ජනතා නියෝජනයක් සහිත ජනතාවට වගකියන පාර්ලිමේන්තුවක් මෙවර පත් වුණොත් එක තමයි වැදගත් වෙන්නේ.යහපාලනය කාගෙන්වත් සියට සීයක් බලාපොරොත්තු වෙන්න බැහැ.සාපේක්ෂ වශයෙන් හොඳ පාර්ලිමේන්තුවක් තමයි මෙවර බලාපොරොත්තුව.


මේ ගමන කප් එක කොහොමත් උස්සන්නේ යුඑන්පි එක.එක විශ්වාසයි.නමුත් තනියෙන් ආණ්ඩුව පිහිටුවන්න බැරි වෙනවා.එතකොට ඔය සන්ධානේ අප්පච්චි එක්ක නැගිටලා ඉන්න වුන් එහෙම ලැජ්ජාව (එහෙම එකක් තියේනවා නම්) පැත්තකින් තියලා එහෙම ඇවිත් රනිල්ගේ දෑත ශක්තිමත් කරන හැටි බලන්න පුළුවන්.

අන්න ඒ නිසා ඉහත කරුණු කරනාත් සලකා බලා මමත් මගේ හෘදසාක්ෂියට ඉඩ දෙන්න තීරණය කලා.ජනතාවාදී පාර්ලිමේන්තුවක්,සුබවාදී හෙටක් මෙවරවත් සිහිනයක් නොවේවා.