Monday, February 8, 2016

නොහඬන්න අප්පච්චි.

ජායාරුපය අන්තර්ජාලයෙන්.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෑසේ කදුළු නැගෙන ජායාරුපයක "රටක කදුළු පිස දැමු මිනිසාගේ දෑසේ කදුළු දුටුවෙමු"යනුවෙන් සටහන්ව සමාජ වෙබ් අඩවිවල සංසරනය වනවා දුටුවෙමු.මේ රටක කදුළු පිස දැමුවා යයි අදහස් කරන්නේ යුද්ධය නිමා කිරීම විය යුතුය.ඒ හැර මර්වින් සිල්වා,බන්දුල ගුණවර්ධන,නිශාන්ත මුතුහෙට්ටිගම ඇතුළු මහින්ද රජයේ මැති ඇමතිවරු දුන් ආතල් වලින්ද (මේ යහපලාන ආණ්ඩුවේත් ඒ වගේ ජෝකර්ලා මදි නොකියන්න ඇති බව පෙනි යයි. ) රටේ මිනිසුන්ගේ කදුළු පිස දැමුවා විය යුතුය.

කෙසේ වෙතත් යුද්ධයට දේශපාලන නායකත්වය දුන් මහින්දට මෙන් යුධ හමුදාවට නයකත්වය දුන් සරත් ෆොන්සේකාට වීරත්වයේ කිරුළ පැළදීමට අවස්ථාවක් නොලැබුනේ වීරයා එක රැයින් ද්‍රෝහියෙක් වූ නිසාය.එසේ වන්නට එකම හේතුව මහින්දට විරුද්ධව මැතිවරණයට ඉදිරිපත් විමය. වීරයා ද්‍රෝහියෙක්ව දඟ ගෙට ගියාද ඒ ගැන කතා කල අය සිටියේ නැත.

කෙසේ වුවද ඉහත කි මහින්දගේ දැසට කදුළු උණන සිදුවීමට ප්‍රස්තුත වුයේ තම දෙවැනි පුත් යෝෂිත පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම සහා අධිකරණය විසින් ඔහු බන්ධනාගාර ගත කිරීමට කරන ලද නියෝගයයි.මේ අත්අඩංගුවට ගැනීම සිදු වූ දින මාධ්‍ය වෙත ඒ ගැන අදහස් දැක්කු මහින්ද කියා සිටියේ තම දරුවෙක් වුවත් වරදක් කර ඇතිනම් දඩුවම් දීමට තම විරුද්ධ නොවන බවයි.අත්අඩංගුවට ගත යෝෂිතගේ අප්පච්චි එසේ පැවසුවද මේ සිදුවීම ගැන අදහස් දක්වමින් යෝෂිතගේ බාප්පා වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ පවසා සිටියේ "පළිගත්තාට කමක් නැහැ.එත් ළමයින්ගෙන් පළි ගන්න එපා"යනුවෙනි.

ගෝඨාභයගේ අදහස් දැක්වීමට අනුව දේශපාලන පළිගැනීම් සිදු කෙරුවත් කමක් නැත.නමුත් ළමුන්ගෙන් පළි ගැනීම නොකළ යුත්තකි.

ලසන්ත විර්කමතුංග ඝාතනයෙන් ඒ ලසන්තගේ දරුවන්ට අයුක්තියක් වුයේ නැතිද?එක්නැලිගොඩගේ අතුරුදහන් වීම ඔහුගේ දරුවන්ට කල අසාධරණයක් නොවේද? සරත් ෆොන්සේකා සිරගත කිරීමෙන් ඒ දරුවන්ට ඉටු කලේ කුමන යුක්තියක්ද ? වැලිකඩ සිරකරුවන් ඝාතනය කිරීමෙන් ඒ දරුවන්ටත් දඩුවම් කලා නොවේද? රාජපක්ෂ සමයේ මෙවැනි තවත් සිදුවීම් උදාහරණ ලෙස දිය හැකි මුත් එය අවශ්‍ය නොවේ. 

 නීතිය සැමට සමාන විය යුතුය.එසේ නොවේ නම් යුක්තියේ දෙවගනගේ දෑසේ බැදී කඩතුරාවෙන් පලක් නැත.  

රාජපක්ෂ පවුලේ සාමාජිකයකු අත්අඩංගුවට ගැනීම විපක්ෂයේ  පමණක් නොව ආණ්ඩුවේ ඇතැමුන්ගේද විරෝධයකට හේතු වී ඇති බව පෙනේ.නමුත් එය එසේ විය යුතු නැත.යෝෂිත ඇතුළු පිරිස වෙත ඇති චෝදනා අධිකරණය ඉදිරියේ තහවුරු වුනොත් ඒ වැරදි සඳහා අධිකරණය  විසින් දෙන දඬුවම් විඳිය යුතුව ඇත.නිවැරදිකරුවන් වේ නම් ගැටලුවකින් තොරව නිදහස් වනු ඇත.


සි.එස්.එන් නාලිකාවේ සඟවා ඇති සන්නිවේදන උපකරණ හෝ වත්කම් සෙවීමට එදා මෙන්  රැගෙන නොයන නිසා මේ සැකකරුවන්ගේ  ජීවිත ගැන අනියත බියක් ඇති කර ගත යුතුද නැත.