Monday, April 18, 2016

අහඹුවක් නොවුණු ඛේදවාචකයක් ගැන ලියවුනු කෘති දෙකක් ගැන මගේ කියවීම.

ගොළුවන්ට කතා කරන්න පුළුවන්නම් ! එය අහම්බයක් විය හැක.කතා කල නොහැකි ඇතැම් ගොළුවන් වුවද කතාකරවන පොලිසියට පවා කතා කරවන්න නොහැකි වූ ගොළුවෙක් "නාට්‍ය හා භාෂා"පාසලකින් චතුර කථිකයකු කිරීම අහම්බයක් මෙන්ම ආශ්චර්යක්ද වනු නොඅනුමානය.

වම්මුන්ගේ රතු පාටට ඇති අයිතිය පරණ වලව්වක හුදකලා ජිවිතයක් ගත කල රදළයකු විසින් සාර්ථක ව්‍යාපාරිකයකුව තමන් සතුකර ගැනීම අහඹුවක් නොවන්නේද ?

ලියනගේ අමරකිර්තිගේ සම්මානනිය නවකතාව වන "කුරුලු හදවත"මිලට ගන්නට පසුගිය පොත් ප්‍රදර්ශණයේදී සුරස කුටියට ගොඩවූ විට අහඹු ලෙසම දුටු අමරකිර්තියන්ගේම නවතම කතාව වූ "අහම්බකාරක"මිලදී ගත්තේ "කුරුලු හදවත"පසුව මිලට ගැනීමේ සිතුවිල්ලෙනි. 

රටක් හඬවන ඛේදවාචක වුවද තමන්ගේ යහපත උදෙසා හරවා ගන්නා අය ඕනෑ තරම් ඇත.සුනාමියෙන් සියල්ල නැති වූ අය මෙන්ම ගොඩ ගිය අයද ඇත.රට වසර ගණනාවක් ආපස්සට ගෙනගිය කළු ජුලිය තමන්ගේ වාසනාව කර ගත් ගොළුවෙක් ගේ කතාව විස්මය ජනක කතන්දරයකි. 

දරුවෙකුට උපත දෙන තිබිරි ගෙයක් වැඩිහිටි මිනිසෙකුට "අලුත් ජිවිතයක්"දෙන තැනක් වීම අහම්බයක්ද නැතහොත් අරුමයක්ද ?

ලියනගේ අමරකිර්තියන් තමන්ගේ කෘතිය තුල සංකේත භාවිතයද අපුරුවට ගොඩ නගා ඇත."පිච්ච මල්,හඳුන්කුරු සුවඳ" ආදිය පමණක් නොව "රතුපාට"පවා සංකේතත්මකව භාවිතා කරමින් කතාව ගොඩ නංවන අයුරු අපුරුය.

හරක් මස් නොකන නමුත් කලවැදි මස් කන බැටළු හම පොරවා ගත් ඉහළ සමාජ පන්තියට නගින්න ලොබ බඳින මිනිස්සු අතරේ තමන් ගැනම ස්වයං විවරණයක නිරත වෙන පරමාදර්ශී,තමන්ගේ බිරිඳට වුවද ඇයගේ නිදහස සොයා යාමට ඉඩහල බන්දුල බලගල්ල තුල ඇතැම් විට තම ළබැඳි හිතවතිය තමන්ගේ ගෝලයා වෙත දක්වන සමීපබව ගැන නැගෙන සියුම් ඊර්ෂාව මිනිසුන් තුල තිබෙන පෘතග්ජන ස්භාවය මැනවින් පිලිබිබු කරවයි.

මේ සියල්ලට වඩා කතාව යටින් යන අහබුවක් නොවන "දේශපාලන කතාව"අපේ මෑත කාලින දේශපාලනය සිහි ගන්වයි.ධනයෙන් ඉහල නගින මිනිසුන් දේශපාලනයෙන් බලය අරුඪ කර ගන්න තනන වැයම.ඒ වෙනුවෙන් කරන මරා ගැනීම් ලාංකේය දේශපාලනයේ කවරදාත් සිදුවන්නක් බව සිහි ගන්වයි.

ලංකාවේ දොස්තරලා ගැන වාමාංශිකයෙක් වෙච්චි ධනපතියකුගේ ඉඩම් බලාගන්නා සේනගේ විවේචනය කවදාත් වලංගු කතාවකි.

මේ සියලු චරිත අතරේ මා සිත්ගත් කාන්තා චරිතය වූයේ රාධා චිටර්ය.ඒ රාධා චිටර් ගේත් නිශ්ශංක විජේමාන්නගේ "තරා මගේ දෙව්දුව"කෘතියේ එන තාරාත් අතරේ ඤතිත්වයක්ද මට දැනේ.

සිංහල රාධාත්,දෙමළ තරාත් එකම ඉරණමකට මුහුණ දෙන්නන් සේ සිතේ.
දෙදෙනාම තමන්ගේ ප්‍රේමය මග හැර ගත්තෝ වෙති. 

මේ චරිත දෙක පමණක් නොව එම එම කෘති දෙක අතරේද කිසියම් ඤතිත්වයක් ඇති බවක් හැඟේ.අපුරු අඛ්යනයකින් ලියුවුනු නිශ්ශංක විජේමාන්නගේ "තාරා මගේ දෙව්දුව"ද රසවත් කවියක් වැනි නව කතාවකි.කෘති දෙකම 83 ඛේදවාචකය ගැන කතා කරයි.

අවස්ථාවාදී දේශපාලකයින්ගේ අවජාතක දරුවාවූ ජාතිවාදය කොයි තරම් දේ අපට අහිමි කෙරුවාද ?මේ ඛේදවාචකය නිසා අහිමිවුයේ මිනිසුන්ගේ ජිවිත,දේපළ විතරක් නොවේ.එක පන්තියේ මිතුරන් හතුරන් කරවපු ඛෙදවාචකය මිනිසුන් එකිනෙකාව කොයි තරම් සහෝදරත්වයෙන් දුරස් කර දැමුවාද ?ඒ දුරස්වීම් ජිවිත වලට කරපු බලපෑම් කොයිතරම්ද ?


මෙව්වා උත්තර නැති ප්‍රශ්න.ඒ ප්‍රශ්න ආයෙත් ඇති නොවෙන්නයි අපි කටයුතු කලයුත්තේ.එහෙම සහෝදරත්වයෙන් කටයුතු කරන්න එදාත් අපිට පුළුවන් කමක් තිබ්බා නම් තාරාගේ කතාව මෙයට වඩා ලස්සන වෙන්නත් තිබුණා. සිදුවෙච්චි ඒ ඛේදවාචක අහඹු,හුදකලා සිදුවීම් වෙන්නත් තිබ්බා.  

ප.ලි : අහම්බකාරක "සුරස"පොතක්, තාරා මගේ දෙව්දුව "විදර්ශන" පොතක්.