Friday, May 8, 2015

අපේ තාත්තායි,යහපාලනයයි.



මේ දවස්වල ජනප්‍රියම මෘතුකාවක්නේ "යහපාලනය"කියන්නේ හිටං.මේ අපේ තාත්තාගේ යහපාලන කතාවක්.අපේ තාත්තා ගැන කලිනුත් මම ලියලා තියෙනවානේ.

අපේ ගෙදර ජන්ද හතරයි.ගිය ජනධිපතිවරණයෙදී  හතර බෙදුණේ යහපාලනේට තුනක් යමපාලනේට එකක් විදියට.තාත්තා තමයි යමපාලනෙට ජන්දේ දුන්නේ.මහින්දට නොදී මෛත්‍රිට ජන්දේ දෙන්න කොයි තරම් කරුණු කාරණා අපි තාත්තාට පෙන්වලා දුන්නත් තාත්තා ජන්දේ දුන්නේ මහින්දටමයි.

මේ අවුරුද්දේ මුලදීම ඒ කියන්නේ ඔය ජන්ද දවස්වලදීම වගේ අපේ මල්ලි එයාගේ රස්සාවෙන් අයින් වුණා.වැඩකරන තැන පඩි මදි කියලා තමයි මිනිහා ඒ රස්සාවෙන් අයින් වුණේ.මිනිහාගේ ලොක්කා මල්ලිට ආයෙත් රස්සාවට එන්න පඩි වැඩිකරලා දෙන්නම් කිව්වත් මිනිහා ඒ රස්සාවට යන්න ආයෙත් කැමති වුණේ නැහැ. 

ඔය අතරවාරයේ මාසේ අන්තිම ආවා.සාමන්‍යවිදියට මම වැඩ කරන ආයතනයේ වාර්ෂික වැටුප් වැඩිවීම සිද්ධ වෙන්නේ ජනවාරියේ,හැබැයි මේ ජනවාරියේ එක ඒ විදියට සිද්ධ වුණේ නැහැ.එකට හේතු වුණේ යහපාලන ආණ්ඩුව අපේ ක්‍රොන්ත්‍රත් කිහිපයක් නතර කරලා තිබීමත් කරපු වැඩ වල සල්ලි නොලැබී යාමත් නිසා.හරියට නිකම් කලාහිතට වුණා වගේ වැඩක් තමයි අපිටත් වුණේ හිටං.

ඉතින් දැන් ඔය අපේ පඩි ජනවාරියේ වැඩි නොවිච්චි සිද්දිය මම ගෙදර ඇවිත් තාත්තා එක්ක කිව්වම තාත්තා කියාපි

"ඕකද උඹලාගේ යහපාලනේ,මල්ලිට රස්සාව නැහැ,උඹලාට පඩි වැඩි වෙලා නැහැ.දැන් තේරෙනවාද රඟේ" කියලා.

`````````````````````````````````````````````````````````````````````````````````

මේ තවත් කතාවක් මේ කතාව මතක් වුණේ අපේ හැලපයියාගේ ඌරු කතා නිසා.ඒ මතකය අලුත් වුණේ අපේ රවියියා ලියන්න ගත්තු කුකුළේ ගඟ කතා වස්තුව නිසා.


ඔන්න ඉතින් එකෝමත් එක සමයක අපි යාලුවෝ කිහිප දෙනෙක් කතා වුණා ට්‍රිප් එකක් යන්න.කොච්චර කතා වුණත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ බොහෝම හෙමිහිටනේ.විශේෂයෙන්ම ඔය ට්‍රිප් වගේ එව්වා අපි ගොඩක් වෙලාවට ගියේ කටින් තමයි.ඉතින් ඒ නිසා මේ වතාවේ කටින් නොවේ ඇත්තටම කොහෝම හරි යන්න ඕනේ කියලා තීරණය කර ගත්තා හිටං.

ට්‍රිප් එක යන්න සභා සම්මත කරගත්තේ අර කුකුළේ ගඟ පැත්තේ තියෙන මාකෙළිය ඇල්ල.නාලා,කලා,බිලා එන්න තමයි අපේ න්‍යය පත්‍රය වුණේ.ගමන යන්න යාළුවෙක්ගේ NOHA වැන් එකක් සුදානම්.මේ යාළුවාට තව KDH වැන් එකකුත් තියෙනවා.ගමනේ ප්‍රධන සංවිධායකත් මිනිහාම තමයි.

ටුඩේ ඉස්පෙෂල් මඤ්ඤොක්කා සමගින් ඌරු මස්  හොඳයිනේ!බොන දේවල් අතරමගින් ගන්න කතා කර ගත්තා.දැන් හැමෝම ගමනට සුදානම්.කල්ගියොත් වැඩේ නොවෙන්න තියෙන සම්භාවිතාව වැඩි හින්දා සෙනසුරාදාම ගමන යන්න දාගත්තා.

මඤ්ඤොක්කායි,ඌරු මසුයි හදන වැඩේ භාර ගත්තේ මම.මොකද අපේ ආච්චිට කෑම හදන්න පුළුවනි ආයේ නැහැ හැලි,වලං හුරාන් කන්න පුළුවන්.දිව්‍යලෝක රසයි එයාගේ කෑම.ඔන්න දැන් සිකුරාදා දවසක ජාඇල ගිහින් ආපු යාළුවෙක් ඌරු මස් කිලෝ 4 විතර අපේ ගෙදරට ගෙනත් දාලා ගිහින් තිබ්බා පහුවදාට අරන් යන්න හදන්න.මම ඔෆිස් ඉඳන් යන ගමන් මඤ්ඤොක්කා කිලෝත් 5 විතර අරන් ගියා.

එදා රෑම ආච්චි ඌරු මස් එක ඉව්වා.ලොකු මැටි ඇතිළියක දර ලිපේ.මඤ්ඤොක්කා එක පහුවදා උදේ හදන්න තියා ගත්තා.උදේ  හයට විතර කට්ටිය අපේ ගෙදරට එනවා කියලා රෑ නමයට විතර කෝල් කරලා ගමනේ සංවිධායකතුමා මට දැන්නුවා.දැන් සියල්ල හරි සතුටු සිතින් නින්දට ගියා.

පහුවදා උදේම නැගිටිනකොටත් ආච්චි මඤ්ඤොක්කා එක තම්බලාත් ඉවරයි.මම නැගිටලා ලෑස්ති වෙලා හිටං ඇවිත් ෆෝන් එක ගත්තා තව යාළුවෙක්ට කෝල් එකක් ගන්ට.එතකොටයි දැක්කේ මගේ ෆොන් එක ඔෆ් වෙලා තිබ්බ බව.සාමාන්‍යයෙන් මම නිදාගන්න කොට ඔය ෆෝන් එක ඔෆ් කරන්නේ නැතත් එදා කොහොමින් හරි ෆෝන් එක ඔෆ් වෙලා තිබ්බා.  

දැන් ඔන්න ෆෝන් එක ඕන් කරලා මිනිත්තු කිහිපයක් යද්දී මැසේජ් කිහිපයක් අවා.කෝල් ඇලට් කිහිපයක් එක්ක තිබ්බ එක මැසේජ් එකක තිබ්බා.'මචං ට්‍රිප් එක යන්න වෙන්නේ නැහැ.මම හදිසියේම හැටන් යනවා'කියලා එකක් අපේ ට්‍රිප් එකේ ප්‍රධන සංවිධායක තුමාගෙන්.


දැන් ආච්චි කුස්සියේ ලෑස්ති කරපු කෑම අරන් යන්න භාජන වලටත් දාන්න අරගෙන.ඔය අතරතුරේ තව යාළුවෙකුත් අපේ ගෙදරට අවා ට්‍රිප් එක යන්න.

සංවිධායකතුමාගේ මැසේජ් එක දැක්ක ගමන් මම යාළුවට කෝල් එකක් ගත්තා.මම හිතුවෙම මේකා මේ අපිව බයිට් කරන්න යන්න වෙන්නේ නැහැ කියලා කිව්වේ බොරුවට කියලා හිටං.එත් මම කෝල් කරනකොටත් ඇත්තටම සංවිධායකතුමා හැටන්.

වෙලා තියෙන්නේ සංවිධායක යාළුවාගේ තාත්තා අර මම කිව්ව KDH එකේ හැටන් වලට හයර් එකක් ගිහින්.හයර් එක ගිය උන් තාත්තාට බොන්න දීලා වැන් එක අරන් ගිහින්.තාත්තා බලන කොට වැන් එක නැහැලු.හයර් එක ගිය මිනිහා ෆෝන් එක ආන්සර් කරන්නෙත් නැහැලු.ඉතින් තාත්තා කලබල වෙලා පුතාට කෝල් කරලා පුතා කලබල වෙලා හැටන් දුවලා.

තනියෙනුත් නෙමේ මේකා ගිහින් තියෙන්නේ ට්‍රිප් එක යන්න හිටිය තව යාළුවෝ දෙන්නෙකුත් එක්ක.දැන් ඉතින් ට්‍රිප් එකට අබ සරණයි.දැන් මොනවා කරන්නද ඒ පාර මම හිතුවා දැන් ඔන්නඔහේ ඔෆිස් එකටවත් යනවා කියලා අර ආපු යාළුවාට කිව්වා "ඔහොම හිටපන් මම නාගෙන එන්නම්"කියලා.එක ඇහුණු තාත්තා කිව්වා "ඉතින් මේ මඤ්ඤොක්කා ටිකයි,මස් ටිකත් ටැප් එක ළඟටඅරන් ගිහින් නාලා කාපන්" කියලා. 

හරි දැන් ඒ කතා ඉවරයි.දැන් මගේ කතාව."යහපාලන ආණ්ඩුව" බලයට අවා කියලා එකෙන් අපේ සාක්කුවට වාසියක් නොවුණු බව ඇත්ත.ඒ වගේම "යහපාලනෙත්"කියපු තරම් යහපාලනයක් නැති බවත් ඇත්ත.එත් මිනිස්සු එපා කියලා බලයෙන් පහකරපු නායකයෝ තවමත් "ජාතිය,ආගම"ඉස්සරහට දාගෙන නටන පිස්සු දැක්කාම මේ යහපාලනය අඩුපාඩු තිබුණත් අර අධම මර පාලනයට වඩා ගොඩක් හොඳයි.

42 comments:

  1. ඔළුවට පොරොවෙන් ගැහුවත් මටත් යහපාලනේ හොඳයි මරාගේ යමපාලනේට වඩා.. හැබෑට අර ඌරා හතරටයි මයියොක්කා පහටයි මොකෝ කලේ හිටං..

    ReplyDelete
    Replies
    1. අනිවර්යෙන් කමියා මරාට වඩා මේක ගොඩක් ගොඩක් හොඳයි.

      ඒ ටික වට පිටවේ අයට බෙදලා දුන්නා.අර ආපු යාළුවාටත් දුන්නා,තව කොටසක් ඔෆිස් එකටත් අරන් ගියා.

      Delete
    2. වෙනසක් තියනවා. පොඩි අවුලකට තියෙන්නෙ සංවර්ධන වැඩ නතර වීම . ජ්‍යොතිෂ කංකරච්චලේ විජාතික කුමන්ත්‍රන කංකරච්චලේ නැති එකම ලොකු දෙයක්.
      මෛත්‍රී ට ඡන්දෙ නොදුන් විශල පිරිසක් ඔහු ගැන පැහැදිලා . ඔහු දැහැමි පාලකයෙක් රනිල් දක්ෂ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් කියල ආණ්ඩුව ගැන පැහැදුන අය ඉන්නවා.
      කියපු විදියට කොටියත් ආවෙ නැති නිසා ඒ හේතුව නිසා බුලත් හපපු අයත් දැන් දෙකට දෙවාරෙ.
      උඹලගෙ යහපාලනය ගැන සන්තෝසයි මනෝ.
      ඒ වාගෙම උඹ දිගටම ලියපන් අපට කොමෙන්ට් දාන්න

      Delete
  2. මනෝ, එකෙන්ම යාම පාලනේට වඩා යහපාලනේ හොඳයි. හොඳයි කියල මුන් කරන ඔක්කොම අනුමත කරනවා කියනවා නෙවෙයි. රාජාණ්ඩු නැති වෙන්න ඕන රටවල් වල.
    එක නෙවෙයි. අපරාදෙ අර කෑම ටික. මොකෝ කලේ එව්වට...

    ReplyDelete
    Replies
    1. සජ්ජා "ආයුබෝවන්"කියලා මේ පැත්තට පිළිගන්නවා.

      අපිට ඕනේ රාජාණ්ඩුවක් නෙමේ ප්‍රජාතන්ත්‍රවාදී,ජනතාවාදී ආණ්ඩුවක්.කෑම ටික අපතේ ගියේ නැහැ.ඒවායෙන් අපි දන්සලක් දැම්මා.

      Delete
  3. කෑම ටික විසිකරන්න වෙන්නැති මය හිතේ..
    හැබෑට ආච්චි මොකවත්ම කිව්වෙ නැද්ද මනෝජ්?..

    ReplyDelete
    Replies
    1. කෑම විසික් කරන්න හොඳ නැහැනේ සඳමාලියෝ.ඒක නිසා අපි ඒ කෑම බෙදා හදාගෙන කෑවා.

      අපේ ආච්චි අල්ලපු ගෙදර නැන්දලාට ඌරු මසුයි,මයියොක්කයි ගිහින් දුන්නාම ඒ නැන්දලා අහලා මොකද ඒ කියලා.ඉතින් ආච්චි විස්තරේ කියලා.එතාකොට ඒ ගෙදර නැන්දා අපේ ආච්චිට කියලා "ඔය ඌරු මස් අරගෙන එහෙමත් නාන්න යනවාද පාළු පැති වල,ඔය ඇලවල් තියෙන පැති වල මළ ප්‍රේතයෝ හරියට ඉන්නවානේ"කියලා.එතකොට අපේ ආච්චි කියලා තිබ්බා මුන්ට වඩා මළ ප්‍රේතයෝ කොහේද නංගි කියලා.

      Delete
  4. රජයේ සේවකයගේ ආර්ථිකයට නං වාසියක් උනා හිටං..

    ReplyDelete
    Replies
    1. අපි පුද්ගලික අංශයනේ හිටං.

      Delete
  5. කෑම ටික ඔෆිස් අරං ගිහිං කෙල්ලොන්ට බෙදලා දුන්නානම් හරිනේ. :P

    මොකක්ද මේ 'හිටං' කතාව. ඒ ටික නැත්නම් කතාව මීට වඩා රහවෙන්ට තිබ්බා කාපු නැති මය්යොක්කා (අනෙක් එක ලියන්ට අමාරුයි අප්පා ) සහ ඌරු මස් වගේම...:D

    ReplyDelete
    Replies
    1. ඔෆිස් එකෙත් බෙදලා දුන්නලු.හැබැයි කෙල්ලෝ නම් ඌරු මස් කෑවේ නැහැනේ.

      "හිටං"වැඩියි නේ.:D
      කාටවත් කියන්න එපා පොඩ්ඩි මම මේ "මඤ්ඤොක්කා" තව තැනකින් කොපි පේස්ට් කෙරුවා.

      Delete
  6. කැහි ගෑනි එපා කියලා හොටු ගෑනි ගත්තද? :ඪ් ඒකෙ අනිත් පැත්තද? කොයි පැත්හ්ට දැම්මත් රොටිය නම් ඉතින් කරවෙනව නොවැ.
    .....
    කරපු මෝඩකම් දෙන්නට සරියේ .. තවත් මෝඩකම් නොකරන් මරියේ කිව්වළු = මොන බොරුද ඊළඟ ඡන්දෙදිත් !!!!@@$^#!&^*^*!&# නෙ?

    ReplyDelete
    Replies
    1. හංසමාලිවත් "ආයුබෝවන්"කියලා මෙහෙට පිළිගන්නවා.මේ අපේ කමියාගේ සොයා ගැනීම නේද?:D

      //කැහි ගෑනි එපා කියලා හොටු ගෑනි ගත්තද?//
      එහෙම කියන්නත් පුළුවන්,හැබැයි ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ නම් නෙමෙයිලු.

      //කරපු මෝඩකම් දෙන්නට සරියේ .. තවත් මෝඩකම් නොකරන් මරියේ කිව්වළු//
      මරාගේ පස්සෙන් යන අයට හොඳ ඔවදනක්.:D

      ඊළඟ ඡන්දෙදිත් මරාට එරෙහිව බොහෝවිට ජවිපෙට.

      Delete
    2. :D balamu ne?
      +Manoj Fernando

      Delete
  7. යහ පාලනය ආවට පස්සෙ කෑම බීම නැතත් හිතේ නිදහසින් ඉන්නවනෙ බං දෙයියනේ කියල හිටං.ඒ මදිද?ඔය ඌරු කතා ලියන්න ගුහිං මට හරි අකරතැබ්බක් උනානෙ මනෝජ්.අර වෙන ගෑනු කෙනෙක් ලියන බ්ලොගක් මම ලියනවා කියල කතාවක් පැතිරෙව්වා නොවැ.ඒක පටන් ගත්තෙ අපේ සුප්‍රසිද්ධ බ්ලොග් කරුවෙක් උගෙ නොදන්නා කමටයි.නමුත් ඊට පස්සෙ වෙන වෙන අය මට මඩ ගහන්නත් මේක පාවිච්චි කළා.දැනුත් සමහරු ඇනෝ ඇවිත් කින්ඩිය දානවා.මමත් හැම එකකටම ඔව් කියල කියනවා.වෙන මොනා කරන්නද?

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම හැලපයියේ,මරාගේ කාලේත් ගොඩක් අය කෑව,බිව්වාය ලෙව කෑවා මිසක්.දැන් මිනිස්සුන්ගේ සිතුවිලි වලට වාරණයක් නැහැනේ එකම මදැයි.

      හෙහේ,මම දනිමි,අර ප්‍රේමලතා ගැන නොවැ ඔය කියන්නේ.

      Delete
  8. නැට්ට කොටයි මයියොක්කයි?
    අඩේ ඉතුරවා නැද්ද බාං?

    ReplyDelete
    Replies
    1. ඉතුරු වුනේ නැහැ බං වට පිටාවට දන් දීලා ඉවර වෙලා අපි ඇතිළියත් හුරාන් කෑවා.

      Delete
  9. තව ටිකක් ඉවසලා ඉදින් බං.. යහ පාලනෙන් ඕවා හෙමීට වැඩි වෙලා ඒවි හිටං..

    ReplyDelete
    Replies
    1. යහපාලනේ අඩුපාඩු නැතුව නොවේ.හදා ගන්න සෑහෙන දේවල් තියෙනවා.
      රටේ නිතිය සාධාරණව ක්‍රියාත්මක වෙනවා නම්,නාමික ප්‍රජාතන්ත්‍රවාදයක් නැතුව සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් රටේ තියෙනවා නම් මුලික මිනිස් අවශ්‍යතා ගැන රජය සංවේදී නම් වර්ග,ජාති,ආගම් භේද වලින් තොරව ජිවත් වෙන්න පුළුවන් රටක් නම් ඒ ඇති බං.
      සාක්කු පිරෙන එක එහෙම රටකදී ඉබේම සිද්ධ වේවි.

      Delete
  10. අපරාදෙ ආච්චි මහන්සියෙන් හදපු මයියෝක්කයි ඌරු මසුයි. ඕක සෙට් වෙලා කොහොම හරි ට්‍රිප් එක ගියා නම් අපේ මනෝ රතු වෙලා වැනි වැනි එයිනෙ :P.
    මහලොකුවට නැතත් යහපාලනයේ ඉස්සර ආණ්ඩුවට වැඩිය හොඳ ලක්ෂණ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. "ආයුබෝවන් මනා"මේ පැත්තේ ආපු පළමුවැනි වතාවනේ.කෑම ටික නම් අපතේ ගියේ නැති නිසා අවුලක් නැහැ.

      //කොහොම හරි ට්‍රිප් එක ගියා නම් අපේ මනෝ රතු වෙලා වැනි වැනි එයිනෙ :P.//
      රතු නම් වෙන්නේ නැති වෙයි තව ටිකක් විතර සුදු නම් වෙලා එවි කුණු ටික අතුල්ලලා නාගන්න නිසා.:D

      එක තමයි අඩුපාඩු තිබුනත් මට නම් මේක හොඳයි කලින් එකට වඩා.

      Delete
  11. නුවනක්කාර තාත්තා.... සහ අනුවන පුතා

    ReplyDelete
    Replies
    1. හෙහේ,එහෙමද සා රස තුමා හිතන්නේ.

      Delete
  12. ඕක උඹේ වැ‍රැද්දක් නෙමේ මේ ක්‍රමේ වැ‍රැද්ද...

    යහපාලන වාදීන්ට උන් මොනවා කළත් උන් හොඳයි
    යමපාලන වාදීන්ට උන් මොනවා කළත් උන් හොඳයි

    හැම එකටම හැමෝටම කියන්න දෙයක් තියනවා.. ඉතින් කතා නොකරම ඉන්න එක හොඳා...

    එකක් පැහැදිලියි, මේ ශ්‍රී ලංකාව කවදාවත් දියුණු වෙන රටක් නෙමේ..

    ගනින් මෙන්න මෙහාට ඔය ම්යියොක්කා කෑල්ලක්.. හිටං.

    ReplyDelete
    Replies
    1. එක තමයි බං සෙන්නයියේ කියන්නේ මුන්ගෙත් වැරදි අඩුපාඩු නැතුව නෙමේ කියලා.නමුත් තාමත් කලින් තිබ්බ පාලනයට වඩා එක දශමයකින් හරි මේ යහපාලනය තාමත් හොඳයි.
      මේ ආණ්ඩුව සුළුතර ආණ්ඩුවක් වීමත් ශක්තිමත් විපක්‍ෂයක් තිබීමත් එකට ලොකු හේතුවක් වෙන්න පුළුවන්.

      //එකක් පැහැදිලියි, මේ ශ්‍රී ලංකාව කවදාවත් දියුණු වෙන රටක් නෙමේ//
      එහෙම කියන්න එපා බං සෙන්නයියේ.අපි උඹලා ඔක්කොම එකතු වෙලා මේක දියුණු රටක් කර ගමු අධ්‍යාත්මිකව,සංස්කෘතිකව,ආර්ථිකමය ඔය හැම පැත්තෙන්ම.

      මයියොක්කා නම් නැහැ බං.ඊයේ රෑ ගෙනත් ඉතුරු වෙච්චි පාන් භාගයක් නම් තියෙනවා.

      Delete
    2. // අධ්‍යාත්මිකව,සංස්කෘතිකව,ආර්ථිකමය ඔය හැම පැත්තෙන්ම. //

      හෙහ්... බල්ලොත් එක්ක බෑ බන්...

      Delete
  13. මනෝජ්........................

    මුලින් ම කියන්න ඔ්නේ ඔය තාත්තයි අපේ තාත්තයි තකට තක.... කතාව වැඩ ඔක්කොම ඔහොමම තමා.... මං මේක කියවලා තාත්තා මතක් වුණ පාර මේ දැන් කෝල් ඒකකුත් ගත්තා.....

    මචං මටත් සුපිරි වැඩක් වුණා යහපාලන අාණ්ඩුව නිසා.. මමයි බිරිදයි ඉතින් දන්න කියන හැමෝම හරව හරහා අාණ්ඩුව පෙරළගන්න ෆුල් ට්‍රයි කරා.. හරියට අපි කරා වගේ දැනුනා පෙරලුනාම... ඒත් අපේ අම්මා තාත්තා තියා ගෙදර ඉන්න නංගිවත් හරවා ගන්න මට බැරි වුණා... දැන් පෙරළිලා සතියක් විතර ගියා කියමුකෝ..... හුටා කියලා හෙන කේස් අැද්දා බිරිදගේ රස්සාවට..... මොකද ඒයා වැඩ කරන්නේ අාර්ථික සංවර්ධන නිලධාරිණියක් විදිහට..... දැන් ඉතින් අනාථයි... රස්සාව නැති වුණා වගේ තමයි කට්ටිය කතා කරන්නේ..... තාත්තා මටම කතා කරලා අැහුවා අැද්ද යහපාලනය හොදද කියලා....

    හැබැයි මචං මං අැරියේ නැහැ.... කොහොම හරි ඔය අස්ථාවර වෙලාවේ දගලලා අවුරුදු තුනක් බැරිවුණ ට්‍රාන්සර් ඒක කරගත්තා... උෟරාගේ මාලු උෟරාගේ පිටේම තියලා කැපුවා.... මටනං දැන් යහපාලන අාණ්ඩුව අැදලා යනවා කියලා මං ළගදී තාත්තට කතා කරලා කිව්වා..... අැයි යකෝ අවුරුදු තුනක් බැරිවුණ වැඩේ අපේ අාණ්ඩුවෙන් කරගත්තානේ (අාණ්ඩුව අපේ කිව්වාට බලු බල්ලෙක් අපිව දන්නෑ)

    ReplyDelete
    Replies
    1. හෙහේ,ආණ්ඩුව අපේ හැබැයි අපිව දන්න මොකෙක්වත් නැහැ නේද බං.

      එහෙම තමයි බං සමහර වෙලාවට තාමත් අපේ තාත්තා කෝචොක් එක දනවා ඔය ආණ්ඩුව නා ගන්න වැඩ වලදී සැහෙන්න.

      Delete
  14. // හැබැයි මචං මං අැරියේ නැහැ.... කොහොම හරි ඔය අස්ථාවර වෙලාවේ දගලලා අවුරුදු තුනක් බැරිවුණ ට්‍රාන්සර් ඒක කරගත්තා... උෟරාගේ මාලු උෟරාගේ පිටේම තියලා කැපුවා.... //

    කතාව රට ජාතිය බේරා ගන්නය.... කරන්නේ තමා ගේ ලාබය සඳහාම වන සිල්ලර වැඩ ය. අපට නම් දුකය.

    ReplyDelete
  15. // "ඉතින් මේ මඤ්ඤොක්කා ටිකයි,මස් ටිකත් ටැප් එක ළඟටඅරන් ගිහින් නාලා කාපන්" //

    තාත්තා දීලා තියෙන්නෙ පට්ටම ටෝක් එකක්නෙ මට තවම හිනා බං...ඇඩෙනවා තනි ඇහැට...කැත සිද්ධියක් වෙලා තියෙන්නෙ. උඹ ඉතිං ටැප් එකෙන් නාලා ඌරු මස් කෑවද...

    ReplyDelete
    Replies
    1. ඔව් බං අපේ තාත්තා දෙනවා සමහර වෙලාවට කොර වෙන ටෝක්.කැත සිද්ධියක් නෙන්නම් වුනේ.ඔව් ඉතින් ටැප් එකෙන් නලා ඌරු මස් මයියොක්කා එක්ක කලා ඔෆිස් ගියා.

      Delete
  16. ට්‍රිප් යාම කෙසේ වෙතත් මඤ්ඤොක්කා ඌරා එක්ක බොන්න නං කට්ටිය ඕන තරං ඉඳී.

    මේ ඉරිද තිබුන සටනට ඇවිල්ල හිටිය නිර්මාල් බොස්. පොර කිව්ව නියම කතාවක්. රුසියාවෙ පළමු විප්ලවය උනාට පස්සෙ වගේ තත්වයක්ලු දැන් ලංකාවෙ තියෙන්නෙ. යම් මට්ටමකට අරාජික, ඔය සංවර්ධන වගේ වැඩ ටිකක් විතර නැවතිච්ච තත්වයක් තියෙන්නෙ. මේ තියෙන්නෙ හොඳ තත්වයකට පත් කරගන්න හොඳ අවස්ථාවක්. (ලෙනින් කලා වගේ). නීතිය එහෙමත් යම් මට‍්ටමකට හොඳින් තියෙන්නෙත් මේ පතෝල වගේ ආණ්ඩුව නිසාලු. තනි කණ්ඩායමක් බලයට ආවොත් වෙන දේ දන්නවනේ.

    ReplyDelete
    Replies
    1. //ට්‍රිප් යාම කෙසේ වෙතත් මඤ්ඤොක්කා ඌරා එක්ක බොන්න නං කට්ටිය ඕන තරං ඉඳී.//
      එකනම් කියලා වැඩක් නැහැ.

      නිර්මාල් බොස් එහෙම කිව්වා නම් ඒ කියන්නේ මේ තියෙන තත්වය තුල අපිට යම් සුළු හෝ යහපත් බලාපොරොත්තුවක් ඉදිරිය ගැන තියා ගන්න පුළුවන් කියන එකනේ.හැබැයි මේක නිකම්ම හොඳ තත්වයකට පත් වෙන්නේ නැහැ අපි එකට උත්සහා ගන්නේ නැතුව.නීතිය හොඳටම නැතත් යම් මට්ටමකින් තියෙනවා සතුටු වෙන්න පුළුවන් විදියට.අන්න බලවත් විපක්‍ෂයක් තිබීමේ හොඳ ලක්ෂණ.
      කොහොම වෙතත් ඊගාව ජන්දේදී වුනත් බලය එක කණ්ඩායමකට යන්න දෙන්න හොඳ නැහැ.මරාගේ හොල්මන් වලට එන්න ඉඩ දෙන්න හොඳ නැහැ වගේම දියාරු විපක්‍ෂක් නොවන හොඳ විපක්‍ෂයක් ඊගාව මහා ජන්දෙන් පත් කර ගන්න ඕනේ.

      Delete
  17. හැමදේම සංසංදනාත්මකව බැලුවහම හරිනේ?
    යම රජ පාලනයේ අන්තිම අවුරුදු කීපයට සංසන්දනය කලහම මේ යහපාලනය තමයි.
    තමන්ගේ හීනලෝකෙ තිබුන එක එක්ක නෙමෙයි බලන්න ඕනෙ තිබුන එකත් එක්ක

    මඤ්ඤොක්කා කිලෝ 5ට ඌරු මස් කිලෝ 4යි. ට්‍රිප් යන්නම ඕනෙද? කාට හරි කතාකරල ගෙදරම පාටි දාන්න පුලුවන්නෙ. එදා ටෙලිෆෝන් නම්බර් එකවත් දීගන්න බැරිවුනානෙ මනෝජ්ට.. ෂැහ්

    ReplyDelete
    Replies
    1. ඔව් යමපාලනේ එක්ක සංසන්දන කෙරුවොත් යහපාලනය වඩා ප්‍රජාත්‍රන්තවාදීයි.
      ප්‍රා කියන දේ හරි හීන ලෝකේ තියෙන එකත් එක්ක බලනවා කියන්නේ බොරුවක්.එක ප්‍රයෝගික නැහැ.


      //මඤ්ඤොක්කා කිලෝ 5ට ඌරු මස් කිලෝ 4යි. ට්‍රිප් යන්නම ඕනෙද? කාට හරි කතාකරල ගෙදරම පාටි දාන්න පුලුවන්නෙ. එදා ටෙලිෆෝන් නම්බර් එකවත් දීගන්න බැරිවුනානෙ මනෝජ්ට.. ෂැහ්//

      ගෙදර පාටි දානවාට වඩා ට්‍රිප් එකක් ගියාම වෙනසක් තියෙනවානේ.මොනවා කරන්නද දැන් ඉතින් වෙන දවසකවත් බලමු.

      Delete
  18. යහපාලනේ ප්‍රතිඵල, මරාපාලනේ තරම් ක්වික් නෑ. මොකද නීත්‍යානුකූලව කරන දේවල් එහෙම ඒකාධිපති වාදයෙන් වගේ ක්ෂණිකව කරන්න බැරි වීමත්, මරාපාලනෙන් පත් කරපු නිලධාරීන් ඉවත් නොකිරීමත්, මරා ඇති කරපු ජරා සංස්කෘතිය දවසින් දෙකෙන් සංශෝධනය කරන්න බැරි වීමත් නිසා.

    ඉතිං මාත් කළකිරිලා නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව්,මගෙත් ලොකු කලකිරීමක් නැහැ.නිත්‍යානුකුලව සිද්ද වෙන දේවල් වෙන්න යම්කිසි කාලයක් ගත වෙනවා එක ඇත්ත.ඔය යහපාලනේ ප්‍රතිඵල කෙටි කාලීන ක්ෂණික වින්දනයක් නොවී දීර්ඝකාලින යහපත් ප්‍රතිපල ලබා දීම තමයි වැදගත් වෙන්නේ.

      Delete
  19. චණ්ඩියෙක් සිංහාසනේ විරාජමාන වෙනවට අපේ මිනිස්සු හරි කැමතියි. මේ කැලෑව මුව පොව්වෙකුට පාලනය කරන්න අමාරු ඒ නිසයි. අවුරුදු තිහක් ලේ දැකල දැකල දැන් කොල මැල්ලුමක් කාල ඉන්න හිත හදාගන්න අමාරුයි උන්ට. යම පාලනේ ආයි එයි කියල මගේ හිතට හරි බයක් දැනෙනවා. යහපාලනෙන් හිතට දැනිච්චි නිදහස නැති නොකර ආරක්ෂා කරගන්න එක අපේ වගකීමක්.

    උඹේ ලිවිල්ල පංකාදුයි මචං තව ලියපං අපි ඉන්නවා රසවිඳින්න

    ReplyDelete
    Replies
    1. මගේ කිචි "ආයුබෝවන්"උඹට!
      ඇත්ත උඹ කියන දේ ලේ දැක්ක මිනිස්සුන්ට ඕනේ ලේමයි.බය වෙන්න එපා යම පාලනේ ආයෙමත් එන්නේ නැහැ.හැබැයි එහෙම කියලා අපි නිද්‍රශීලි වෙන්න හොඳ නැහැ .

      මගේ කිචියට ලියන එව්වා නේ බොහෝම ස්තූතියි උඹට.

      Delete
  20. අනේ බන් අපට නම් යහපාලනෙන් පඩි වැඩි කෙරුවා හොදයි හිටං
    ඊලඟ ඌරුමස් කතාව රහයි හිටං
    ඌරුමස් කියන්නෙ මගෙත් ප්‍රියතම කෑමක්. බලං ගියාම බ්ලොග් ලියන එවුන් ඔක්කොම ඌරුමසට වහවැටුන බේබද්දොනෙ ( මාත් ඇතුළුව )

    ReplyDelete
    Replies
    1. උඹලාටත් එහෙනම් යහපාලනෙන් නරකක් වෙලා නැහැ.

      ඌරුමස් මගෙත් ආසම කෑමක්.හැබැයි ඉතින් සැහෙන කාලෙකින් කෑවේත් නැහැ බං.

      Delete

වැරදි හදන්න,විවේචනය කරන්න,ඕනෑම මතවාදයක් සදහා ඉඩ..
බොහොම ස්තුතියි....!!!