Friday, June 9, 2017

ජෝන්


කෙරුවාට සංවිධායකකම විපක්ෂයේ 
තිබ්බේ කකුල් දෙකම ආණ්ඩුවේ 
එල්ලිලා මහරජාගේ කුණු සාටකයේ 
උන්නා මතකයි ජෝන් උඹ උන්නා එජාපයේ 

අරගෙන ආණ්ඩුවක් රනිල් හා මෛත්‍රි 
උඹටත් දුන්නේ ඇමති කම් සුපිරි 
කටුස්සාගේ කරේ බැන්ද වැනි රන් අනගි 
හැසිරේ උඹත් වළං කඩේට පැන්න ගොනා හැටි 

මොකටද අයිසේ හදලා "ජෝගින් පාක්"
අනවශ්‍ය උන් රස්තියාදු ගහන තරම් 
කියමින් මැතිඳු ගලවලා ගල් පේලි 
කරයි ජනතා සේවය හරි තුටිනි 

වාහන පදින්නේ අනවශ්‍ය උන් හින්දා 
හැම තැන අනතුරු ඇත ඉන් වැඩි විලා 
මිල වැඩි කරලා වාහන ගෙන්වීම නවතලා 
අපි යමු ගොනා බැඳී කරත්තෙක නැගලා 

තිබුනත් බලේ තවමත් නැති හින්දා මොලේ 
යන යන තැන ඇදගෙන නාන සොඳේ 
කිළුටු වී ඇති යහපාලන සුදු රෙද්දේ 
උඹත් අනවශ්‍ය මිනිහෙක් තමා ජෝන් 

Friday, December 16, 2016

හමුදා,පොලිස් රාජ්‍ය අවශ්‍ය නැත.

මහින්ද රාජපක්ෂ හුළං ගසා පිම්බු හමුදා රාජ්‍ය වෙනුවට රනිල් වික්‍රමසිංහ හුළං ගසා පුම්බන පොලිස් රාජ්‍ය කාටුනය.අවන්ත ආටිගලගේ.
මා දන්නා පරිද්දෙන් ප්‍රජාතන්තවාදී රටක පොලිසියේ කාර්යභාරය වනුයේ නීතිය හා සාමය ආරක්ෂා කර ගැනීමයි.නමුත් පොලිසියට එසේ නීතිය හා සාමය රැක ගැනීමට නොහැකි ඇතැම් අවස්ථාවලදී ඒ සඳහා හමුදාව කැඳවන අයුරු දැක ගැනීමට ඇත.නමුත් ලංකාවේ පොලිසියට සාපේක්ෂව හොඳ බව පවසන හමුදාවන් එවැනි කැඳවීම් ලද ඇතැම් විට හැසිර ඇති ආකාරයන් නැති ප්‍රශ්න ඇති කිරීමට සමත් වූ බවක් පෙනෙන්නට ඇත.

පසුගිය රාජපක්‍ෂ රජය කාලයේ දී වැලිකඩ බන්ධනාගාරයේ සිදුකල සෝදිසි කිරීමකට හමුදාව යොදා ගැනීම අවසන් වුයේ රජය භාරයේ සිටි රැඳවියන් පිරිසක් ඝාතනය වීමෙනි.ඉන්පසු කාලයකදී රතුපස්වල ප්‍රදේශයේ ජනතා විරෝධතාවක් මැඩපැවැත්වීමට ගෙන්වූ හමුදා වෙඩි තැබීමකින් කිහිප දෙනෙක් මිය ගිය අතර පසුගිය දිනක හම්බන්තොට වරායේ විරෝධතාවක් මැඩපවත්වන්න පැමිණි නාවික හමුදාව අනවශ්‍ය ප්‍රශ්නයක් සදා ගත්තේ නාවික හමුදාපතිවරයා විසින් ප්‍රදේශීය මාධ්‍යවේදියෙකුට පහරදීම තුලිනි.(පහර කෑමට ලක් වූ තැනැත්තා මාධ්‍යවේදියෙක්ද නැද්ද යන්න අදාළ නොවේ.එවැනි පහරදීම් අනුමත කල හැකි නොවේ.)

රාජපක්‍ෂ පාලන සමයේදී "රණවිරුවන්"ලෙස කිරුළු දරා සිටියද ඒ රණවිරු ලේබලයට මුවා වෙමින්ම අකටයුතුකම් කරන ලද්දෝද බොහෝ වෙති.ඇවන්ට් ගාඩ් සිදුවීම සම්බන්ධයෙන් උසාවි කැඳවන ලද හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනාගේ දේශප්‍රේමයේ තරම සිතා ගත හැකිය ඔවුන් කටයුතු කර තිබෙන ආකාරය නිරීක්ෂණය කිරීමෙන්.

රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම හිමි පොලිසියද හමුදාවට නොදෙවෙනි ක්‍රියාකාරකම් වල යෙදෙන බව රහසක් නොවේ.නමුත් එසේ කියා රටේ සිදුවන හැම සිදුවිමකටම පොලිසිය වෙනුවට හමුදාව කැඳවන්න යාම ප්‍රඥාවන්ත ක්‍රියාවක් නොවන බව පැහැදිලිය.එසේ කල නොහැකි නම් කල යුත්තේ  නීතිය හා සාමය රකින්න බැරි "සර්ගේ" පොලිසිය විසුරුවා හරිනු ලැබීමයි.

කෙසේ වෙතත් පසුගිය දිනවල දැඩි කතාබහකට ලක් වූ නාවික හමුදාපතිවරයාගේ සිදුවීම අරබයා රජය මාධ්‍ය මර්දනය කරනවායි ඒකාබද්ධ විපක්ෂය නගන චෝදනාවද විහිළුවක් බවද කිව යුතුය.හිටපු රජය බලයේ සිටි කාලයේ ඇතැම් හමුදා සාමාජිකයින් රජයේ ඕනෑ එපා කම් අනුව ඝාතන සිදු කල බවටද චෝදනා තිබේ.ඉහතින්ද සඳහන් කල වැලිකඩ ඝාතනය පමණක් නොව ලසන්ත ඝාතනය,රවිරාජ් ඝාතනය ආදිය සඳහාද ආරක්ෂක හමුදා සම්බන්ධ බවට චෝදනා නැගෙන අතර ඒ සිදුවීම් කිසිවක් පුද්ගලික අවශ්‍යතා මත සිදු වුවාට වඩා පැවති රජයේ අවශ්‍යතාව මත සිදුවන්නට ඇති බව පැහැදිලිය. 

අපට මිලටරි රාජ්‍යක යටත් වැසියන්ව ජිවත් වීමට අවශ්‍ය නැත.ඒ නිසා දැන් නැග එන ගෝඨා රැල්ලද පරාජය කල යුතුය.මන්ද ඉහතින් සඳහන් කරන ලද හැමසිදුවිමකටම සෘජුව හෝ වක්‍රව ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ සම්බන්ධයක් පෙනෙන්ට ඇති බැවින් ඒ දේ කල යුතුව තිබේ .නැතහොත් සිදු වන්නේ නාමිකව හෝ පවතින ප්‍රජාතන්ත්‍රවාදයට කණ කොකා හැඩීම පමණි.

Wednesday, November 23, 2016

වදකයන් ලුහුබැඳ යන්න.

මේ කියන්න යන්නේ පොතක් ගැන.
පොත තමයි "වදකයන් ලුහුබැඳ මියුනික් කරා" කියන පොත.


කෘතියේ මුල් කවරය.
පහුගිය සැප්තැම්බර් පොත් ප්‍රදර්ශනය වෙලේ විදර්ශන කුටියේදී මේ පොතට ඇස ගියේ පොතේ තිබ්බ නම නිසා.මියුනික් නගරය ජර්මනියේ නගරයක් වෙච්ච් නිසාම මට හිතුනා මේ පොතත් ලෝක යුද්ධය හා සම්බන්ධව ලියවෙච්චි පොතක් වෙන්න ඇති කියලා.

ඉතින් පොත අතට අරගෙන පිටුවක් පෙරලලා බැලුවාම දැක්කා පරිවර්තකගේ නම "නිලුක කදුරුගමුව." කියලා.ඒ නම නුහුරු නමක් නොවුනේ පරිවර්තකයා බ්ලොග් ලියන්නෙක් වෙන නිසා.අපුරු කවි වගේම කතාන්දර පරිවර්තනය කරන බ්ලොග් රචකයෙක් වෙන නිලුකගේ බ්ලොග් එකේ නමත් "පරිවර්තන"

දෙවැනි ලෝක යුද්ධ සමයේදී "මයිකල් රෝගන්" නම් ඇමරිකානු බුද්ධි අංශ නිලධාරීයකු ජර්මන් පාලනය යටතේ පවතින ප්‍රංශයේ සිට සැඟවී කරන  මෙහෙයුමකදී නාට්සි ජර්මානුවන්ගේ අත්අඩංගුවට පත් වීමත් ඔහු සමගින් අත්අඩංගුවට පත් වෙන ගැබිණි බිරිඳ ඔහුගෙන් වෙන් කර ඇය නගන වේදනාත්මක විලාපයන් යොදවාගෙන ඔහුගෙන් ප්‍රශ්න කරන නට්සි වදකයින් සත් දෙනෙකුගෙන් පළිගැනීම සඳහා නට්සින් වෙතින් නිදහස ලැබීමෙන් අනතුරුව ඔහු ක්‍රියා කරන ආකාරය ගැන ලියා ඇති කෘතිය කියවන විට මගේ මතකයට නිතැතින්ම පැමිණියේ තරමක් දුරට ඒ හා සමාන කතාවක් සහිත කෘතියක් වූ  "ෆෙඩ්රික් ෆෝසයිත්"විසින් රචිත අභය හේවාවසම් විසින් පරිවර්තනය කරන ලද "හිට්ලර් ගේ එස් එස් හමුදාව" නම් කෘතියයි.

කෙසේ නමුත් Mario Puzo විසින් 1967 දී රචිත "Six Graves to Munich" නම් කෘතියට වඩා ඉදිරියෙන් 1972 දී Frederick Forsyth විසින් රචිත "The Odessa File" කෘතිය ඇති බව මගේ හැඟීමයි.

වෙහෙසකර කියවීමක් නොවන ලෙසට නිලුක විසින් පරිවර්තනය කර ඇති කෘතිය තුලින් යම් දෙයක් කිරීමට කිසිවෙකු විසින් අධිෂ්ඨාන කරන ලැබූ විට ඒ අධිෂ්ඨානය ඉටුකරගැනීම සඳහා ඔහු විසින් ගන්නා වෙහෙසවීම්,කැපකිරීම් ගැන ලියවුනු කෘතිය විදර්ශන ප්‍රකාශනයකි.


පොතේ පසුකවරය.

Friday, September 9, 2016

ඇඩොල්ෆ් අයික්මාන්ට එරෙහි නඩු විභාගය.

මේ සාහිත්‍ය මාසය.ඉතින් කාලෙකින් මුකුත් නොලිව්ව එක කියවපු පොතකින්ම වැඩේ පටන් ගන්නයි මේ හදන්නේ.

මම සාමාන්‍යයෙන් යුද්ධයට කැමති නැති අයෙක්.යුද්ධය කියන්නේ විනාශයක් පමණයි.නමුත් මම ප්‍රිය කරන විෂයක් තමයි පළමු,දෙවැනි ලෝක යුද්ධ ඉතිහාසය.ඒ ආශ්‍රිත දේ කියවන්න මගේ විශේෂ කැමැත්තක් තියෙනවා.

දෙවැනි ලෝක යුද්ධය තුල ලොකුම සංහාරයකට මුහුණ දෙන්න සිද්ද වුනේ "යුදෙව්" ජාතිකයින්ට.ඒ නට්සි නායක ඇඩොල්ෆ් හිටිලර් ගේ ආඥදායකත්වය යුදෙව් ජාතිකයින්ට විරුද්ධව ඉහළින්ම තිබීම හේතුවෙන්. කෙසේ නමුදු යුදෙව්වන්ට එරෙහි මෙවැනි සංහාරයක් තනිව කිරීම හිට්ලර්ට පමණක් කල හැක්කක් නොවන අතර යුදෙව්වන් නොමැති ආර්ය ජර්මානු මහා අධිරාජ්‍යක් සැදීමේ හිට්ලර්ගේ අභිප්‍රාය සපල කරගැනීම වෙනුවෙන් ඔහුට සහාය දැක්වූ බොහොමයක් දෙනා සිටියා. ඒ අය අතර සිටි "හෙන්රිච් හිම්ලර්,හර්මන් ගොරින්,රුඩොල්ෆ් හර්ස්,මාර්ටින් බොර්මන්,අර්නස්ට් කැල්ටෙන්බ්රූනර්,ජෝසෆ් ගොබෙල්ස්‌,දොස්තර ජෝශප් මෙන්ගල්" වැනි නට්සි දේශපාලකයින්,නිලදාරීන් අතරට කියවෙන තවත් බිහිසුණු නමක් තමයි "ඇඩොල්ෆ් අයික්මාන්" යන නම.

දෙවැනි ලෝක යුද්ධය නිමාවෙන් අනතුරුව මිත්‍ර රටවල් විසින් ජර්මනියේ "නියුරම්බර්ග්" නුවර පිහිටෙව් විශේෂ අධිකරණයක් මගින් හිට්ලර්ගේ රජයේ  සිටි නාසි පක්ෂයේ ප්‍රධානින් විසිහතර දෙනෙකුගේ සහා තවත් සංවිධාන හතක ඉරණම තීන්දු කරනු ලැබූ අතර එසේ නමුදු යුද්ධයෙන් අනතුරුව හෝ යුද්ධයේ අවසාන කාලයේදී ඇතැම් නාසි නායකයින් පලා යාමට සමත්වද සිටියේය.

කෙසේ වෙතත් එසේ පලාගිය ඇතැම් නාසි පක්ෂ නායකයින්,එස් එස් හමුදා නිලධාරීන් පසුපස හඹයෑම් සහා අත්අඩංගුවට ගැනීම් දිගටම සිදුවූ අතර පලාගිය බොහෝදෙනෙක් ගේ ගමනාන්තය වුයේ දකුණු ඇමරිකානු රටවල් වේ. එස් එස් අපරාධකරුවෙකු වූ දොස්තර ජෝශප් මෙන්ගල් කිසිදු අධිකරණයකින් දඬුවම් නොලබා මිය යන්නේ දකුණු ඇමරිකානු රටක් වන "බ්‍රසීලයේදී" වීම එක උදාහරණයක් පමණි.

මෙසේ පලාගිය අය අතරේ සිටි එක් අපරාධකරුවෙක් වූ "ඇඩොල්ෆ් අයික්මාන්" ආර්ජන්ටිනාවේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන ඊශ්‍රායලය වෙත ගෙනවිත් නඩු අසා දඬුවම් කරනු ලබන අතර ඒ නඩු විභාගය ගැන ලියවුනු කෘතියක් සිංහලට "එල් එස් එස් පතිරත්න" විසින් පරිවර්තනය කර ඇති අතර පරිවර්තනයේ නම "ඇඩොල්ෆ් අයික්මාන්ට එරෙහි නඩු විභාගය"යන්නයි.
මේ එම පරිවර්තනයේ මුල් කෘතිය විය හැක.
විජේසුරිය ප්‍රකාශනයක් වන කෘතිය මා මිලදී ගත්තේ එහි ඇත්තේ "ඇඩොල්ෆ් අයික්මාන්ව" ආර්ජන්ටිනාවේ සිට පැහැරගෙන එන කතාන්දරය ඇතැයි සිතා වුවත්  එම කෘතියේ ඇත්තේ අත්අඩංගුවට පත්වූ අයික්මාන්ට එරෙහිව 1961 අප්‍රේල් මස සිට ආරම්භව චෝදනා පහළොවක් ගැන කෙරෙන නඩු විභාගයේ තොරතුරු වේ.

"අවසන් විසඳුම,පිටුවහල් කිරීම,එක්තැන් කිරීම,වෙන් කිරීම" වැනි නම් වලින් ලේඛන වල සටහන් කර සිතාගත නොහැකි,අදහා ගත නොහැකි ලෙස මිලේච්ච ආකාරයෙන් මිනිසුන් ඝාතනය කරන ලද ඝාතන ක්‍රියාදාමයකට නායකත්වය දුන් ඝාතකයකු අවසානයේ තමන් සිදු කලේ ඉහලින් පැමිණි අණ පිළිපැදීමක් පමණක් කියා නිර්දෝෂී වීමට ගන්නා ප්‍රයන්තයන් විස්තර කෙරෙන කෘතියේ නඩුවේ චෝදනා ඉදිරිපත් කිරීම,සාක්ෂි මෙහෙයවීම,තීන්දුව,තීන්දුවට එරෙහි අහියාචනය සහා අභියාචනාධිකරණ තීන්දුව ගැන සියලු විස්තර සඳහන් වේ.

Monday, May 2, 2016

පෙර දිනයක මා පෙම් කල යුවතිය මේ පුංචි රටේ යළි අප හමුවේවි.

එදාත් මේ තරම් නැතත් සැරට අව්ව පයලා තිබ්බ දවසක්.අපි හිටියේ කොටුවේ දෙවැනි හරස් වීදියේ සාරි කඩේක.නෙක නෙක අරුමෝසම් සාරි අතරේ වල්මත් වෙලා වගේ හිටිය අපි දෙන්නා කඩෙන් එළියට ආවේ සාරි තියා ලේන්සුවක්වත් ගන්නේ නැතුව.

"එකනේ මම ඔයාට කිව්වේ දන්නා කෙනෙක් එක්ක යමු කියලා"

ඇයට මම එහෙම කිව්වේ මහන්සියෙන් විඩාවට පත් වෙලා හිටපු නිසා.ඇගේ පිළිතුර වුනේ පොඩි මන්දස්මිතයක්.

"ඔයා දන්නවාද වැඩක්" චණ්ඩි ඉර එළියෙන් බේරෙන්න කුඩේ ඉහලන ගමන් ඇය මගෙන් ඇහුවා.

"මොකක්ද" කියලා මම අහන්නත් කලින්ම ඇය කතාව කියන්න පටන් ගත්තා."අපේ අංජුයි,සංජුයි දෙන්නව මුලින්ම ගන්න හිටියේ අපේ වෙඩින් එකටනේ.දැන් ඒගොල්ලන්ව අපේ වෙඩින් එකට ගන්න වෙන්නේ දෙවැනියට"

අංජුයි,සංජුයි කියන්නේ ඇගේ අක්කාගේ දුවලා දෙන්නා.අපේ විවාහයේ වැඩ ගැන කතාබහා ඇති වෙන කොට ඇය අවධාරණයෙන් කියා සිටියා අපේ විවාහයේ මල් කුමරියන්ට ඇගේ අක්කගේ දුවලා දෙන්නවම ගත යුතු බව. 

දැන් ඇය කියන්නේ අපේ විවාහයේ ඇගේ අක්කලාගේ දුවලාට මල් කුමාරියන්ට ඉන්න වෙන්නේ තවත් අයකුගේ විවාහයක එසේ මල් කුමාරියන්ට සිටීමෙන් අනතුරව බවයි.

"එතකොට කාගේ වෙඩින් එකටද දෙන්නවා අරන් තියෙන්නේ."

මම ඇයට ඒ ප්‍රශ්නය යොමු කෙරුවේ ගල්කිස්සට එන්න මොරටුව බස් එකකට කොටුවෙන් නගින ගමන්.

"අමාලි අක්කාගේ මල්ලිගේ වෙඩින් එකට" ඇය උත්තර දුන්නේ බස් එකේ ජනේලයක් ලගින් වාඩිවෙන ගමන්.

"කවුද අමාලි අක්කා" මගෙන් ඇයට තවත් පැනයක්.

"ඇයි අනේ අමාලි අක්කා කියන්නේ අපේ තරංග අයියාගේ මල්ලි බැඳලා ඉන්න කෙනානේ"

තරංග අයියා යනු ඇගේ එකම සහොදරිගේ එහෙමත් නැති නම් ඇගේ අක්කාගේ සැමියායි.ඇගේ අක්කාගේ කුඩා දරුවන් දෙදෙනා මල් කුමාරියන් ලෙස සැරසෙන්න නියමිතව සිටින්නේ එම අමාලි අක්කාගේ මල්ලිගේ විවාහයටයි.

"දැන් කවද්ද ඔය මගුල තියෙන්නේ,කොහේ කෙල්ලෙක්වද බදින්නේ ?" "මැයි මාසේ,එයාත් ගල්කිස්සේ කෙනෙක් මට හම්බු වෙලත් තියෙනවා"ඇය උත්තර දුන්නේ  මගේ උරමත ඇගේ හිස සතපවන ගමනුයි.

කාලය ගත වුනා.අමාලි අක්කාගේ මල්ලිගේ විවාහයත් සිදුවුනා.

එදා ඉරිදාවක් කිසියම් කරුණක් නිසා එදින උදේ මට ඇගේ නිවසට යන්න සිදුවුනා.තවත් මාස කිහිපයක්ම ඇගෙත් මගෙත් විවාහයට ඉතුරුව තිබෙනවා.මා එදා උදේ ඇගේ නිවසට යන විට ඇගේ අක්කත් කුඩා දරුවන් දෙදෙනා සමගින් ඇගේ ගෙදරට ඇවිත් සිටියා.අමාලි අක්කාගේ මල්ලිගේ විවාහය සිදුවී තිබුනේ එයට පෙර සතියේදියි. 

ඇගේ ගෙදර ගුවන්විදුලි යන්ත්‍රයේ ලස්සන සින්දුවක් යමින් තිබුනා.

ජිවීත ගමනේ කෙදිනක හෝ 
අප යළි හමුවන දිනයේ 
මේ දුක් කඳුලැල් වියකුණු දෑසින් 
හිනැහෙනු මැන පෙර සේ

මේ පුංචි රටේ කොතැනකදී හෝ 
මතු කවදා හෝ යළි අප හමුවේවි.

සින්දුව අහමින්ම මම සාලයේ තිබ්බ හාන්සි පුටුවට බර දුන්නා.තේ කෝප්පයක් අරන් මා වෙත පැමිණි ඈ ඉන් අනතුරව වෙඩින් කේක් එකක්ද මා අත තිබ්බා තේ එක සමගින් කන්න.

"කොහෙන්ද වෙඩින් කේක්" මම ඇහුවේ කේක් කෑල්ලක් කන ගමන්මයි.

"අමාලි අක්කාගේ මල්ලිගේ වෙඩින් එකේ එව්වා.අක්කා ගෙනැල්ලා"

ඉන් මොහොතකට පස්සේ ඇය මාවෙත පැමිණියේ  විවහා උත්සවවලදී පැමිණෙන අමුත්තන් වෙත දෙන "Thank u Card"  එකක්ද රැගෙනයි.

"මේ බලන්න අපේ පැංචියෝ දෙන්නා අර වෙඩින් එකේ ඉන්න හැටි" ඇය එහෙම කියමින් මට දීපු "Thank u Card" එක මම අතට ගන්නකොටම ඇගේ අක්කා කිව්වා "මල්ලි ඔය නංගිත් ගල්කිස්සේ" යනුවෙන්.

"Thank u Card" එක අතට ගත්ත මගේ ඇස් දෙකට මුලින්ම දැක්කේ කාඩ් එකේ තිබ්බ නම් දෙක.මනාලියගේ නම දකිනවාත් එක්කම මගේ ඇස ගියේ ඒ "Thank u Card"එකේ උඩරට ඇඳුමින් සැරසුණු මාල හතක් දාපු මනාලිය වෙතට.

එක මොහොතකට මගේ හුස්ම නතර වෙන්න ඇති.හැබැයි ඒ එක මොහොතකට පමණයි.මගේ මුවින් පිටවුනු විශ්මයාර්ථ හඬ නිසාම මා ලග සිටි ඇයත් අගේ අක්කාත් විමසුවේ 

"ඇයි ඔය මෙයවා දන්නවාද"කියායි.

කුමට මුසා පවසම්ද ?

මේ මා පෙර දවසක පෙම් කල යුවතියයි.

අපේ ප්‍රේම සම්බන්ධය බිඳ වැටිමෙන් අනතුරුව අපි කිහිප වරක් මග තොට එකිනෙකා දැක තිබුනා.පසුව ඇය තරුණයකු සමගින් විවාහ ගිවිස ගෙන ඇති බව දැනගන්න ලැබුණා ඇගේ යෙහෙළියකගෙන්.කාලය ගත වෙලා දැන් මනලියකව සැරසුණු ඇගේ විවාහයේ "Thank u Card" එක මා අත.

ඒයිනුත් කලකට පස්සේ මමත්,ඇයත් නැවතත් පිටකොටුවේ යන්න ගියේ පෙරදිනයක මිලදී ගැනීමට නොහැකිවූ සාරි මිලදී ගැනීමටයි.

ඒ මොහොතේ අප ගමන්ගත් බස් රථයේ අමරදේවයන්ගේ 

පෙර දිනයක මා පෙම් කල යුවතිය
සිය පුතු නලවනවා 
මගේම ගීයක් නැළවිලි ස්වරයෙන් 
ඇතින් මතු වෙනවා

ගීය වාදනය වෙන්න ගත්තා.ඒවිට මගේ උරමත සුපුරුදු ලෙස ඇගේ හිස තබමින් ඈ කියා සිටියා මෙසේ


"ඔයාටත් ඕනේ නම් ඔය සින්දුව කියන්න පුළුවන්.ඔයගේ අර යාලුවා අම්මා කෙනෙක් වෙන්න යන්නේ"

Monday, April 18, 2016

අහඹුවක් නොවුණු ඛේදවාචකයක් ගැන ලියවුනු කෘති දෙකක් ගැන මගේ කියවීම.

ගොළුවන්ට කතා කරන්න පුළුවන්නම් ! එය අහම්බයක් විය හැක.කතා කල නොහැකි ඇතැම් ගොළුවන් වුවද කතාකරවන පොලිසියට පවා කතා කරවන්න නොහැකි වූ ගොළුවෙක් "නාට්‍ය හා භාෂා"පාසලකින් චතුර කථිකයකු කිරීම අහම්බයක් මෙන්ම ආශ්චර්යක්ද වනු නොඅනුමානය.

වම්මුන්ගේ රතු පාටට ඇති අයිතිය පරණ වලව්වක හුදකලා ජිවිතයක් ගත කල රදළයකු විසින් සාර්ථක ව්‍යාපාරිකයකුව තමන් සතුකර ගැනීම අහඹුවක් නොවන්නේද ?

ලියනගේ අමරකිර්තිගේ සම්මානනිය නවකතාව වන "කුරුලු හදවත"මිලට ගන්නට පසුගිය පොත් ප්‍රදර්ශණයේදී සුරස කුටියට ගොඩවූ විට අහඹු ලෙසම දුටු අමරකිර්තියන්ගේම නවතම කතාව වූ "අහම්බකාරක"මිලදී ගත්තේ "කුරුලු හදවත"පසුව මිලට ගැනීමේ සිතුවිල්ලෙනි. 

රටක් හඬවන ඛේදවාචක වුවද තමන්ගේ යහපත උදෙසා හරවා ගන්නා අය ඕනෑ තරම් ඇත.සුනාමියෙන් සියල්ල නැති වූ අය මෙන්ම ගොඩ ගිය අයද ඇත.රට වසර ගණනාවක් ආපස්සට ගෙනගිය කළු ජුලිය තමන්ගේ වාසනාව කර ගත් ගොළුවෙක් ගේ කතාව විස්මය ජනක කතන්දරයකි. 

දරුවෙකුට උපත දෙන තිබිරි ගෙයක් වැඩිහිටි මිනිසෙකුට "අලුත් ජිවිතයක්"දෙන තැනක් වීම අහම්බයක්ද නැතහොත් අරුමයක්ද ?

ලියනගේ අමරකිර්තියන් තමන්ගේ කෘතිය තුල සංකේත භාවිතයද අපුරුවට ගොඩ නගා ඇත."පිච්ච මල්,හඳුන්කුරු සුවඳ" ආදිය පමණක් නොව "රතුපාට"පවා සංකේතත්මකව භාවිතා කරමින් කතාව ගොඩ නංවන අයුරු අපුරුය.

හරක් මස් නොකන නමුත් කලවැදි මස් කන බැටළු හම පොරවා ගත් ඉහළ සමාජ පන්තියට නගින්න ලොබ බඳින මිනිස්සු අතරේ තමන් ගැනම ස්වයං විවරණයක නිරත වෙන පරමාදර්ශී,තමන්ගේ බිරිඳට වුවද ඇයගේ නිදහස සොයා යාමට ඉඩහල බන්දුල බලගල්ල තුල ඇතැම් විට තම ළබැඳි හිතවතිය තමන්ගේ ගෝලයා වෙත දක්වන සමීපබව ගැන නැගෙන සියුම් ඊර්ෂාව මිනිසුන් තුල තිබෙන පෘතග්ජන ස්භාවය මැනවින් පිලිබිබු කරවයි.

මේ සියල්ලට වඩා කතාව යටින් යන අහබුවක් නොවන "දේශපාලන කතාව"අපේ මෑත කාලින දේශපාලනය සිහි ගන්වයි.ධනයෙන් ඉහල නගින මිනිසුන් දේශපාලනයෙන් බලය අරුඪ කර ගන්න තනන වැයම.ඒ වෙනුවෙන් කරන මරා ගැනීම් ලාංකේය දේශපාලනයේ කවරදාත් සිදුවන්නක් බව සිහි ගන්වයි.

ලංකාවේ දොස්තරලා ගැන වාමාංශිකයෙක් වෙච්චි ධනපතියකුගේ ඉඩම් බලාගන්නා සේනගේ විවේචනය කවදාත් වලංගු කතාවකි.

මේ සියලු චරිත අතරේ මා සිත්ගත් කාන්තා චරිතය වූයේ රාධා චිටර්ය.ඒ රාධා චිටර් ගේත් නිශ්ශංක විජේමාන්නගේ "තරා මගේ දෙව්දුව"කෘතියේ එන තාරාත් අතරේ ඤතිත්වයක්ද මට දැනේ.

සිංහල රාධාත්,දෙමළ තරාත් එකම ඉරණමකට මුහුණ දෙන්නන් සේ සිතේ.
දෙදෙනාම තමන්ගේ ප්‍රේමය මග හැර ගත්තෝ වෙති. 

මේ චරිත දෙක පමණක් නොව එම එම කෘති දෙක අතරේද කිසියම් ඤතිත්වයක් ඇති බවක් හැඟේ.අපුරු අඛ්යනයකින් ලියුවුනු නිශ්ශංක විජේමාන්නගේ "තාරා මගේ දෙව්දුව"ද රසවත් කවියක් වැනි නව කතාවකි.කෘති දෙකම 83 ඛේදවාචකය ගැන කතා කරයි.

අවස්ථාවාදී දේශපාලකයින්ගේ අවජාතක දරුවාවූ ජාතිවාදය කොයි තරම් දේ අපට අහිමි කෙරුවාද ?මේ ඛේදවාචකය නිසා අහිමිවුයේ මිනිසුන්ගේ ජිවිත,දේපළ විතරක් නොවේ.එක පන්තියේ මිතුරන් හතුරන් කරවපු ඛෙදවාචකය මිනිසුන් එකිනෙකාව කොයි තරම් සහෝදරත්වයෙන් දුරස් කර දැමුවාද ?ඒ දුරස්වීම් ජිවිත වලට කරපු බලපෑම් කොයිතරම්ද ?


මෙව්වා උත්තර නැති ප්‍රශ්න.ඒ ප්‍රශ්න ආයෙත් ඇති නොවෙන්නයි අපි කටයුතු කලයුත්තේ.එහෙම සහෝදරත්වයෙන් කටයුතු කරන්න එදාත් අපිට පුළුවන් කමක් තිබ්බා නම් තාරාගේ කතාව මෙයට වඩා ලස්සන වෙන්නත් තිබුණා. සිදුවෙච්චි ඒ ඛේදවාචක අහඹු,හුදකලා සිදුවීම් වෙන්නත් තිබ්බා.  

ප.ලි : අහම්බකාරක "සුරස"පොතක්, තාරා මගේ දෙව්දුව "විදර්ශන" පොතක්.

Tuesday, March 8, 2016

නිදහස් චතුරස්‍රය පිහිටි භුමියේදී පෙම් යුවලකට බාධා කරන ලදැයි කියන කතාබහා සම්බන්ධයෙනි.

බුකීයෙන් ගත්තේ.

මිට අවුරුදු එකහාමරකට විතර කලින් මටත් ඔය වගේ සිදුවීමකට මුහුණ දෙන්න සිදු වුනා.ඒ පිල්ලෑව-බොරලැස්ගමුව ඇවිදීමේ පථයේදී.
එදා මම මගේ පෙම්වතිය සමගින් එහි ඇවිදමින් සිටියා.ඇය සිටියේ මගේ අතින් අල්ලාගෙන පමණයි.අපි බෙල්ලන්විල පැත්තේ සිට ඉදිරියට එසේ ඇවිදන් එන විට එක් මුර කුටියක සිටි අයෙක් අප දෙස අවධානයෙන් බලා ඉන්න බවක් පෙනුනත් අප එය නොතකා ඉදිරියට පැමිණෙමින් සිටියා.
එවිට අර ආරක්ෂක කුටියේ සිටි නිලධාරියා එහි සිටම අප වෙත කෑගසමින් කියා සිටියා

 "මේකේ පොඩි ළමයි,අම්මලා ඇවිදිනවා ඔය විදියට මේකේ ඇවිදින්න බැහැ.ලඟම තියෙන ගේට්ටුවෙන් එළියට යන්න" කියා.

ඇත්තෙන්ම ඒ මොහොතේ අපි වික්ෂිප්ත භාවයටත්,පිඩාවටත් පත් වුනා ඔහු පැවසු දේත් සමගින්.එම නිලධාරීයාගේ චෝදනාව වූයේ අපි එහි ආශිලාචාර ලෙස හැසිරුණා යන්නයි.ඒ මොහොතේ මා තුල පැමිණි ආවේගය මා පාලනය කර ගත්තේ මා අසල සිටි ඈ එම ස්ථානයෙන් පිටව යාමට හඬමින් බල කරපු නිසා.

කෙසේ නමුත් පිටව යාමට පෙර මම ඔහුගෙන් විමසා සිටියා ඔහු කොහොමද තීරණය කරන්නේ කියලා අපි හැසිරුණු විදියේ ශිලාචාර-අශිලාචාර බව ගැන කියා.ඔහු එයට පැහැදිලි උත්තරයක් දුන්නේ නැති අතර ඔහුට වැඩි යමක් කියන්න මට නොහැකි වුවේ පෙම්වතිය කදුළු පිරි දෑසින් මට එතනින් පිටව යන්නට බල කල නිසායි.

ඔහුගේ නිර්ණායක අනුව පෙම් යුවලක් අත් අල්ලා ගමන් ගැනීම අශිලාචර ක්‍රියාවක්. එසේ වන්නේ ඔහු අඩු වශයෙන් දයාරත්න රණතුංගයන් ගයනා "දුරස් වන්නට මේ ලෙසින්"ගීතය හෝ අසා නැති වන්නට පුළුවන්.එම ගීතය අසා ඇත්නම් එහි අන්තරා කොටසේ ඇති 

"අත්වැල් බැඳගෙන මං මාවත් දිග 
ඔහේ ඇවිද ගිය කාලය මතකද"  යන කොටසද අසා නැති වන්නට බැරි නැත.

අත් අල්ලා පෙම් යුවලක් ගමන් ගැනීම දඩුවම් ලබා දිය යුතු වරදක්ද?

නීති පැනවීමෙන් සදාචරය ඇති කල නොහැක. 

නිදහස් චතුරස්‍ර භූමියේ පෙම්වතුන්ගේ හැසිරීමක් සම්බන්ධයෙන් ඇති වූ නාටක අවසානයේ පෙම්වතුන්ට අවවාද  කරන ලද ආරක්ෂකයින්ගේ රැකියා අවදානමකට ලක් වීමට ඉඩ දිය යුතුද නොවේ.සිදුවිය යුත්තේ පුද්ගල නිදහසට බාධා නොවන පරිදි දෙපිරිසම කටයුතු කිරීමයි.එය එසේ නොවන තාක් මෙවැනි නාටක සාමාජය ඉදිරියේ වරින් වර දිග හැරෙනු ඇත.