Saturday, September 7, 2013

තාත්තා..(ආඩම්බරකාර තාත්තා නොවේ.)



අවුරුදු 07 විතර ඇති පුංචි කොලු ගැටයකුගේ අම්මා ඒ කොලුවා වගේම ඒ කොලුවාගේ අවුරුදු 05 වෙන මල්ලිවත්,අවුරුදු එකමාරක් වෙන නංගිවත් දාලා සුරලෝකෙට ගියොත් ඒ කොලුවට කොයි තරම් අඩුවක් ඒ කොලුවා ලොකුවෙනකොට දැනේවිද?

 ඒ අඩුව මමත් මගේ ජිවිතේ අත්දැකලා තියෙනවා.ඒ අර අවුරුදු 07 පුංචි කොලුවා මම නිසා.අපේ අම්මා ජිවිත රගමඩලෙන් සමුඅරන් ගියේ ඒ විදියට අපි පුංචිසංදියේම  නිසා ඒ වෙන්වීම සමහරක් අවස්ථාවලදී හැරෙන්න අපිට ලොකුවටම දැනුනේ නැහැ.එක එහෙම වෙන්න තවත් හේතුවක් උනේ අම්මා නැති අපිට අම්මා නැති අඩුව දැනෙන්න තාත්තා ඉඩක් නොතිබ්බ නිසා.

ඇත්තෙම්ම මගෙත්,මල්ලිගෙත්,නංගිගේත් ජිවිත වලට අපේ තාත්තා සැබෑම අත්වරුවක් උනා.පුංචිකාලේදී  තාත්තාට වැළදිලා තිබුන පෝලියෝ රෝගයේ ප්‍රතිපලය වෙලා තිබුනේ තාත්තාගේ දකුණු කකුල හින් වෙලා යාම.මේ නිසා ඉස්සර ඉදන්ම තාත්තා ගමන්,බිමන් ගියේ පුට්සයිකලෙන්. අපේ තාත්තා තාත්තාගේ පවුලේ එකම පිරිමි දරුවා නිසා ආච්චිගේ,සීයාගේ ආදරය තාත්තාට නොඅඩුව ලැබුනා.ඒ නිසාමද මන්දා තාත්තා ටිකක් විතර රස්තියාදුකරා,විනෝදකාමී චරිතයක්ව තමයි ඉදලා තියෙන්නේ.නමුත් අම්මාගේ වියෝවත් එක්ක තාත්තා බොහොම වගකීම් සහගත පුද්ගලයෙක් බවට පත් උනා.

කොහොමත් තාත්තා කිසිදාක මත්පැන්,සිගරට් වගේ දේවල් භාවිතා කල කෙනෙකු නෙමේ.වරක් මම පොඩිකාලේ මාමාට සිගරට් එකක් කඩෙන් ගෙනත් දෙනවා දැකලා තාත්තා මාමට බැන්නේ පොඩිඋන්ව නරක් කරන්න එපාය කියලයි.ලොකු විභග සමත් වෙලා නොතිබුනත් තාත්තා "ජිවිත විභගේ "පළමු පෙළ සමර්ථයක් එක්ක සමත් වෙලා ඇති කියලා මට හිතෙන්නේ තාත්තා ප්‍රශ්න,අමාරුකම් වලට මුහුණදීපු විදිය දැක්කාමයි.

අම්මා වියෝ වෙනකොට අපි හිටියේ රත්මලානේ කුලී නිවසක.අම්මාගේ වියෝවෙන් පස්සේත් අපි තවත් වසර ගණනවක් ඒ කුලී නිවසේ හිටියේ තාත්තා අකැමති උනනිසායි ඒ ගේ දාලා එන්න.මේ කාලේදී අපිව බලාගන්න අපේ ආච්චිත් උන්නා.නමුත් ආච්චිව  නිතරම අසනීප වෙන්න ගැනීමත්,අපේ අධ්‍යාපන කටයුතු වල පහසුවත් වගේම තාත්තාට රැකියාවට යාමේ පහසුවත් උදෙසා  තාත්තාට සිදු වුනා ගල්කිස්සේ තාත්තාගේ මහාගෙදරට එන්න.

මම කුඩා අවදියේ ඉදම්ම අද වෙනකනුත් අපේ රෙදිහෝදන්නේ තාත්තා.එකට අපි කැමති උනත්,අකැමතිඋනත් එක එයාගේ කැමත්ත වෙලා තියෙනවා.අනික් අතට තාත්තා අපිට තාත්තා කෙනෙක් වගේම හොද යාලුවකුත් වෙනවා.ඉස්සර මායි,මල්ලියි එකතු වෙලා තාත්තා එක්ක සෙල්ලමට සටන් කරනවා.මමත් මල්ලිත් අපේ මුළු ශරීරෙම්ම තාත්තා සමගින් සටන් වැදුනත් එක බාහුවකින් අපිව පෙරළලා දාන ඔහු ඊළගට නංගිව පිට උඩින් හිදුවන් ගේ පුරා අලියා ගෙනයනවා.සරුංගල් කාලෙට සරුංගලයක් තාත්තා අනිවාර්යෙන් හදන්නේ එක මල්ලිගේ කැමත්ත නිසා.ගිය මාසෙත් ඒ විදියට  තාත්තා හදපු සරුංගලේ මල්ලි නිල් අහසේ  ගැවෙන්න තරම් උඩ යවලා තියෙනකොට තාත්තාගේ මුහුණේ තිබුනේ අවුරුදු පහක,හයක කොල්ලෙක්ගේ මුනේ තියෙන අහිංසක හිනවාක්.

රත්මලානේ කුලී ගෙදර ඉන්නා කලේ මගේ ලොකුම විනෝදාංශය වුනේ තාත්තා එක්කලා ගල්කිස්සේ තාත්තාලාගේ මහගෙදර යන එක.මාවත් බයිසිකලේ හරස් පොල්ල උඩින් ඉන්දවාගෙන තනි කකුලෙන් වාරු අරන් බයිසිකලේ පාගන තාත්තාට කලින් මට පිපාස දැනෙන්න ගන්නේ රත්මලානේ විජිත හෝල් එක හරියෙදිමයි.මේ පිපාසෙට තාත්තාගේ උත්තරේ ලැබෙන්නේ මැලිබන් හංදිය ගාව තියෙන "නවලංකා"එකෙන් 
මම සිත කල අලියා බෝතලයක් රස විදිනකොට තාත්තා හුගක් වෙලාවට මුකුත් නොබී හිටියේ මට තිබහා නැතැයි කියමින්.නමුත් එදා තාත්තා කොයි තරම් පිපාසයක් ඇතුව ඉන්න ඇතිද කියලා තේරුම් ගන්න තරම් මොළයක් මට ඒ කලේ තිබුනේ නැති උනත් ඒ සිදුවීම් යලි ආවර්ජනය කරනකොට මගේ දිව ගිලෙන තරම් පිපාසයක් මට දැන් එනවා. 

අපේ කර දඩු උස් මහත් වෙලා අපි රැකියාවලට යනමේ කාලෙත් ගෙදර එන සුපුරුදු වෙලාව මදක් හෝ ප්‍රමාද වුනොත් පළමුව දුරකතනයෙන් අමතන ඔහු දෙවනුව අපිව හොයාගෙන පෙරමගට එනවා.මම දන්නා කලෙක සිට කිසිදු ආගමික ඇදහිල්ලක තාත්තා නිරත නොවුනත් නිතරම හරිදේ,සාධරණදේ කරන්න ඔහු අපිව පෙළබෙව්වා.සමහරක් විට අපි අතරේ ගැටුම් ඇති වුවත් ඒවා පැයකින්,දෙකකින් සම්පුර්ණයෙන් විසදෙන්නේ අප අතර ඇති බැදීම නිසාමයි.

මේ සටහන මේ විදියට තබන්න මට හදිසියේ සිත් වුයේ මෙන්න මේ ගීතය ඇහුවාට පස්සෙයි.

මේ ගීතයේ ඉන්න අප්පච්චිත් අපේ තාත්තාත් එක්කෙනක්ම තමයි.එකම වෙනස "ක්‍රිෂාන්ත එරන්ද"ගේ අප්පච්චි අපිට තාත්තා වුන එක විතරයි.

ප.ලි: පිංතුරය ගුගල් ඉමේජ් වලින්.සිංදුව මෙතනින්
පසුව ලියා නැවත ලියමි: ලින්ක් දාන හැටි කියලා දීපු දේශට බොහෝම ස්තුතියි ඈ..

36 comments:

  1. උඹේ තාත්තා ගැන ආඩම්බරයි. ඕක තමා මචං සංසිද්ධිය. අපි කුඩා කාලයේ දෙමාපියන් ගැන නොහිතපු දේ දැං හිතෙන කොට උගුරේ ලොකු දෙයක් හිරවෙච්ච තරං අමාරුවක් දැනෙනවා. උඹ ඒක උපරිමෙන්ම ලියල තියෙනවා.. ආඩම්බරකාර පුතෙක් වෙන්න කියලා මාත් උඹට සුභ පතනවා...

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත එයාලා අපි වෙනුවෙන් කරලා තියෙන කැපකිරීම් එක්ක බලනකොට අපි එයාලා වෙනුවෙන් මුකුත්ම කරලා නැහැ තමයි.

      බොහෝම ස්තුතියි දේශා මේ දෙන දිරිගැන්වීම් වලට.

      Delete
  2. උඹ ලියපු හොඳම ලිපිය මේක වෙන්න ඇති, ඒ තරම් බොක්කෙන් උඹ ලියලා තියෙනවා......ඇත්තටම ඒ තමයි ආඩම්බරකාර තාත්තා

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි බං.ඔව් මමත් හිතනවා ඒ ආඩම්බරකාර තාත්තා මගේ තාත්තා කියලා.

      Delete
  3. Really proud of your dad Manoj. Take care of him.

    ReplyDelete
  4. මනෝජ් ඔබේ ලිපිය කියවද්දි ඇහැට කඳුලක් ආවා...ඔබේ තාත්තා වැනි දිරිය පියෙක් ඔබට සිටීම ඇත්තෙන්ම ආඩම්බරයට කාරණයක්.

    ReplyDelete
    Replies
    1. ඔව් හැලපයියේ,
      තාත්තා ජිවිතේට මුහුණ දෙන හැටි දැක්කාම ඔහු ගැන මට ආඩම්බර වෙන්න පුළුවන්.

      Delete
  5. තාත්තා කෙනෙක් ගැන තේරුම් ගන්න අපිත් තාත්තා කෙනෙක් වෙන්නම ඕන.

    ReplyDelete
    Replies
    1. නිශාන්ත අයියා මෙහෙ ආපු පළමුවැනි පාරනේ."ආයුබෝවන්"කියලා පිළිගන්නවා මුලිම්ම.

      ඔව්,බොහෝවිට එහෙම තමයි.මමත් තාත්තා කෙනෙක් උන දාට මෙයට වඩා හොදින් මට තාත්තාව කියවන්න ඇහැකි වේවි.

      Delete
  6. මනෝජ්ට මේක ලියන්න හිතුනේ මේ ලඟදි පළවුන වෙන පෝස්ට් එකක් කියවලා නේද? මොකද මට මතකයක් තියෙනවා එතනදි මනෝජ් කමෙන්ට් කලා මගෙත් තියෙනවා ඔහොම කතාවක් කියලා. මම හරිද?

    හරි ඒ කොයි හැටි වෙතත්, මේක හරිම සංවේදී කතාවක්. තාත්තලා ජීවත්ව සිටියදීම, දරුවන් එයාලගේ ගුණ වයනවා අහන්න ලැබීමත් වාසනාවක්. මට අහගෙන ඉන්නත් අමාරුම පියගුණ ගීතය තමයි පියාණෙනී මා නැවත උපන්නොත් කියන එක. මට ඒක අහනකොට උගුරෙ යමක් හිරවෙනවා වගේ දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. ඩුඩ් අයියා හරි.මාතලන්ගේ පෝස්ට්එකේ දාපු කමන්ට් එක ගැන ඔය කියනවා ඇත්තේ.ඒ අස්සේ අර මේකේ මම දාලා තියෙන සිංදුවත් අහන්න ලැබුනා.මෙයට කලින් එක අහලා තිබුනත් මේ අහපු වේලවේ හිතට මහා බරක් දැනුණා.එක තමයි ඩුඩ් අයියේ මේ විදියට අකුරු කලේ.

      Delete
  7. මාව ඇක්සිඩන්ට් වුන වෙලාවේ මං ලඟින්ම හෙලවෙන් නැතුව දවස් ගානක් ඉස්පිරිතාලෙට වෙලා නිදා වරපු මතකය තමා මට අප්පච්චි ගැන මෑතකදි ඇතිවුන මතකය විදිහට ලොකුවට රැඳිල තියෙන්නේ. මම එතනදි තේරුම් ගත්තා මොන තරම් හිත රිදෙන විදිහට අපි වැඩ කරත්, එයාලගේ අදහස් යල් පැනල ගිහින් කියල කීවත් ඒවා කිරල මැනලා නෙමෙයි ඔහු අපි වෙනුවෙන් ඉන්නේ කියලා. සමාජයත් එක්ක ජීවිතයේදි ඔහු ලබල තියෙන අත්දැකීම් කෙලවරක් නෑ. ඒව අපේ දැනුමෙන් ඉගෙන ගන්ඩ පුලුවන් ඒව නෙවි.

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන් කියලා රතිව පිළිගන්නවා මෙහාට.

      //මොන තරම් හිත රිදෙන විදිහට අපි වැඩ කරත්, එයාලගේ අදහස් යල් පැනල ගිහින් කියල කීවත් ඒවා කිරල මැනලා නෙමෙයි ඔහු අපි වෙනුවෙන් ඉන්නේ කියලා.//
      මමත් එකග වෙනවා මේ අදහස් දැක්වීමට රති.

      Delete
  8. සංවේදී ලිපියක්....

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන් දිලිනි මෙහෙට සාදරෙන් පිළිගන්නවා.

      බොහෝම ස්තුතියි.

      Delete
  9. ආඩම්බර වෙන්න පුළුවන් තාත්ත කෙනෙක් උඹට ඉන්නෙ. තාත්තට නීරෝගී සුව සහ දීර්ගායුෂ පතනව.
    අවුරුද්දක් වයසැති මගේ පුතත් හරිම කැමතියි මාත් එක්ක ඉන්න, මාත් එක්ක බයික් එකේ එහෙ මෙහෙ ඇවිදින්න. රැකියාව කරන මගේ නෝන ඉන්නෙ අගනුවර. එයා මාසෙකට දෙවතාවක් නිවාඩුවට ආවමයි පුතා දකින්නෙ. මම මගේ පුතා එක්ක ඉන්න හැම වෙලාවෙම මට මතක් වෙන්නෙ මගේ තාත්තව. තාත්ත කෙනෙක් සහ පුතෙක් අතර තියන බැඳීම වචනයෙන් විග්‍රහ කරන්න බෑ මචං.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි රාජ්.

      පොඩිඑකා එහෙනම් අම්මට වඩා තාත්තාට හුගක් ලංවේවි.
      මේ ලෝකේ අපිට තේරුම් ගන්න බැරි විග්‍රහ කරන්න අමාරු හුගක් දේ අතරින් මේකත් සුවිශේෂී බැදීමක් තමයි.

      Delete
  10. මනෝජ්ගෙ තාත්තට නීරෝගී සුව සහ දීර්ගායුෂ පතනව..
    අපේ තාත්තගෙන් නම් ළඟක් වෙනකම් අම්බානකට කෑව.. දැන් නම් ටිකක් ලොකු නිසා වැරදි කරනව අඩුයි :) ඒ උනාට තාම බයයි

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන් කියලා උඹවත් පිළිගන්නවා මචෝ.

      අපේ තාත්තානම් ගහන්නේ හුගක් වේලාවට වචන වලින් බං.ඒවා තමයි හුගරියක් රිදෙන්නේ..:)

      Delete
  11. මනෝජ් මට උඹ ගැන පුදුම ආඩම්බරයක් හිතුනා.තාත්තලා ගැන අගය වැඩිවෙන්නේ තමන් තාත්තා කෙනෙක් වෙච්ච දවසට.

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන් අරුවෝ උඹටත්.

      මම ආඩම්බර වෙන්න පුළුවන් කෙනෙක් කියලා මමනම් හිතන්නේ නැහැ බං.මේක එතරම් ලොකුදෙයක් නෙමේ මචං.

      Delete
    2. අදමයි මේ පැත්තේ ආවේ.. කොහොම උනත් වචන ටිකනම් හිතටම වදිනවා මචෝ...

      Delete
    3. උඹවත් ආයුබෝවන් කියලා පිළිගන්නවා මචෝ.
      ස්තුතියි මේ පැත්තේ ආවට.

      Delete
  12. මෙ වගේ පියවරුන් ලබන්නත් පිං කරලා තියෙන්න ඕනි මනොජ් . අදමයි ආවෙ ෙමෙතනට ,,, අහමබෙන් දැක්කෙ,, වචනයක් නොකිව්වොත් අඩුවක් කියලා හිතුනා. ......ගොඩක් ස්තුතියි මෙවැන්නක් අකුරු කලාට ඔබට යාලු

    ReplyDelete
    Replies
    1. මනෝජ්වත් ආයුබෝවන් කියලා පිළිගන්නවා.

      එහෙම පියවරු වගේම මේ මනෝජ් නම ලබන්නත් පිං තියෙන්න ඕනේ.:D
      ස්තුතියි යාළු..

      Delete
  13. තාත්තා ගැනත් මට කියන්න තියෙන්නෙත් ඔය කතාවම තමයි මනෝ. තාමත් අපේ තාත්තා මම හින්දා දුක් විදිනවා. මේ කෙහෙල්මල් විශ්ව විද්‍යාල අධ්‍යාපනේ හින්දා අපිට එයාලට සහනයක් දෙන්න තව කාලයක් බලාගෙන ඉන්න වෙයි.

    ReplyDelete
    Replies
    1. ඔව් බං අපි හැමෝගෙම කතා හුගක් වෙලාවට එක වගෙයි වෙනස නම්,ගම් විතරයි.

      Delete
  14. හෘදයාංගම සටහනක් මනෝජ්.. එහෙම තාත්තෙක් ලබපු උඹ ආඩම්බරකාර පුතෙක්..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි බං...

      Delete
  15. මනෝජ්ම දාපු ලින්ක් එකෙන් ආවෙ.
    ඔබ අතිජාත පුතෙක්
    තාත්ත කෙනෙකුට තියන ලොකුම දේ දරුවො තමන් ගැන මෙහෙම හිතක් ඇතුව ඉන්න එක
    ඒක එයාල බලාපොරොත්තු වෙන්නේ නෑ නමුත් ලැබුණම හරියට වටිනව
    අප්පච්චි නැතිවෙලා මාස අටක් ගියත් මාව ඉස්කෝලෙ එක්ක් අගිය හැටි මටත් තාම මතකයි
    ඒ ගැන හිතෙන කොට දුකයි
    ඔබ වගේ පුතුන් දකින කොට සතුටුයි!

    ReplyDelete
    Replies
    1. ඔබතුමාව "ආයුබෝවන්"කියලා මුලින්ම පිළිගන්නවා.
      ඒවගේම බොහොමත්ම ස්තූතියි...:)

      Delete
  16. සංවේදී කතාවක් මනෝජ්. හරිම සුන්දර තාත්තා කෙනෙක්. හුඟක් තාත්තලා ඔක්කොම එහෙමයි.

    ReplyDelete
    Replies
    1. හුම්,එහෙම තමයි තාත්තලා. බොහොමත්ම ස්තූතියි අජිත් අයියේ......:)

      Delete
  17. ඩුඩ්ගේ පෝස්ට් එකේ කමෙන්ට් එකක් හරහා ආවේ...
    පෝස්ට් එක පරණ උනත් කමෙන්ට් එකක් දාන්න හිතුනේ උඹ මගේ කඳුළු අළුත් කල නිසා වෙන්න ඇති...

    මේ වගේ තාත්තල ලබන්න මොන තරමක් පිං කරලා තියෙන්න ඕනේ ඇතිද...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ලොකු,එක මමත් එහෙම හිතනවා.

      Delete

වැරදි හදන්න,විවේචනය කරන්න,ඕනෑම මතවාදයක් සදහා ඉඩ..
බොහොම ස්තුතියි....!!!