Thursday, February 19, 2015

බයියෝ ගොඩක් මැද.




කළුබෝවිල ඉස්පිරිතාලේ ඉන්න යාළුවෙකුගේ අම්මා කෙනෙක් බලන්න ඊයේ හවස ගියා.යාලුවගේ අම්මාව බලලා ඉවර වෙලා කළුබෝවිලින් පිළියන්දල යන බස් එකක නැග්ගේ පිළියන්දලට යන්න.මාත් එක්ක ගැනු ළමයත් හිටියා.ඉතින් අපි සුපුරුදු විදියට බස් එකේ අන්තිම පේළියේ සිට් එකේ කොනේ ඉඳගත්තායින් පස්සේ කොහුවලදි බස් එකට තවත් අය නැග්ගා.දැන් බස් එක යන අතරේ මට එහා පැත්තේ වාඩි වෙලා හිටපු අන්කල් කෙනෙක් තමන්ගේ ශ්‍රී මුඛ්‍ය විවර කොට මැදමුලන පර්සි මහේන්ද්‍ර රජ්ජුරුවෝ ගැන ප්‍රශස්තියක් පටන් ගත්තා.  


"රට එක්සේසත් කරපු මනුස්සයා.රජෙක් එතුමාලෝකේ ඕනේ තැනක ගිහින් අපි ලංකාවේ මිනිස්සු කියලා බය නැතුව කියන්න පුළුවන් කෙරුවේ ඒ මනුස්සයා" ආදී වශයෙන්.ආ තව ලන්ඩන් වල ඉන්න පුතා කතා කරලා කිව්වලු ඒ අංකල්ට I'm Sri Lankan කියලා ආඩම්බරෙන් කියන්න පුළුවන් තත්වයක් මහේන්ද්‍ර රජ්ජුරුවෝ හදලා තියෙනවා කියලාත්:D

ඔන්න දැන් ඉතින් අංකල්ගේ කතාව යන අතරේ මට ඉස්සරහා සිට් එකේ වාඩිවෙලා හිටපු ගැනු කෙනෙකුත් මේකට මැදිහත් වෙලා මහා සහාසික විදියට කිව්වා "දැන් දෙමෙල්ලු කෙළින්න ගත්තාම රඟේ තේරේවි"කියලා.ඒ විතරක් නෙමේ මෛත්‍රිට ජන්දේ දීපු උන්ට හෙණ ගහන්න ඕනේ කියලත් කිව්වා.ආන්ටි එහෙම කිව්ව ගමන් මම ජනේලේ අයිනේ හිටිය මගේ කෙල්ලවත්  තල්ලු කරලා ජනේලෙන් එළියේ බැලුවේ මටත් හෙණයක් ඒවිද සැකයෙන්:D ඒ ආන්ටිගේ දේශප්‍රේමි,දෑහිතකාමී හෙණ යෝජනාවෙන්  පස්සේ බස් එකේ නැගිට සිටි තවත් කෙනෙක් ඒ හෙණ යෝජනවා අනුමත කරමින් කිව්වා "වෙනසක්නේ ඕනේ වුණේ,දැන් ඔය වෙලා තියෙන්නේ,හොරු හොරු කියලා අපහාස කරනවා අර මනුස්සයාට,ඕවාට සහ ගැහුවේ නැතිනම් තමා පුදුමේ කියලා.   

දැන් මෙව්වා අහලා මගේ කට නලියනවා මේ දේශහිතේසී අංකල්ලා,ආන්ටිලාගෙන් අහන්න "ඇයි යකෝ අපේ ඕනේකමටද තව අවුරුදු දෙකක්ම රට කන්න පුළුවන් කම තියාගෙන ජන්දේකට ගියේ" කියලා.එත් මගේ හිතේ තිබ්බ ඒ සිතුවිලි වචන කරන්න ඉඩ නොලැබුණේ මට එහා පැත්තේ හිටපු සුදු මගේ කනට කරලා ඒ කතාවට එකතු වෙන්න එපා කියලා දාපු ආදරණිය තහංචිය නිසා.මොකද ඇය දන්නවා මම එතන හිටපු පිරිසට එරෙහි දේශද්‍රෝහියෙක් බව.


ඉතින් ඒ මහින්දවාදී යටත්වැසියන්ට එරෙහිව කියන්න දහසක් දේ තිබ්බත් මම නිහඩව හිටියා.යම් විදියකින් කෙල්ල කිව්ව දේ අහන්නේ නැතුව මමත් මගේ වටේ ඉඳන් අපේ අන්තිම රජතුමාගේ ගුණ ගයනා කරන අයට කිසියම් දෙයක් කිව්වා නම් ඒ පිරිස එකතු වෙලා මට ගහන්නත් තිබ්බා.අපරාදේ කියන්න බැහැ ඒ තරම් ජාත්‍යලයක්!  


කොහොමින් හරි ජන්දෙන් පැරදිලා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ගෙදර ගිය මිනිහා ගැන මේ අය මේ තරම් විස්සෝප වෙන්නේ ඇත්තටම රටට තියෙන ආදරේ නිසාද?නැතිනම් තමන්ගේ පටු අරමුණු නිසාද?නැතිනම් මේ හැමදේම ජාත්‍යන්තර කුමන්ත්‍රණද?මට ඕනේ වුණේ අර මහින්දගේ අධම,මජර ඒකාධිපති පාලනයේ වෙනසක්.ඒ ඒකාධිපති පාලනය වෙනස් වෙලා තිබ්බත් අපි බලාපොරොත්තු වෙච්චි වෙනස ඒ විදියෙන්ම වෙලා නැහැ.ඒ ගැන කණගාටුවක් තිබ්බත් ඒ කණගාටුව මහින්ද රාජපක්ෂ නැවත රජ කිරීමට නම් හේතුවක් නොවේ.