Thursday, October 16, 2014

තුන්වරක් මහින්ද හා ප්‍රජාතාන්වාදය.


විවිධ  නම් වලින් හඳුන්වන ශ්‍රී ලංකාවේ නිල නාමය වන්නේ "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය"යන්නයි.එම නිල නාමයේ සඳහන් වන ප්‍රජාතාන්ත්‍රික යන වදනෙන් ශ්‍රී ලංකාව ප්‍රජාතාන්වාදී රටක් ලෙස අර්ථ ගන්වන නමුත් එය නාමික ප්‍රජාතාන්වාදයක් බව මාගේ හැඟීමයි.

ප්‍රජාතාන්වාදී රටක මුලිකම ලක්ෂණයක් වනුයේ ජනතා පරමාධිපත්‍යයි.ජනතා පරමාධිපත්‍ය මැන බලනා ප්‍රධාන සාධකයක් වන්නේ  මැතිවරණ පැවැත්වීමයි.ඒ අනුව යමින් ශ්‍රී ලංකාවේද මැතිවරණ පවත්වන නමුත් එම මැතිවරණ සැමවිටම බලයේ සිටින පාලකයින්ට වාසි සහා තමන්ගේ න්‍යය පත්‍ර ක්‍රියාත්මක කිරීමට හැකි පරිසරයක් තුලදී පමණක් පැවත්වීම ජන්දදායකයින් ලෙස අපට කරනා බලවත් අසාධාරණයක් මෙන්ම ප්‍රජාතාන්වාදයටද එල්ල කරනා බලවත් පහරකි.

2005දී තියුණු ජයක්ද 2010දී පහසු ජයක්ද ලබා ගනිමින් රටේ පාලන සුක්කානම දෙවරක් අතට ගත් මහින්ද රාජපක්ෂ ප්‍රජාතාන්වාදී වෙස් මුහුණක් යළි  පැළද ගනිමින් නැවතත් තරගයට පිවිසෙන්න සැරසෙන මොහොතේ ජනතා විමුක්ති පෙරමුණත්,සරත් එන් සිල්වාත් ඇතුළු පිරිසක් එසේ තෙවැනි වරටත් මහින්ද රාජපක්ෂ මහතා තරඟ වැදීම ව්‍යවස්ථා විරෝධී බව පවසමින් විවිධ සම්මත්‍රන පවත්වමින් යන අතර ශිරාල් ලක්තිලක විසින් පවසා සිටියේ මැතිවරණ කොමසාරිස්වරයා නැවත වරක් මහින්ද රාජපක්ෂට නාමයෝජනා ලබා දෙන්නේ නම් ඔහුට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන බවයි.

එසේ මීළඟ ජනාධිපතිවරණයට තෙවැනි වරටත් ජනාධිපතිවරයාට ඉදිරිපත්වීමට හැකි/නොහැකි යයි කියා ගෙන එන තර්ක ගැන මෙයට පෙර රාජ් විසින් සටහනක් තබා ඇති අතර ඔය කුමන තර්කයක් යටතේ හෝ කුමන නීතියක් යටතේ වුවද මහින්ද රාජපක්ෂ නැවතත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම වැලක්විය නොහැකි කරුණක්ව තිබේ.මන්ද මේ වනවිටත් ජනාධිපතිවරයා විසින් නැවතත් තමන් තරඟ කරන බවට කර තිබෙන ප්‍රකාශ හේතුවෙන්ය.

සම්මත හෝ අසම්මත වේවා මහින්ද රාජපක්ෂට රෑට හිතෙන දේ පසුවදා රටේ නීතිය වන විට කවුරුන්,කෙසේ තර්ක කෙරුවත් කුමන අධිකරණ ක්‍රියාමාර්ගයක් ගනු ලැබුවත් ඒ සියල්ල තමන් සතු අසීමාන්තික විධයක බලය යොදවමින් නිරර්ථක කරන්නට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පසුබට නොවන හෙයින් මීළඟ ජනාධිපතිවරණයටද ඔහුගේ පැමිණීම අනිවාර්ය වී තිබේ.

එය එසේනම් දැන් කළයුත්තේ මහින්දට තුන්වරක් බෑ යනුවෙන් කීම නොව මහින්ද පරාජය කල හැක්කේ කුමන ආකාරයෙන්ද යන්න විමසා බැලීමයි.මන්ද පළමුවර මහින්ද චින්තනයෙන්ද,දෙවැනි වර මහින්ද චින්තන ඉදිරි දැක්මෙන්ද රට විශාල ආර්ථික,සමාජ අගාධයක් කරා ගෙන ගිය/යන මහින්ද මහතා තවත් වරක් බලයට පැමිණියද මේ යන ගමන වේගවත් වනු මිසක ඉන් රටට සෙතක් වේයැයි සිතිම අපහසු කරුණක් වී තිබේ.රජයේ හවුල්කරුවන් පවා රජය ගැන කලකිරීමට පත්ව සිටින මොහොතක විපක්ෂය මෙයට වඩා ක්‍රියාකාරීව ජනතාව වෙත සමීප වුවහොත් මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ජයග්‍රහණය සිහිනයක් කිරීම අපහසු නොවේ.