Saturday, September 7, 2013

තාත්තා..(ආඩම්බරකාර තාත්තා නොවේ.)



අවුරුදු 07 විතර ඇති පුංචි කොලු ගැටයකුගේ අම්මා ඒ කොලුවා වගේම ඒ කොලුවාගේ අවුරුදු 05 වෙන මල්ලිවත්,අවුරුදු එකමාරක් වෙන නංගිවත් දාලා සුරලෝකෙට ගියොත් ඒ කොලුවට කොයි තරම් අඩුවක් ඒ කොලුවා ලොකුවෙනකොට දැනේවිද?

 ඒ අඩුව මමත් මගේ ජිවිතේ අත්දැකලා තියෙනවා.ඒ අර අවුරුදු 07 පුංචි කොලුවා මම නිසා.අපේ අම්මා ජිවිත රගමඩලෙන් සමුඅරන් ගියේ ඒ විදියට අපි පුංචිසංදියේම  නිසා ඒ වෙන්වීම සමහරක් අවස්ථාවලදී හැරෙන්න අපිට ලොකුවටම දැනුනේ නැහැ.එක එහෙම වෙන්න තවත් හේතුවක් උනේ අම්මා නැති අපිට අම්මා නැති අඩුව දැනෙන්න තාත්තා ඉඩක් නොතිබ්බ නිසා.

ඇත්තෙම්ම මගෙත්,මල්ලිගෙත්,නංගිගේත් ජිවිත වලට අපේ තාත්තා සැබෑම අත්වරුවක් උනා.පුංචිකාලේදී  තාත්තාට වැළදිලා තිබුන පෝලියෝ රෝගයේ ප්‍රතිපලය වෙලා තිබුනේ තාත්තාගේ දකුණු කකුල හින් වෙලා යාම.මේ නිසා ඉස්සර ඉදන්ම තාත්තා ගමන්,බිමන් ගියේ පුට්සයිකලෙන්. අපේ තාත්තා තාත්තාගේ පවුලේ එකම පිරිමි දරුවා නිසා ආච්චිගේ,සීයාගේ ආදරය තාත්තාට නොඅඩුව ලැබුනා.ඒ නිසාමද මන්දා තාත්තා ටිකක් විතර රස්තියාදුකරා,විනෝදකාමී චරිතයක්ව තමයි ඉදලා තියෙන්නේ.නමුත් අම්මාගේ වියෝවත් එක්ක තාත්තා බොහොම වගකීම් සහගත පුද්ගලයෙක් බවට පත් උනා.

කොහොමත් තාත්තා කිසිදාක මත්පැන්,සිගරට් වගේ දේවල් භාවිතා කල කෙනෙකු නෙමේ.වරක් මම පොඩිකාලේ මාමාට සිගරට් එකක් කඩෙන් ගෙනත් දෙනවා දැකලා තාත්තා මාමට බැන්නේ පොඩිඋන්ව නරක් කරන්න එපාය කියලයි.ලොකු විභග සමත් වෙලා නොතිබුනත් තාත්තා "ජිවිත විභගේ "පළමු පෙළ සමර්ථයක් එක්ක සමත් වෙලා ඇති කියලා මට හිතෙන්නේ තාත්තා ප්‍රශ්න,අමාරුකම් වලට මුහුණදීපු විදිය දැක්කාමයි.

අම්මා වියෝ වෙනකොට අපි හිටියේ රත්මලානේ කුලී නිවසක.අම්මාගේ වියෝවෙන් පස්සේත් අපි තවත් වසර ගණනවක් ඒ කුලී නිවසේ හිටියේ තාත්තා අකැමති උනනිසායි ඒ ගේ දාලා එන්න.මේ කාලේදී අපිව බලාගන්න අපේ ආච්චිත් උන්නා.නමුත් ආච්චිව  නිතරම අසනීප වෙන්න ගැනීමත්,අපේ අධ්‍යාපන කටයුතු වල පහසුවත් වගේම තාත්තාට රැකියාවට යාමේ පහසුවත් උදෙසා  තාත්තාට සිදු වුනා ගල්කිස්සේ තාත්තාගේ මහාගෙදරට එන්න.

මම කුඩා අවදියේ ඉදම්ම අද වෙනකනුත් අපේ රෙදිහෝදන්නේ තාත්තා.එකට අපි කැමති උනත්,අකැමතිඋනත් එක එයාගේ කැමත්ත වෙලා තියෙනවා.අනික් අතට තාත්තා අපිට තාත්තා කෙනෙක් වගේම හොද යාලුවකුත් වෙනවා.ඉස්සර මායි,මල්ලියි එකතු වෙලා තාත්තා එක්ක සෙල්ලමට සටන් කරනවා.මමත් මල්ලිත් අපේ මුළු ශරීරෙම්ම තාත්තා සමගින් සටන් වැදුනත් එක බාහුවකින් අපිව පෙරළලා දාන ඔහු ඊළගට නංගිව පිට උඩින් හිදුවන් ගේ පුරා අලියා ගෙනයනවා.සරුංගල් කාලෙට සරුංගලයක් තාත්තා අනිවාර්යෙන් හදන්නේ එක මල්ලිගේ කැමත්ත නිසා.ගිය මාසෙත් ඒ විදියට  තාත්තා හදපු සරුංගලේ මල්ලි නිල් අහසේ  ගැවෙන්න තරම් උඩ යවලා තියෙනකොට තාත්තාගේ මුහුණේ තිබුනේ අවුරුදු පහක,හයක කොල්ලෙක්ගේ මුනේ තියෙන අහිංසක හිනවාක්.

රත්මලානේ කුලී ගෙදර ඉන්නා කලේ මගේ ලොකුම විනෝදාංශය වුනේ තාත්තා එක්කලා ගල්කිස්සේ තාත්තාලාගේ මහගෙදර යන එක.මාවත් බයිසිකලේ හරස් පොල්ල උඩින් ඉන්දවාගෙන තනි කකුලෙන් වාරු අරන් බයිසිකලේ පාගන තාත්තාට කලින් මට පිපාස දැනෙන්න ගන්නේ රත්මලානේ විජිත හෝල් එක හරියෙදිමයි.මේ පිපාසෙට තාත්තාගේ උත්තරේ ලැබෙන්නේ මැලිබන් හංදිය ගාව තියෙන "නවලංකා"එකෙන් 
මම සිත කල අලියා බෝතලයක් රස විදිනකොට තාත්තා හුගක් වෙලාවට මුකුත් නොබී හිටියේ මට තිබහා නැතැයි කියමින්.නමුත් එදා තාත්තා කොයි තරම් පිපාසයක් ඇතුව ඉන්න ඇතිද කියලා තේරුම් ගන්න තරම් මොළයක් මට ඒ කලේ තිබුනේ නැති උනත් ඒ සිදුවීම් යලි ආවර්ජනය කරනකොට මගේ දිව ගිලෙන තරම් පිපාසයක් මට දැන් එනවා. 

අපේ කර දඩු උස් මහත් වෙලා අපි රැකියාවලට යනමේ කාලෙත් ගෙදර එන සුපුරුදු වෙලාව මදක් හෝ ප්‍රමාද වුනොත් පළමුව දුරකතනයෙන් අමතන ඔහු දෙවනුව අපිව හොයාගෙන පෙරමගට එනවා.මම දන්නා කලෙක සිට කිසිදු ආගමික ඇදහිල්ලක තාත්තා නිරත නොවුනත් නිතරම හරිදේ,සාධරණදේ කරන්න ඔහු අපිව පෙළබෙව්වා.සමහරක් විට අපි අතරේ ගැටුම් ඇති වුවත් ඒවා පැයකින්,දෙකකින් සම්පුර්ණයෙන් විසදෙන්නේ අප අතර ඇති බැදීම නිසාමයි.

මේ සටහන මේ විදියට තබන්න මට හදිසියේ සිත් වුයේ මෙන්න මේ ගීතය ඇහුවාට පස්සෙයි.

මේ ගීතයේ ඉන්න අප්පච්චිත් අපේ තාත්තාත් එක්කෙනක්ම තමයි.එකම වෙනස "ක්‍රිෂාන්ත එරන්ද"ගේ අප්පච්චි අපිට තාත්තා වුන එක විතරයි.

ප.ලි: පිංතුරය ගුගල් ඉමේජ් වලින්.සිංදුව මෙතනින්
පසුව ලියා නැවත ලියමි: ලින්ක් දාන හැටි කියලා දීපු දේශට බොහෝම ස්තුතියි ඈ..