Monday, January 18, 2016

පොතක් සහා කතාවක්.

පි කිව්වේ "මාමා" කියලා.
සමහරු "අප්පච්චි" කිව්වා.ජනවාරි අට වැනිදායින් පස්සේ "අප්පච්චි මලා"කියලාත් සමහරු කිව්වා.

ඒ අප්පච්චිගේ පුතාව අප්පච්චිගෙන් පස්සේ රජ කරවන්න සමහරු බලන් හිටියා.

හැබැයි වැඩේ වැරදුණා!

ඒගොල්ලෝ කිව්වේ "ශ්‍රේෂ්ඨ රජ්‍ය නායක සහෝදර"කියලා. 
ශ්‍රේෂ්ඨ රජ්‍ය නායක සහෝදර පුතාට කිව්වේ "ආදරණිය නායක" කියලා හිටං.

දැන් ඒ රට කරන්නේ අර කියපු "ශ්‍රේෂ්ඨ රජ්‍ය නායක සහෝදරයාගේ" මුනුබුරා.තාත්තාගෙන් පුතාට සිහසුන යන ජනතාව පාලකයින්ගේ යටත් වැසියෝ වෙලා ඉන්න රාජාණ්ඩු ක්‍රමයෙන් අපි ගැලවුණත් තාමත් ඒ රටේ මිනිස්සුන්ට එහෙම වාසනාවක් නැහැ. 


මේ උතුරු කොරියාවේ අදටත් තියෙන තත්වය.
උපුටා ගත්තේ අන්තර්ජාලයෙන්.

ඒ අතින් බලන කල අපි වාසනාවන්තයි.පහුගිය ජනවාරි අට වෙනිදා මහින්ද මාමාගේ ඒකාධිපති පවුල් පාලනය නතර නොවන්න අපිටත් උතුරු කොරියාවේ වගේ ආඥදායකත්වයක රස බලන්නත් ඉඩ ලැබෙන්න තිබුණා සමහරවිට.

ව්‍යජ දේශප්‍රේමයකින් රටේ සාගින්න දිළිදු සාමාන්‍ය ජනතාවට දරා ගන්න බල කරන අතරවාරයේ පක්‍ෂ නායකයන්ට,රජයේ ඉහළ නිලධාරින්ට විතරක් නෙමේ ශ්‍රේෂ්ඨ රජ්‍ය නායක සහෝදරයා වෙච්චි "කිම් ඉල් සුං" ගෙත්  ආදරණිය නායක "කිම් ජොං ඉල්" ගෙත් ගුණ ගයනා කරලා ප්‍රශස්ති කියපු වන්දි භට්ටයින්ටත් ලොකුම හැන්දෙන් බෙදපු කිම් ඉල් සුංගේ උතුරු කොරියාව සමහර වේලාවට මහින්ද මාමා තමන්ගේ වටේ හිටපු වන්දි භට්ටයින්ටත් සලකපු හැටි මතක් කරනවා.

හාල් ඇටයක් හොයා ගන්න නැති කමින් රටේ සාමාන්‍ය ජනතාව ගස් වල පොතු කනකොට.පක්‍ෂ නායකයෝ එකතු වෙලා ඒ මිනිස්සුන්ට ලැබුණු සහනාධර වලින් සාද දැම්මා.

මානව හිමිකම් නැතුව,සියලු මාධ්‍ය පාලකයින් මෙහෙයවන සහා පාලකයින්ගේ ගුණ ගයන හොරණෑ විතරක්ම වුණාම පාලකයෝ කියන බොරු දේවත්වයේ ලා සලකන්න රට වැසියන්ට සිදුවුණා.ඇමරිකාව අධිරාජ්‍යවාදී බල්ලෝ වෙනකොට අසල්වැසි දකුණු කොරියාව රූකඩ රාජ්‍යක් කියලා දේශප්‍රේමි නායකයෝ කියනකොට පාසල් පොත් වල එව්වා ඒ විදියටම සටහන් වුණා.

පාසැල් ගුරුවරු පවා "කිම් ඉල් සුං" ගේ විස්මිත බුද්ධිය ගැන පුදුම වුණා."කිම් ඉල් සුං" ගේ බුද්ධිය ගැන කතාවක් මේ.


"කුරුල්ලෝ දහයක් අත්තක් උඩ වහලා ඉන්නවා.දඩයක්කාරයෙක් එක කුරුල්ලෙක්ව මරනවා.දැන් කියක් අත්ත උඩ ඉන්නවාද ?" පංතියේ හැමෝම නමයක් කිව්වාම අනාගත ශ්‍රේෂ්ඨ නායක "කිම් ඉල් සුං" දීපු උත්තරේ "එකෙක්වත් නැහැ.වෙඩි සද්දෙට අනෙක් උන් පියබා යන නිසා" කොහොමද බුද්ධි ප්‍රභවය.!

ලෝකයට ජුගුප්සාජනක උතුරු කොරියාව වගේ රටක් වෙන්න ඉඩ නොදී,දේශපාලකයින්ට රට වනසන්න නොදෙන එක පුරවැසියන්ගේ යුතුකමක්.

ජාති,පාට,පක්‍ෂ වලට බෙදිලා ඒ දේ කරන්න බැහැ.

රජ වෙන්න හදපු එක්කෙනක්ව ජනතාව ගෙදර යැව්වේ තව කෙනෙක්ව රජ කරවන්න නොවන බව මෛත්‍රීත් ඒ වටේ ඉන්න වන්දිභට්ටන් දැනගත යුතුයි.එසේ නොවේ නම් මෛත්‍රීටත් මහින්දට සිදුවූ දේම වෙන්න වැඩි කාලයක් නොයනු ඇති.

උතුරු කොරියාව ගැන ඉහතින් දක්වපු උපුටන සියල්ල ලබා ගත්තේ HYOK KANG විසින් රචිත "This is Paradise, My North Korean Childhood" යන කෘතියේ සිංහල පරිවර්තනයෙන්.
 පරිවර්තක නිමල් සෝමරත්න.විදර්ශන පොතක්.

ප.ළි:ලෝකයේ අනෙක් රටවල් වලට වඩා සංවෘත රටක් වෙන උතුරු කොරියවේ තත්වය අද එදාට වඩා වෙනස් වෙන්න පුළුවන්.ඇතැම් අයට අනුව මේ කෘතිය  උතුරු කොරියාවට මඩ ගැසීමට අතිශයෝක්තියෙන් රචනා කරන ලද ප්‍රබන්ධයක්.කෙසේ වෙතත් මේ කෘතියේ ඇති සියල්ල ඇත්ත ලෙස පිළිගැනීමට හෝ බොරු ලෙස ප්‍රතික්ෂේප කිරීමට මට හැකියවක් නැත.