Tuesday, November 5, 2013

හැදු මව.



හිමිවීම් වලට වඩා අහිමිවීම්  හිමි මගේ ජිවිතයේ තවත් අහිමිවීමක් පසුගිය වප් පෝය දිනයේදී සිදුවුයේ ලෝකයේ ඇත්තේ යාම් සහා ඉම් පමණි යන මහාචාර්ය සරත්චන්ද්‍රයන්ගේ  කීයමන නැවතත් සැබෑ කරමිනි.මා පෙරදී පවසා ඇති පරිදි අප කුඩා වියේදීම සිදු වූ මවගේ වියෝවෙන් පසු අපගේ මව් වුයේද ඇයයි.සැබැවින්ම මිත්තනියකට වඩා මවක වෙමින් ඇය අප වෙත දක්වන ලද ඒ සෙනෙහෙවන්ත ප්‍රේමය ඇයගේ කුසින් වැදු දරුවන් පස්දෙනා වෙත ඇය පෑ පෙමට නොදෙවැනිවිය.

අපගේ මවගේ වියෝවිමෙන් පසු අප කුඩාවුන් තිදෙනෙකුගේ කටයුතු තනිව කරගැනීමට පෝලියෝ රෝගයෙන් පිඩාවිදි මගේ පියාට අපහසුවන වාතාවරණයක් තුළ අප සමගින් පදිංචියට පැමිණි ඇය විසින් අප වෙත කවා,පොවා අප පෝෂණය කිරීම පමණක් නොකොට අපගේ කැතකුණු පිරිසිදු කිරීම පවා කිසිදු අපුලකින් තොරව සිදුකළ ඇය සිතල දිනවලදී මාහට ස්නානය සදහා ජලය රත්කරදෙනු ලබන්නේ "නාකි මට  මේ සිතලේ හොදට නාන්න පුළුවන් කොල්ලෝ වුණ උඹලාට තමයි බැරි"යයි පවසමිනි. 

අපවෙත හොද අධ්‍යාපනයක් ලබා දීම ඇතුළු අපගේ හුදුමහත් කටයුතු රාශියක් සිදුවුයේ ඇය අතිනි.අපගේ පාසැල්වල ගුරුදෙගුරු රැස්වීම් වලට සහභාගී වීමේ සිට අමතර පංති සොයාගෙන ඒවාට අපව යොමු කරමින් වඩාත් විධිමත් අධ්‍යාපනයක්ද අපට  ලබාදීමට ඇය මහත්සේ වෙහෙසුණේ ඇතැම්විට ඇයගේ රෝගී තත්වයන් ගැන පවා නොසලකමිනි.

ගමේ සමිති,සමාගම් වල ප්‍රමුඛ ක්‍රියකරිනියකද වූ ඇයගේ මරණ කටයුතු වලදී මුළු ගමම අප සමගින් එක්වුයේ ඇතැම් විට අපටද සිත ගත නොහැකි ලෙසය. 

මිහිපිට ඇති ඕනම රසවත් ආහරක් සැදීමේ හැකියාවද ඇය සතුව ඇතිඅතර ඇය සාදන ෆැන්කේක් වල රස දැනුදු මාගේ දිවට දැනෙන්නක් මෙනි.අප ඉල්ලා සිටින ඕනම ආහාරක් ඇය අප වෙනුවෙන් සැදුවේ මහත් වූ දයාවකිනි.

සැබවින්ම රසවත්ව කෑම පිසීමේ මනා අත්ගුනයක් ඇති ඇය විසින් මියයන්නට ප්‍රථමයෙන් එදින උදයේ පන්සලේ වප්පෝය දිනයේ සිල් ගන්නා අය වෙනුවෙන් තනිවම ඉදිඅප්ප 400 සකසා අවසානේ ඒ සියල්ල උදේ හයවන විට පංසලට යවනු ලැබූ ඇය එදින සැදැවේදීම එම පංසලේ චේතය මළුවෙදීම හදිසි හෘද්‍යබාධයකින් තම ජිවිත ගමන නිමා කරනු ලැබුවේ අපගේ මිත්තනිය ලෙස නොව අප හැදු මව ලෙසය. 

ඇයගැන අකුරු කිරීමට බොහෝදේ තිබුණත් මෙතකින් ඒ සියල්ල නතර කරනුයේ ඒවා එකින් එක සිහි කිරීම හදවත වේදනවට පත්කරනා බැවිනි. තවමත් සිහිනයක් මෙන් වූ ඇයගේ මරණය අපට පිරිමැසිය නොහැකි වේදනාවක් වුවද එම මරණය ඇයට වේදනාත්මක නොවීම ගැන මාතුලෙහි ඇත්තේ සැනසුමකි.ඒ ඇය මරණය කර පිවිසියේ දුක් විධිමකින් නොවන නිසාය.

               ආදරණිය අම්මේ,ආච්චියේ ඉතින් දැන් ඔබට සුබ ගමන්....!

ප.ළි.ය: හිතමිතුරු බ්ලොග් අඩවි වලට පැමිණීමට නොහැකිවුයේ මේ කරුණ නිසාවෙනි.ඒ ගැන කමත්වා.