Thursday, October 16, 2014

තුන්වරක් මහින්ද හා ප්‍රජාතාන්වාදය.


විවිධ  නම් වලින් හඳුන්වන ශ්‍රී ලංකාවේ නිල නාමය වන්නේ "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය"යන්නයි.එම නිල නාමයේ සඳහන් වන ප්‍රජාතාන්ත්‍රික යන වදනෙන් ශ්‍රී ලංකාව ප්‍රජාතාන්වාදී රටක් ලෙස අර්ථ ගන්වන නමුත් එය නාමික ප්‍රජාතාන්වාදයක් බව මාගේ හැඟීමයි.

ප්‍රජාතාන්වාදී රටක මුලිකම ලක්ෂණයක් වනුයේ ජනතා පරමාධිපත්‍යයි.ජනතා පරමාධිපත්‍ය මැන බලනා ප්‍රධාන සාධකයක් වන්නේ  මැතිවරණ පැවැත්වීමයි.ඒ අනුව යමින් ශ්‍රී ලංකාවේද මැතිවරණ පවත්වන නමුත් එම මැතිවරණ සැමවිටම බලයේ සිටින පාලකයින්ට වාසි සහා තමන්ගේ න්‍යය පත්‍ර ක්‍රියාත්මක කිරීමට හැකි පරිසරයක් තුලදී පමණක් පැවත්වීම ජන්දදායකයින් ලෙස අපට කරනා බලවත් අසාධාරණයක් මෙන්ම ප්‍රජාතාන්වාදයටද එල්ල කරනා බලවත් පහරකි.

2005දී තියුණු ජයක්ද 2010දී පහසු ජයක්ද ලබා ගනිමින් රටේ පාලන සුක්කානම දෙවරක් අතට ගත් මහින්ද රාජපක්ෂ ප්‍රජාතාන්වාදී වෙස් මුහුණක් යළි  පැළද ගනිමින් නැවතත් තරගයට පිවිසෙන්න සැරසෙන මොහොතේ ජනතා විමුක්ති පෙරමුණත්,සරත් එන් සිල්වාත් ඇතුළු පිරිසක් එසේ තෙවැනි වරටත් මහින්ද රාජපක්ෂ මහතා තරඟ වැදීම ව්‍යවස්ථා විරෝධී බව පවසමින් විවිධ සම්මත්‍රන පවත්වමින් යන අතර ශිරාල් ලක්තිලක විසින් පවසා සිටියේ මැතිවරණ කොමසාරිස්වරයා නැවත වරක් මහින්ද රාජපක්ෂට නාමයෝජනා ලබා දෙන්නේ නම් ඔහුට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන බවයි.

එසේ මීළඟ ජනාධිපතිවරණයට තෙවැනි වරටත් ජනාධිපතිවරයාට ඉදිරිපත්වීමට හැකි/නොහැකි යයි කියා ගෙන එන තර්ක ගැන මෙයට පෙර රාජ් විසින් සටහනක් තබා ඇති අතර ඔය කුමන තර්කයක් යටතේ හෝ කුමන නීතියක් යටතේ වුවද මහින්ද රාජපක්ෂ නැවතත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම වැලක්විය නොහැකි කරුණක්ව තිබේ.මන්ද මේ වනවිටත් ජනාධිපතිවරයා විසින් නැවතත් තමන් තරඟ කරන බවට කර තිබෙන ප්‍රකාශ හේතුවෙන්ය.

සම්මත හෝ අසම්මත වේවා මහින්ද රාජපක්ෂට රෑට හිතෙන දේ පසුවදා රටේ නීතිය වන විට කවුරුන්,කෙසේ තර්ක කෙරුවත් කුමන අධිකරණ ක්‍රියාමාර්ගයක් ගනු ලැබුවත් ඒ සියල්ල තමන් සතු අසීමාන්තික විධයක බලය යොදවමින් නිරර්ථක කරන්නට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පසුබට නොවන හෙයින් මීළඟ ජනාධිපතිවරණයටද ඔහුගේ පැමිණීම අනිවාර්ය වී තිබේ.

එය එසේනම් දැන් කළයුත්තේ මහින්දට තුන්වරක් බෑ යනුවෙන් කීම නොව මහින්ද පරාජය කල හැක්කේ කුමන ආකාරයෙන්ද යන්න විමසා බැලීමයි.මන්ද පළමුවර මහින්ද චින්තනයෙන්ද,දෙවැනි වර මහින්ද චින්තන ඉදිරි දැක්මෙන්ද රට විශාල ආර්ථික,සමාජ අගාධයක් කරා ගෙන ගිය/යන මහින්ද මහතා තවත් වරක් බලයට පැමිණියද මේ යන ගමන වේගවත් වනු මිසක ඉන් රටට සෙතක් වේයැයි සිතිම අපහසු කරුණක් වී තිබේ.රජයේ හවුල්කරුවන් පවා රජය ගැන කලකිරීමට පත්ව සිටින මොහොතක විපක්ෂය මෙයට වඩා ක්‍රියාකාරීව ජනතාව වෙත සමීප වුවහොත් මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ජයග්‍රහණය සිහිනයක් කිරීම අපහසු නොවේ.

Wednesday, May 28, 2014

කදුළු ඇසේ තවම නැගේ මටත් හොරෙන් වාගේ.





         

අමාවක අහසට පුර සඳක්කොහින්දෝ
ගලා හැලෙන කදුළු වලට තිතක් කොහින්දෝ
පරවී වැටෙන මල් පොකුරේ සුවඳකොහින්දෝ
ඔබ ගැන නොසිතා මට හෙටක්කොහින්දෝ
  
එක කුඩයක් යට ගුලි වුණා මතකයි පොදවැස්සේ
දෙකොපුල් ඔබේ සිප ගත්තා ඒ හිරිමල්වයසේ
සිහිල් සුළන් හමා යද්දී අප වට කරනිතොරේ
තුරුල් වුණා ඔබ හෙමිහිට මගේ ළමැදමැද්දේ
  
අතිනත ගෙන අපි ඇවිදපු නුවර විදීදිගේ
අරලියා මල් පිපී තිබුණා මතකදහැන්දෑවේ
අන්නතවූ සතොසින් පිරි ඒ අතීතේ සිහිවන හැමවාරේ
කදුළු ඇසේ තවම නැගේ මටත් හොරෙන්              




වාගේ
ප.ළි.ය:-මේවා කවිද මන්දා.?කොහොම වුණත් මේ කවි ටික ලස්සනට මේ විදියට දාගන්න පුළුවන් වුණේ කාලෙකට කලින් අපේ දේශා මැතිතුමා එවාපු ලින්ක් එකක් උපකාරයෙන්.ඉතින් ඒ ලිනික් එක නිර්මාණය කරපු අළුත් මල්ලිටත්,දේශාටත් දෙන්නාටම තුති.. පින්තුරේ අන්තර්ජාලෙන්.

Saturday, May 17, 2014

රටත් බල්ලට,නීතියත්....?



ඇරිස්ටොටල්ට අනුව "නිතිය යනු තාර්කික බුද්ධියේ උත්තරීතර ඵලය" වේ.එමෙන්ම ප්‍රජාවක් පාලනය කිරීමට නම් නිතියක් පැවතීම අනිවර්යවේ.මන්ද එසේ නොවන්නට සමාජයතුළ තිබිය යුතු සාධරණය,ප්‍රජාතන්ත්‍රවාදය වැනි මානව ගුණධර්ම සුරකීම අතිශය අපහසු කරුණක් වන බැවිනි.එමෙන්ම පවතින නිතිය සියල්ලන්ට සර්ව සාධාරණවත්,අපක්ෂපාති ලෙසත් ක්‍රියාත්මකවිය යුතු බවට තර්කයක් නැත.


එය එසේ වුවද ලෝකයේ වෙනත් රටවල් ඉදරියට ගමන් ගන්නා යුගයක එයට සාපේක්ෂව පසුපසට ගමන් ගන්නා රටක්ව තිබෙන සහා විධායකයේ ඒකාධිපතිත්වයට ගොදුරුවූ "ගොබෙල්ස්" න්‍යායෙන් පාලනය වන රටක එසේ නිතිය සර්ව සාධාරණව,අපක්ෂපාතිව ක්‍රියාත්මක වේයයි සිතීම මුලාවක් වුවත් පාලකයින් විසින් නාමිකව හෝ පවතින නිතිය පාලනය කිරීමට තැත් කිරීම කිසිසේත් සුදුසු නොවේ.

එසේ වුවද ජනාධිපතිවරයා යටතේ ඇති නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වන නීතිපති සරත් පාලිත ප්‍රනාන්දු විසින් පසුගිය 09 දා කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පැවති ස්ත්‍රි දුෂණ නඩුවකට මැදිහත් වෙමින් නීතිපතිවරයා දැනුම් දී තිබුණේ එම ස්ත්‍රි දුෂණ ක්‍රියාවට සම්බන්ධ සැකකරුවන්ව නිදහස් කරන ලෙසටය.

නමුත් මෙහි ගැටලුව වන්නේ මෙම සිදුවීම සම්බන්ධයෙන් නාරම්මල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන්ට විරුද්ධව ප්‍රමණවත් තරම් සාක්ෂි තිබියදී සහා මෙම දුෂණයෙන් පසු එම තරුණියට දරුවකු ලැබී තිබියදීත් එමෙන්ම එම දරුවාගේ පියා අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් බවට DNA වාර්තාවකින් තහවුරුවී තිබියදීත් අධිකරණ වෛද්‍ය වාර්තාවේ පවා තරුණිය දූෂණය කිරීමකට ලක්ව ඇති බව හෙළිදරව් කර තිබියදී මෙම නිදහස් කිරීම සිදුකිරීම ඉතාමත්ම පිළිකුල් සහගත මෙන්ම නරක පුර්වාදර්ශයක්ද වේ. 

මේ නිදහස් කිරීම ඔස්සේ පැනනගින ප්‍රධාන ගැටලුවක් වන්නේ නිතිය ගැන යම් පමණක හෝ විශ්වාසයක් පැවතියෙනම් මෙවනි සිදුවීම් තුළින් එම සුළු හෝ විශ්වාසය පලුදු වීමත් පිළිගත් නිතිය වෙනුවට කෑලැ නිතිය සමාජගත වීමට ඇති ඉඩකඩ තව,තවත් පුළුල් වීමත්ය.

 නිතිය සුරැකීමට සිටින අයත් නීතියේ දෙවගන මෙන් කඩතුරාවකින් දෙනෙත් වසා සිටිනම්,නිතිය ගැන විශ්වාසයක් තැබිය හැක්කේ කෙසේද?
මේ නීතිපතිවරයා යම් දිනෙක අගවිනිසුරුධුරයට පත් වුවහොත් කුමක්සිදු වනු ඇතිද?අගතියට පත් අය වරදකරුවන් වන්නත් වරදකරුවන් නිදොස් කොට නිදහස්වීමත් සිදුවන්නට වුවද බැරි නැත.

මේ වනවිටත් නීතියේ ආධිපත්‍ය පිරිහී ගොස් ඇති රටක.තමන්ට අහිතකර තීන්දු දෙන විනිසුරුවන් පාලකයන් විසින් දන්ගෙඩිය කරාගෙන යන රටක.එසේනම් යුක්තිය බලාපොරොත්තු වන්නේ කවරෙක්ගෙන්ද.?

කෙසේ වෙතත් ඉහත සිදුවීම සම්බන්ධයෙන් නිතිපතිවරයා විසින් කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා වෙත සැකකරුවන්ව නිදහස් කරන මෙන් දන්වා ඒවා ඇති ලිපියේ දිනයක් සදහන් නොවී තිබීම මෙන්ම එසේ එම සැකකරුවන්ව නිදහස් කරන්නේ කුමන හේතු මතද යන්න සඳහන් නොවීමත්වීම තුළ මේ සිදුවීම ගැන දැඩි සැකයක් උපදවයි. 

පෙරදිග මුතු ඇටය මේ වනවිට බල්ලට ගොස් ඇත.දිනෙන් දින රට සමාජීය,ආර්ථික ලෙස පරිහානිය කරා ගමන් කරමින් තිබේ.එවැනි රටක මෙවැනි දේ වාර්තා වීම අරුමයක් නොවුණත් මේ තුළින් සමාජය කරා දෙන පණිවිඩය කිසිසේත්ම සුබදායක නොවනු ඇත. 



ප.ළි.ය:-"ඇස්" ගැන කාතවක්  ලියලා එක නොදා මේක ලියන්න හිතුවේ මෙවැනි දේ අසමින්,දකිමින් නොදැක්කා,නොදුටුවා සේ නිහඬව සිටීම නිවට කමක් යයි හැගුණු බැවිනි.

පිංතුරය අන්තර්ජාලෙන්.

පසු සටහන.
03.06.2014
මෙම සිදුවීම ගැන නිතිපතිවරයා විසින් කරන ලද පැහැදිලි කිරීමක් පසුගිය මැයි 22 "ලංකාදීප"පුවත් පතේ මෙසේ පල කර තිබිණි.


එනමුත් එම පැහැදිලි කිරීමේ කිසිදු තැනක මේ තරුණියට ලැබී ඇති දරුවා ගැන හෝ ඒ සම්බන්ධව ලැබී ඇති DNA වාර්තාව ගැන සදහන් නොවේ.



Monday, March 24, 2014

අපේක්ෂක රුවන් වැකි සහා මගේ මනාපය.


මිනිසා කියන්නේ දේශපාලන සත්වයෙක් කියා කියනවා මම කොහේදී හෝ දැක හෝ කියවා තිබෙනවා.කොහොමත් අපි එක එක්කෙනාට විවධ දේශපාලන මත තියෙනවනේ.මටත් එහෙමයි.

මේ දිනවල අපේ බස්නාහිර පලත් සභාවේ ඡන්දය නිසා අපේ දුක,සැප හොයාගෙන අපේ ගෙවල් දොරවල් වලට එන අයත් බොහොමයි.මේ අය අපේ පවුල් වල අයටත් වැඩියෙන් අපේ ප්‍රශ්න ගැන සංවේදී වෙන විධිය දැක්කාම හිතට එන්නේ අප්‍රමාණ ප්‍රීතියක්.

එත් අවංකවම එයාලා අපේ ප්‍රශ්න ගැන මේ තරම් සංවේදීද..?  

මම කොළඹ දිස්ත්‍රීක්කයේ ඡන්දදායකයෙක්,ඉතින් මේ දිනවල මැතිවරණයේ කැන්වසින් යන අය හරි,හරියට අපේ ගෙවල් වලට එනවා.හරියට අලුත් අවුරුද්දට නෑදෑයෝ එනවා වගේ.ඉතින් මේ එන අය අපිට දීලා යන ලිෆ්ලට් දැක්කාම මේ අය අපට කරන්න හදන මේ සේවයම ඇති එයාලාට නිවන් දකින්න.

දැන් එක්කෙනක් කියනවා

"හරි මග ගෙන යන උදය ගම්මන්පිල" කියලා.ඒ කියන්නේ මේතාක් කාලයක් අපි ගිහින් තියෙන්නේ නොමග වෙන්න ඇති.:Dහැබැයි ඉතින් ඕනෙම හොද දෙයක් නිකන් ලබෙන්නේ නැහැ වගේ අපිව හරි මග ගෙනියන්න එතුමා අපෙන් රුපියල් 100 බලාපොරොත්තු වෙනවා. 

තවත් කෙනෙක් එන්නේ "හිරු උදාවූ වගයි" කියමින්.ඒ කියන්නේ මේ දක්වා අපි හිටියේ අදුරේ කියන එක වෙන්න ඇති."මනුෂ්‍යත්වයේ නාමයෙන්,සත්‍ය වෙනුවෙන් පෙනි ඉන්න" එන ඇය වගේම තවත් බොහොදෙනෙක් විවිධ පාඨ කියාගෙන එනවා.

සමහරු එන්නේ "අතිශයින්ම ජනතා සේවයට" කියමින්,තවත් අය "දුෂණයට,අවනිතියට එරෙහිව,එකාධිපති වියරුව පරදවන්න,කල දේ ඉදිරියටත් කරන්න,නොකළ දේ කරන්න එනවා.සමහරු "දුප්පතාගේ හිතවත්තු"තවත් ඈයෝ "දුප්පතුන්ගේ ගැලවුම්කාරයෝ"වෙලා.ඒ විතරක් නෙමේ සමහරු එන්නේ "අහවලාගේ ආශීර්වාදයෙන්,මෙයාගේ උරුමයෙන්" කියලයි.තවත් අය "බුද්ධියේ පෙර ගමන්කරුවෝ" ඇවිත් අපේ බුද්ධිමත් මනාපය ඉල්ලා හිටිනවා.

හැබැයි ඉතින් මේ කවුරු කොහොම අවාත් මෙවරත් සුපුරුදු පරිදිම එත් එක වෙනසක් සහිතව මෙවර මැතිවරණයේ මගේ ඡන්දය භාවිතා කරන්නයි මම බලාපොරොත්තු වෙන්නේ.සුපුරුදු පරිදි කිවේ මම කොහොමත් විපක්ෂයේ ඡන්දදායකයකු නිසයි.වෙනසක් කිවේ මේවර ජවිපෙ වෙනුවෙන් දෙන්න තීරණය කර ඇති නිසයි. 

මට හිතෙන විදියට දැන් මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නය ජිනීවා ගැටලුව හෝ ජිවන වියදම ඉහළ යාමවත් රජයේ තියෙන මහා පරිමාණ දුෂණ,වංචාවත් නෙමේ ශක්තිමත් විපක්‍ෂයක් නොමැති කමයි.මොකද මේ ආණ්ඩුව මේ තරම් බල වියරුවකින් ක්‍රියා කරන්නේ විපක්ෂයෙන් තමන්ට අභියෝගයක් නැති නිසායි.එසේ වුවත් මේ වෙලාවේ ආණ්ඩුව පෙරළීමට වඩා ශක්තිමත් විපක්ෂයක් ගොඩ නැංවීමයි ප්‍රමුඛ කාරණාව ලෙස ගත යුත්තේ .

දැන් මේ වෙනකොට මේ රජය මොන තරම් ජනතාව මර්දනකාරී ලෙස හැසිරුනත් එක ඒතරම් රටේ ජනතාවට නොදැනෙන්නේ ජනතාව මේ වෙනකොට රජයේ දැවැන්ත මාධ්‍ය ප්‍රචරණ ඉදිරියේ නිර්වින්දනය වෙලා තියෙන නිසා වෙන්න ඕනේ.එතකොට ඒ නිර්වින්දනය නැති කරන එක තමයි විපක්ෂයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ.නමුත් අවාසනාවකට වගේ අපි බලාපොරොත්තු වෙන ඒ දේ දැන් යු.එන්.පි යෙන් නොවෙන ගණයි.එක්සත් ජාතික පක්ෂයත්,රජයටත් දෙකක් නොවේ එකක් කියා හිතෙනවා සමහරක් විට මේ අයගේ හැසිරීම දැක්කාම.එක නිසා ඉතින් මේ වෙලවේ මට හිතෙන විදියට ශක්තිමත් විපක්ෂයක් ගැන අපේ බලාපොරොත්තු තියා ගන්න වෙලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ සමගින් තමයි.

දැන් එතකොට තවත් කෙනෙකුට අහන්න පුළුවන් එකම විකල්පය ජනතා විමුක්ති පෙරමුණ විතරද.?ඇයි ෆොන්සේකා මහත්තයාගේ "ප්‍රජාතන්තවාදී පක්‍ෂය"හොද නැතිද කියා.නමුත් මට පේන්න තියෙන විදියට ප්‍රජාතන්තවාදී පක්‍ෂය දුෂණයට එරෙහි හඩක් නැගුවත් ඔවුන් තුළ තවමත් පිළිගත්  ප්‍රතිපත්තියක් නොමැති වීම විශාල අඩුවක්.අනික් අතින් එම පක්ෂයේ සිටින බහුතරයක් දෙනා එක්සත් ජාතික පක්ෂයෙන් ගැලවී ආ පිරිස්.ඉතින් ඒවැනි අයගෙන් මේ පවතින ක්‍රමයේ වෙනසක් බලාපොරොත්තු වෙන්න බැහැ.අනික් අතට ෆොන්සේකා මහත්තයාගේ ආඥදායකත්වය මම පිළිගන්නේ නැහැ.

මේ ආණ්ඩුව තනි පුද්ගලයෙක් වටා කේන්ද්‍රගතව තිබුණාත් ශක්තිමත් රජයක් බව අපි පිළිගන්න ඕනේ.ඉතින් එහෙම රජයකට අභියෝග කරන්නත් ඒ තරම්ම ශක්තිමත් විපක්ෂයක් තිබිය යුතුමයි.දිනෙන් දින රට ගමන් කරන්නේ ආරාජිකත්වයට.ඒ ගමන ආපසු හැරවීම අපහසු නමුත් අනිවාර්යෙන්ම කළයුත්තක් වී තිබෙනවා.ඉතින් ඒ උදෙසා මට කල හැකි එක දෙයක් තමයි මේ.නිහඩව බලා සිටීම මේ ප්‍රශ්න වලට විසදුමක් නොවේ.කළයුත්තේ ක්‍රියාත්මක වීමයි.අපිට හැකි අයුරින්,අපිට හැකි පමණින්.

ප.ළි.ය:-මා ජවිපෙ කරුවෙකු නොවන වග සැලකුව මැනවි.

 පිංතුර ගුගල්ගෙන්.

නුෂ්‍යත්වයේ නාමයෙන්,සත්‍ය වෙනුවෙන් පෙනි ඉන්න 

Monday, March 17, 2014

නන්නාඳුනනා හඳුනන්නි.



ජිවිතේ කියන්නේ හරිම පුදුම දෙයක්.හරි නිර්වචනයක් දෙන්න බැරි ජිවිතේ තුළ අපිට මුහුණ දෙන්න වෙන සමහරක් දේවල් අපි බොහොම ආදරයෙන් පිළිගන්නකොට තවත් දේවල් අපිට ප්‍රතික්ෂේප කරන්න බැරි නිසාම භාර ගන්න වෙනවා අපි කැමති වුණත් අකැමති වුණත් එක එහෙමමයි.


කාලෙකට කලින් දකින්න කැමති,හමුවෙන්න කැමති,ඇසුරුකරන්න කැමතිව හිතපු අය කාලයේ වියෝවෙන් දැකීම වේදනාවක් වෙන අවස්ථා කොයි තරම් ජිවිතේ තියෙනවාද.? ඒ නිසා නේ කරුණාරත්න දිවුල්ගනේ ගයන්නේ නෙතට උළෙලක් විය එදා ඔබ කදුළු බිදුවක් විය මෙදා කියලා.ඉතින් මගේ ජිවිතේත් කාලෙකට පෙර නෙතට උළෙලක්ව සිටි අයෙක් අද කදුළු බිදුවක්ව මගේ නෙතත් පරවනවා.අමතක කරන්න හදන  අතීත මතක පොත නැවත,නැවතත් පෙරළාමින්.


ඉතින් ඒ මතකය අමතක කරන්න හදන හැමවිටම නැවත,නැවතත් මතක් වෙන්නේ කොයිම විදියකට හරි අපි දෙන්නට,දෙන්නා නිතරම වගේ මුණ ගැහෙන නිසා වෙන්න පුළුවන්.එකම ගමක එකම විදීයක ජිවත් වෙන අපි එකිනෙකා මගහැර ජිවත් වෙන්න කොයි තරම් උත්සහාකළත් එහෙම කරන්න බැරි ප්‍රයෝගික කරනා කොයි තරම් තියේද.?  

කොහොම වුණත් කාලෙකට කලින් සිහිනයෙන් පවා දකින්නට පැතු  රුවක් ජීවමානවම ඇස් ඉදිරියේ දර්ශනය වීම කොයි තරම් සුන්දර අත්දැකීමක් විය යුතුද?නමුත් අමාරුවෙන් වළලා දමන්න යන මතකයක් නැවතත් අවදි කරන්න හදන දෑසක් යළි,යළිත් හමුවීම හරියට පරණ තුවාලයක් පාරනවා වගේ වැඩක්.

ඉතින් අමරුවෙන් සුවවුණු තුවාලයක් ආයෙමත් පාරවා ගන්න මට වුවමනා නැහැ.අන්න ඒ නිසායි අහම්බයකින් වුණත් ඔයාව මගතොට මුණ ගැසුණාම මම නන්නාදුනන විදියට හුගාක් අමරුවෙන් වුණත් ඔයාව මග හැරලා යන්නේ.එහෙම නොවෙන්න අපේ හමුවීම ඔයාටත්,මටත් වේදනාව ගෙන දෙන එක නියතයි.

ඉතින් ඔයා කියලා තිබුණාත් ඔයාගේ මිතුරියන්ට මම ඔයාව දැක්කත් නොදැක්කා වගේ යන එනවා කියලා.එත් ඇත්ත එක නෙමේ.අපි කොහොමත් ආයේ,ආයෙත් හමුවේවි.එත් එහෙම හමුවෙන හැමවිටකම අපි නන්නාදුනන ලෙසටම ගමන් ගනිමු හරිම අමාරුවෙන් වුණත් ලස්සන අතීතයේ සුන්දර  අතිතසිදුවීම් සියල්ල යටපත් කරමින්.

මම පෙම් කළේ මිරිගුවකට නොවේ.නමුත් ඒ ප්‍රේමය අද මිරිගුවක් වෙලා.මිරිගුවක් කියන්නේ මායාවක් ඒ මායාවට රැවටෙන්න බැහැ.ඒ නිසා අපි මේ විදියටම ඉමු හොදින්ම දන්නා එත් නන්නාදුනනා අය විලසින්. 

දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා
යෞවනේ අප විය විරහි හද ගිලන් වෙලා

ගහ කොළ ද මල් පිපේ ඇළ දොළ නිල කඩා හැලේ
පෙරදාක මිරිඟු සයුරේ ඒ රුවට රැවටුණේ 

නන්නාඳුනන ලෙසේ මග තොට යළිත් හමුවෙලා
මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා.



ප.ළි.ය:සිංදු දෙකම යු ටියුබ් වෙතින්.පින්තුරය ගුගල් ඉමේජ්.

Monday, February 24, 2014

සුරූපී සිහිනය.



ඒ හරියටම ගිය සිංහල අලුත් අවුරුද්දට කලින් දවස.ඒ කියන්නේ පරණ අවුරුදු දවස.නොනගතය උදාවෙන්න තවත් හෝරා කිහිපයක් විතරයි ඉතුරු වෙලා තිබුණේ.කළුබෝවිල රෝහල අසල මිතුරෙකු හමුවීම උදෙසා ඔහුගේ නිවසට ගිය මා හෝරා කිහිපයක ඇවැමෙන් අනතුරුව යළිත් නිවසට යෑම උදෙසා බස් රථයකට ගොඩ වුයේද මිනිත්තු 30 ආසන්න කාලයක් බස් නැවතුමේ බසයක් එනතුරා බලාසිටීමෙන් අනතුරුවයි.

සිංහල අලුත් අවුරුද්ද නිසාමදෝ වෙනදාටත් වඩා මගීන්ගෙන් පිරි තිබු බසය තුළ කොන්දොස්තරවරයා තම ආධිපත්‍ය පතුරුවමින් සිටි.ඔහුගේ අණකිරීම් වලට නතුවූ මගින් ඉඩකඩ සීමිත බසයේ අසීරුවෙන් වුවද එහෙටත්,මෙහෙටත් ගමන් ගනිමින් සිටියේ කැමත්තක් නොවුණු බව පැහැදිලිය.ඒසේ වුවත් කොන්දොස්තරවරයාගේ ආධිපත්‍යට ගොදුරුවූ මාහටද බස්රථයේ ඉදිරිය කරා ඇදෙන්නට සිදුවුයේ කරන්නට වෙනත් යමක් නොවුණු හෙයිනි.

එසේ සෙනග පිරි බසයේ ඉදිරියට ඇදෙනා මාවෙත එම ගමන නතර කිරීමට සිදුවුයේ මගේ දෙනෙත එක තැනක නතර වීම හේතුවෙනි.මගේ දෙනෙත නතර වූ තැන මගේ දෙපාද නතර විය.මා නොසිතු ලෙස මගේ සිතද නතර කිරීමට මා අනපේක්ෂිතව දුටු එම දසුන සමත් විය.

බසයේ මා සිටගෙන සිටි තැනට ඉදිරියෙන් ඇති අසුනක අසුන්ගෙන සිටියේ සිගිරි අප්සරාවියක මෙන් හැඩති,වීනස් දෙව්දුව වැනි(අත් දෙකම තිබුණා හොදේ)රුවැති වරක් දුටුවොත් නැවතත් හැරී බලන්නට සිතෙනා සුන්දර යුවතියකි.නිසැකවම තොටගමුවේ හිමියන් සැළලිහිණි සංදේශය තුළ වර්ණනා කල යුවතිය ඇය විය යුතුය.ඉදින් එවැනි යුවතියක් ළග නතර නොවන්නේ කවරකුගේ සිතක්ද.?

බසයේ ඉඩකඩ නැතිවුවත් ඉඩසදා ගනිමින් මා ඇය අසලට ගොසින් ඇය අසුන්ගෙන සිටි අසුන ඉදිරියෙන් සිටගනු ලැබුවේ ලොව සුන්දර දේ නොපෙනේනම් දෑසක් කුමකට ලබුණාදෝ කියා පසුතැවිලි වීමට මගේ සිතට ඉඩ නොතබමිනි.ඉදින් ඇය අසලින් සිට ගනු ලැබූ මා බසය තුළ මගේ සමබරතාව රැක ගැනීම උදෙසා ඇය පිටදී සිටි අසුනේ ඇති ඇන්දේන් සහා ඇයට ඉදිරියෙන් තිබු අසුනේ ඇන්දේන් අල්ලා ගනු ලැබූ අතර දැන් මා සිටින්නේ ඇය අසලමය ඇය මගේ අත් දෙකට මැදිවී අසුන් ගෙන සිටි.

ඉදින් මා ඈ අසල සිටගත් මොහොතේදීම මා දෙස බැලු ඇය ඊළග මොහොතේ ලජ්ජාවෙන් මෙන් බිම බලාගත්තේ සිහින් සිහිනවකින් මාවෙත සංග්‍රහ කරමින්ය. මෙය විය හැකක්ද.?ඇය වැනි සුරුපිනියක් මා වැනි මගේ හොදම මිතුරන් පවසන පරිදි දැක්කොත් බල්ලොත් බත් නොකන මුහුණක් හිමි මා වෙත එවැනි සිනහාවක් පෑ හැකිද? මේ සිහිනයක්ද?එය සිහිනයක් නොව සැබෑවක් බව මා වෙත පසක් වුයේ නැවතත් ඈ මා දෙස බලා පෑ අර ලැජ්ජාශීලි සිහිනාව හේතුවෙනි.

ඇගේ ඒ සිහිනාව සැබවින්ම මා සිහින ලෝකයකට ගෙන යන්නට සමත් විය.බස් රථයේ කොයි තරම් සෙනගක් සිටියද,දැඩි හිරු රැස් වලින් නැගුණු ඌශ්නයද පරයා යමින් මිහිරි සිසිලසක් සමගින් වෙනම අන්තයක් කරා මා ගෙනයන්නට ඇගේ ඒ සිහිනව සමත් විය.ඇගේ නිල්මිණි දෙනෙත් කොයි තරම් ප්‍රියකරුවිද ?

දැන්,දැන් ඇය මා දෙස වැඩි වැඩියෙන් බලන බවක් මට පෙනේ.ඇය මාදෙස බලන සැමවිටකම මාහද නතර වන බවක් දැන් මට හැගේ.ඒ තරමටම ඇගේ සිනාව අලංකාරය.ඒ තරමටම ලැජ්ජාශීලි බවක්ද ඒ සිනාවේ සැගව ඇත.දැන්,දැන් මා බසයෙන් බැසිය යුතු නැවතුමටද ආසන්නය.එනමුත් ඇය දමා බසයෙන් බැස යාමට මට නොසිතේ.වෙන දෙයක් වුණාවේ මා බැසිය යුතු නැවතුමද පසු කර බසය දැන් ගමන් ගනී.මමද ඇය සමගින් ගමන් ගන්නෙමි.

සොදුරු ලොවට මල් වැහැලා
තව්තිසාවේ හද මැවිලා 
හැගුම් පහන් තාරකා 

පෙමට පායලා....

ඉදින් ඇය දෙසම බලමින්,නෙතින් ඇය රස විදිමින්,කොන්දොස්තරවරයාගේ ගෝරනාඩුවද නොතකා බැසිය යුතු නැවතුමද පසු කර සිහින පෙම් ලොවක ගමන් ගනිමින් සිටි මාගේ දැහැන බිදී ගියේ නොනවත්වා හඩදුන් මගේ ජංගම දුරකථනය හේතුවෙනි.එයට පිළිතුරු දීමට දුරකථනය ගැනීමට  ඩෙනිම් කලිසම් සාක්කුවට අත දැමීමට මාගිය මොහොතේදී මා දුටුවේ කුමක්ද..? 


අහෝ මෙවන් දුකක් !

මා කළුබෝවිල සිටම පැමිණ ඇත්තේ නිකං නොවේ මගේ කලිසමේ සිපරය විවර කරගෙනය.ඈ සිනා වන්නට ඇත්තේ නිසැකවම එයට විය යුතුය.මේ සියල්ල එක් ක්ෂණිකයකින් වටහා ගන්නා විටම මා බසයෙන් වහා බැසීමට තැන් කලේ මාවෙත ඇති වූ ලජ්ජාව නිසාමය.ඉදින් ධාවනය වන බසයෙන් මා බැස්සා නොව පැන්නාය."මැරෙන්න හදනවාද මන්දා"මා පසු කර යන බසයේ කොන්දොස්තරවරයා කියූ දේ ලාවට මෙන් මට ඇසුණි.

ප.ළි.ය. පින්තුර සියල්ල සදහා අනුග්‍රහය ගුගල් ඉමේජ් වෙතින්.









Friday, January 10, 2014

හිච්චි මාමා වෙනුවෙන්.



මෙයට පෙරත් ජනධිපතිතුමාට ලියුමක් ලීවා.

ආදරණිය ජනධිපති මාමේ,

මෙන්න මේ ලියමන ලියන්නේ බෝගම්බර ඉන්න අපේ හිච්චි මාමගේ බලවත් පෙරැත්තය නිසාය.

පහුගිය දොහක මාමා බලන්නට බෝගම්බර ගිය වෙලේ හිච්චි මාමා මට බලකොට කියා සිටියා මේ ගැන ඔබතුමාට ලියන්නයි කියා.මේක ලියන්න පරක්කු කොරන්න එපා කියලා මේ යකා මාමා මට කෝල් කරලත් නිතරම කියන නිසාත්, උන්දැ කියන දේවල් වල ඇත්තක් තියෙනවයි මගේ ටිකිරි මොළේටත් වැටහෙන නිසායි මේ ලියුම් කරදාහිය ලියන්නේ.

කසිප්පු අරක්කු පෙරුවත් අපේ හිච්චි මාමා ගමේ වුන්න හරිම අහිංසක,සාධරණ මිනිහෙක් බව අපි හොදටම දන්නේය.මම එහෙම කියන්නේ එකා අපේ මාමා නිසාම නොවේය.අනික කසිප්පු අරක්කු පෙරුවත් ඒකා ඒහෙම කළේ ගමේ වුන්ගේ බලවත් ඉල්ලීම නිසාය.මාමාට බෝගම්බර මහා උළු ගෙදර ලගීන්න වුණේ ගමේ වුන්නු එපාම කරපු චණ්ඩිය වෙච්චි ඉන්දරේට පිහියෙන් ඇන මරාපු නිසාය.මාමාට එහෙම ඉන්දරේ මරන්නට සිද්ධ වුණෙත් මාමාට ඔබතුමාට වගේ අයුක්තිය,අසාධරණේ පෙන්වන්න බැරි නිසාය.  

හැමදාම මාමා පෙරන අරක්කු බලහත්කාරයෙන් නිකං බිලා ගිය  ඉන්දරේ එහෙම යන ගමන් ඔබතුමාටත්,අපේ දේශප්‍රේමි ආණ්ඩුවේ මැති ඇමතිලාටත් බැණ,බැණ ගියේ ඌගේ සරමත් කරට අරන්ය.ඌ ඔබතුමාට නිතරම බැන්නේ චින්නුන්ගෙ ගිනිපොලි ගෙවන්න ඔබතුමා අරක්කු,සිගරට් මිල උස්සනවා කියලාය.ඒ නිසා අපේ මාමා පෙරන දහාජරාව බොන්න වෙනවායයි ඌ නිතරම කිවේය.එත් එහෙම ඔබතුමා අරක්කු,සිගරට් මිල උස්සන්නේ වෙන හේතුවක් නිසා නොව ඉන්දරේ වාගේ බේබද්දන්ගේන් මේ උතුම් මෘතෘ භූමිය රැකගන්නට බව උන් පිළිගත්තෙම නැතිය.

අනිත් අතට ඒවයේ මිලගණන් එහෙම ඉහළ යාම නිසා අපේ හිච්චි මාමලාටත් වාසිය.ඒ හිචිචි මාමා පෙරන අරක්කු වලට තියෙන ඉල්ලුම වැඩි වීමෙන් මාමාගේ ආර්ථිකේ යහපත් වන නිසාය.මාමාගේ ආර්ථිකේ යහපත් නිසා මාමාගේ ගෙදර ආර්ථිකේට හොදය,ගෙදර ආර්ථිකේ යහපත් නිසා එකෙන් හන්දියේ කඩේට වාසිය,කඩේට වාසියි යනු රජයට වාසි වීමයි.ඒ කඩේ තියෙන හැමදේටම ඔබතුමාලා බදු අය කරන නිසාය.මෙන්න මේ සරල ආර්ථික න්‍යායවල් ඉන්දරේලා වගේ මෝඩයන්ට තේරෙන්නේ නැත.

හැමදාමත් අපේ මාමා හොරකම්,මැරකම් නොකර ඉතා දුක සේ පෙරන මේ අරක්කු ටික ඉන්දරේ වගේ උන් පිනට බිලා යන එක මාමාට බලාගෙන ඉන්න බැරුව ගියේය.     

ඒ මන්දයත් අපේ හිචිචි මාමාටත් ජනධිපති මාමාට සේම අසාධරණේ පෙන්වන්න බැරි නිසාය.අවසානයේදී ඉවසලා,ඉවසලා බැරිම තැන මාමා තීරණයක් ගත්තේය.ඉතින් මාමේ ජනධිපති මාමේ එහි අන්තිම ප්‍රතිපලය වුණේ අපේ අහිංසක හිච්චි මාමාට බෝගම්බර ලගින්නට වුණු එකය.අනේ එකෙන් අපේ හිච්චි මාමාට සිද්ධ වුණේ නම් බලවත් අසාධාරණයක්ය.මහත් වරදක්ය.

අවසානේ කුරුලු කුඩුවක් වගේ තිබුණු හිච්චි මාමාගේ ගෙදර දැන් සිසීකඩය.නැන්දාත් දැන් ජයේ මාමාලාගේ ගෙදරය.එකටත් අපේ මාමාට වාවාගෙන ඉන්න බැරිය.අනික ඔය ජයේකාරායා වරක් මටත් පාර්ට් එකක් දැම්මේය.ඌට පාඩමක් කියා දෙන්න අපේ හිච්චි මාමා එන්නම ඕනෙය. හිච්චි මාමා නිතරම කියන්නේ අනේ ඉතින් මේ වරද නිවැරදි කරන්න පුළුවන් ඔබතුමාට පමණක්ම කියලාය.එකත් ඇත්තය.මාමාත් එක්ක එක කල්දෙරමේ බත් කාපු එස්.බි ඇමතිතුමාගේ කට්ටියක් ඔබතුමාගේ කරුණාවෙන් ගෙදර යන්න ලැස්ති වෙනවාය.ඉතින් අපේ හිච්චි මාමා කියන්නෙ හරිනම් එයාටත් මේ නිදහස ලැබෙන්න ඕනේ කියාය.

මේ නිදහස හිච්චි මාමාටත් ලැබෙන්න ඕනේ කියා මට කෝල් කරලා හිච්චි මාමා මට කිවේ මෙන්න මේ කරුණු නිසාය.
  1. ඔබතුමාගේ පාක්ෂිකයෙක් වීම.
  2. ඉන්දරේ වැනි දේශද්‍රෝහීන්ට විරුද්ධ වීම.
  3. ජන්ද කාලෙට ඔබතුමාගේ ගෝලයන් වෙනුවෙන් දන්සැල් දී තිබීම.
  4. ජන්ද කාලෙට විරුද්ධ පාක්ෂිකයන්ට පහරදී තිබීම.
  5. ඔබතුමාට මෙන් මාමාටත් උඩු රැවුලක් තිබීම.
මේවාට අමතරව තවත් කරුණු ගොඩාරියක් හිච්චිමාමා කිවාත් මට ඒවා අමතකය.මේ මතක ටිකය.

ඉතින් ආදරණිය ජනධිපති මාමේ,ඔබතුමා මේ කරුණ ගැන ඉතා සංවේදීව බලනු ඇති බව අපේ හිච්චිමාමා හිතයි. ඒහිරකරයෝද මනුෂ්‍යන් වන බැවින් හා ඔබතුමා අපේ සංවේදී නායකතුමා වන නිසාය.

ප.ළි.ය:කාලෙකින් දේශපාලනයට සම්බන්ධ කිසිවක් ලියන්නට නොහැකිවූ නිසා මෙය ලියන්නට සිත්විය.උඩ කාටුනය අවන්ත ආටිගල ගෙනි.




Friday, January 3, 2014

සිතල දුරුත්ත.


මේ වගේම සිතල දුරුත්තක අපි හමුවුණු හැටි කොහොමද අමතක කරන්නේ?කවදාවත් අමතක නොවන මුළු ලෝකෙම සමරන දවසක අපි පෙමින් බැදුන හැටි,අමතකද ඔය සිනිදු අත මගේ මේ සුරත උඩින් තියලා හිමි,හිමිට ඔය දෙතොල් පෙති මුමුණලා කිව්වා මට ඔයා ආදරේයි කියලා.ජිවිතේට වසන්තේ ආවේ එදා තමයි කියලායි මට හිතුණේ.

මතකද ඒ වසන්තේ අපේ ජිවිතවලට කොයි තරම් මිහිරක් ගෙනාවද කියලා.ඉර ඇහැරෙන්නත් කලින් අවදිවෙලා ඔයා සුබ උදැසනක් කියලා එවපු දුරකථන පණිවිඩයෙන් පටන් ගන්න දවස ඒ ඉර අවරට ගිහින් මුළු ලෝකෙම නිදිය ගන්න වේලාවේ ආයෙමත් ඔය එවන සුබ රාත්‍රියක් කියන පණිවිඩයෙන් ඉවර වෙන දවස පුරාවටම කොයි තරම් දේවල් අපේ ජිවිතවල සිද්ධ වෙන්න ඇතිද...?අමතක නැහැ නේද අපි ඒවාට මුහුණ දීපු හැටි.

මතකයි නේද අත්වැල් පටලාගෙන අපි ගමන් කරපු හැටි මහරගම නගරය පුරාවටම,සමහරක් දවස්වල ඒ විදියට අරමුණක් නැතුව ඇවිදලා,ඇවිදලා හති වැටෙනකොට,බොරලැස්ගමුව වැව ගාවට ඇවිත් ගල්බංකුවක් උඩ වාඩිවෙලා වැවේ හංස බෝට්ටු පදින අය දිහා බලගෙන හිටි හැටි සමහරක් දවස්වල එහෙම බෝට්ටුවක අපිත් නැගලා පැදපු හැටි අමතකද කරන්නේ කොහොමද.?

ඇයි සමහරක් වැසි දවස්වල එකට තුරුල් වේවි එක කුඩයක් යටින් ඇවිදන් ගිය හැටි,තවත් දවසක ගිනිගෙන දැවෙන හිරුගෙන් බේරෙන්න ඒ කුඩේ යටම අපි ගුලි වුණ හැටි හරියට නිකන් අද ඊයේ වගේයි නේද ඒ මතකය.

වෙරළේ මාළිගා හැදුවොත් රැල්ල ගහනකොට ඒවා කැඩෙනවා.අහසේ මාළිගා හැදුවත් ඒවා වළාකුළු එක්කම නැතිවෙනවා.ඒ බව දැන,දැනම අපි වෙරළේ මාළිගා හැදුවා,අහසේ මන්දිර තැනුවා.අනාගතය ගැන හින මැව්වා.ඒ දැකපු හින,ඒවා යථාර්ථයක් කර ගන්න අපි දරපු වෙහෙස,උත්සාහයන් කොයි තරම්ද?මගේ හෙවනැල්ල කියලා සමහරු ඔයාව දකිනකොට,එහෙම දැකපු අයට මම කිවේ ඔයා මගේ හෙවනැල්ල නෙමේ මගේ හුස්ම කියලායි.

එත් ඒ වසන්තේ හැමදාටමත් පවතින වසන්තයක් නොවුනේ ඇයි කියන ප්‍රශ්නයට තාමත් මම උත්තර හොයනවා.ජිවිතේ ලගින්ම වුන්න සමහරක් අය අපෙන් ඇත්වෙනකොට අපි කොයි තරම් ලං වුණාද?එත් දවසක මේ වගේ දුරස් වෙන්න වේවි කියලා හිතුණානම් සත්තයි ලං වෙන්නේ නැහැ ඒ තරම් කවදාවත්.

සිතල දුරුත්තක හමුවුණු අපි ඊටත් වඩා සිතල දුරුත්තකදීම සමුගත්තා.ඒ තීරණය හරි වුණත්,වැරදුණත් ඒක යළිත් හරවන්න අපි දෙන්නාටම නොහැකි වුණත්,තාමත් සිතල දුරුත්ත එනකොට ඔයා ගැන මතකය අවදි වෙනවා වෙනදාටත් වඩා වැඩියෙන්.ඉතින් මේ සිතල දුරුත්තේ මට නිතරම මතක් වෙන ප්‍රශ්නයක් තියෙනවා.කවදාවත් උත්තරයක් නොලැබෙන.


දුරස් වන්නට මේ ලෙසින් 
ඇයිද අප හමුවුණේ
දුරස් වන්නට මේ ලෙසින් 
මොටද අප ඉපදුණේ 

අත්වැල් බැද මංමාවත් දිග 
ඔහේ ඇවිද ගිය කාලය මතකද 
පුංචි ළදැරියක් වගේ හුරතලෙන් 
ඔබ හිනැහුණු ඒ කාලය මතකද  

අනාගතය ගැන අහස් මාළිගා 
අප දෙදෙනා මැව් කාලය මතකද 
ඔබේ පෙම්වතා ලෙසින් එදා මා 

ඔබේ ලගින් වුන් කාලය මතකද.

ප.ළි.ය: මේ ලොකු ඇස් ගැන නොවේ.අමතක කරන්න අමාරු තවත් ඇස් දෙකක් ගැනයි මේ.
මේ පිංතුර ගුගල්ගෙන්.සිංදුව යු ටියුබ්.