ගොළුවන්ට කතා කරන්න පුළුවන්නම් ! එය අහම්බයක් විය හැක.කතා කල නොහැකි ඇතැම් ගොළුවන් වුවද කතාකරවන පොලිසියට පවා කතා කරවන්න නොහැකි වූ ගොළුවෙක් "නාට්‍ය හා භාෂා"පාසලකින් චතුර කථිකයකු කිරීම අහම්බයක් මෙන්ම ආශ්චර්යක්ද වනු නොඅනුමානය.
වම්මුන්ගේ රතු පාටට ඇති අයිතිය පරණ වලව්වක හුදකලා ජිවිතයක් ගත කල රදළයකු විසින් සාර්ථක ව්‍යාපාරිකයකුව තමන් සතුකර ගැනීම අහඹුවක් නොවන්නේද ?
ලියනගේ අමරකිර්තිගේ සම්මානනිය නවකතාව වන "කුරුලු හදවත"මිලට ගන්නට පසුගිය පොත් ප්‍රදර්ශණයේදී සුරස කුටියට ගොඩවූ විට අහඹු ලෙසම දුටු අමරකිර්තියන්ගේම නවතම කතාව වූ "අහම්බකාරක"මිලදී ගත්තේ "කුරුලු හදවත"පසුව මිලට ගැනීමේ සිතුවිල්ලෙනි.
රටක් හඬවන ඛේදවාචක වුවද තමන්ගේ යහපත උදෙසා හරවා ගන්නා අය ඕනෑ තරම් ඇත.සුනාමියෙන් සියල්ල නැති වූ අය මෙන්ම ගොඩ ගිය අයද ඇත.රට වසර ගණනාවක් ආපස්සට ගෙනගිය කළු ජුලිය තමන්ගේ වාසනාව කර ගත් ගොළුවෙක් ගේ කතාව විස්මය ජනක කතන්දරයකි.
දරුවෙකුට උපත දෙන තිබිරි ගෙයක් වැඩිහිටි මිනිසෙකුට "අලුත් ජිවිතයක්"දෙන තැනක් වීම අහම්බයක්ද නැතහොත් අරුමයක්ද ?
ලියනගේ අමරකිර්තියන් තමන්ගේ කෘතිය තුල සංකේත භාවිතයද අපුරුවට ගොඩ නගා ඇත."පිච්ච මල්,හඳුන්කුරු සුවඳ" ආදිය පමණක් නොව "රතුපාට"පවා සංකේතත්මකව භාවිතා කරමින් කතාව ගොඩ නංවන අයුරු අපුරුය.
හරක් මස් නොකන නමුත් කලවැදි මස් කන බැටළු හම පොරවා ගත් ඉහළ සමාජ පන්තියට නගින්න ලොබ බඳින මිනිස්සු අතරේ තමන් ගැනම ස්වයං විවරණයක නිරත වෙන පරමාදර්ශී,තමන්ගේ බිරිඳට වුවද ඇයගේ නිදහස සොයා යාමට ඉඩහල බන්දුල බලගල්ල තුල ඇතැම් විට තම ළබැඳි හිතවතිය තමන්ගේ ගෝලයා වෙත දක්වන සමීපබව ගැන නැගෙන සියුම් ඊර්ෂාව මිනිසුන් තුල තිබෙන පෘතග්ජන ස්භාවය මැනවින් පිලිබිබු කරවයි.
මේ සියල්ලට වඩා කතාව යටින් යන අහබුවක් නොවන "දේශපාලන කතාව"අපේ මෑත කාලින දේශපාලනය සිහි ගන්වයි.ධනයෙන් ඉහල නගින මිනිසුන් දේශපාලනයෙන් බලය අරුඪ කර ගන්න තනන වැයම.ඒ වෙනුවෙන් කරන මරා ගැනීම් ලාංකේය දේශපාලනයේ කවරදාත් සිදුවන්නක් බව සිහි ගන්වයි.
ලංකාවේ දොස්තරලා ගැන වාමාංශිකයෙක් වෙච්චි ධනපතියකුගේ ඉඩම් බලාගන්නා සේනගේ විවේචනය කවදාත් වලංගු කතාවකි.
මේ සියලු චරිත අතරේ මා සිත්ගත් කාන්තා චරිතය වූයේ රාධා චිටර්ය.ඒ රාධා චිටර් ගේත් නිශ්ශංක විජේමාන්නගේ "තරා මගේ දෙව්දුව"කෘතියේ එන තාරාත් අතරේ ඤතිත්වයක්ද මට දැනේ.
සිංහල රාධාත්,දෙමළ තරාත් එකම ඉරණමකට මුහුණ දෙන්නන් සේ සිතේ.
දෙදෙනාම තමන්ගේ ප්‍රේමය මග හැර ගත්තෝ වෙති.
මේ චරිත දෙක පමණක් නොව එම එම කෘති දෙක අතරේද කිසියම් ඤතිත්වයක් ඇති බවක් හැඟේ.අපුරු අඛ්යනයකින් ලියුවුනු නිශ්ශංක විජේමාන්නගේ "තාරා මගේ දෙව්දුව"ද රසවත් කවියක් වැනි නව කතාවකි.කෘති දෙකම 83 ඛේදවාචකය ගැන කතා කරයි.
අවස්ථාවාදී දේශපාලකයින්ගේ අවජාතක දරුවාවූ ජාතිවාදය කොයි තරම් දේ අපට අහිමි කෙරුවාද ?මේ ඛේදවාචකය නිසා අහිමිවුයේ මිනිසුන්ගේ ජිවිත,දේපළ විතරක් නොවේ.එක පන්තියේ මිතුරන් හතුරන් කරවපු ඛෙදවාචකය මිනිසුන් එකිනෙකාව කොයි තරම් සහෝදරත්වයෙන් දුරස් කර දැමුවාද ?ඒ දුරස්වීම් ජිවිත වලට කරපු බලපෑම් කොයිතරම්ද ?
මෙව්වා උත්තර නැති ප්‍රශ්න.ඒ ප්‍රශ්න ආයෙත් ඇති නොවෙන්නයි අපි කටයුතු කලයුත්තේ.එහෙම සහෝදරත්වයෙන් කටයුතු කරන්න එදාත් අපිට පුළුවන් කමක් තිබ්බා නම් තාරාගේ කතාව මෙයට වඩා ලස්සන වෙන්නත් තිබුණා. සිදුවෙච්චි ඒ ඛේදවාචක අහඹු,හුදකලා සිදුවීම් වෙන්නත් තිබ්බා.
ප.ලි : අහම්බකාරක "සුරස"පොතක්, තාරා මගේ දෙව්දුව "විදර්ශන" පොතක්.
Showing posts with label මට හිතෙන හැටි. Show all posts
Showing posts with label මට හිතෙන හැටි. Show all posts
Monday, April 18, 2016
Friday, May 8, 2015
අපේ තාත්තායි,යහපාලනයයි.
මේ දවස්වල ජනප්‍රියම මෘතුකාවක්නේ "යහපාලනය"කියන්නේ හිටං.මේ අපේ තාත්තාගේ යහපාලන කතාවක්.අපේ තාත්තා ගැන කලිනුත් මම ලියලා තියෙනවානේ.
අපේ ගෙදර ජන්ද හතරයි.ගිය ජනධිපතිවරණයෙදී හතර බෙදුණේ යහපාලනේට තුනක් යමපාලනේට එකක් විදියට.තාත්තා තමයි යමපාලනෙට ජන්දේ දුන්නේ.මහින්දට නොදී මෛත්‍රිට ජන්දේ දෙන්න කොයි තරම් කරුණු කාරණා අපි තාත්තාට පෙන්වලා දුන්නත් තාත්තා ජන්දේ දුන්නේ මහින්දටමයි.
මේ අවුරුද්දේ මුලදීම ඒ කියන්නේ ඔය ජන්ද දවස්වලදීම වගේ අපේ මල්ලි එයාගේ රස්සාවෙන් අයින් වුණා.වැඩකරන තැන පඩි මදි කියලා තමයි මිනිහා ඒ රස්සාවෙන් අයින් වුණේ.මිනිහාගේ ලොක්කා මල්ලිට ආයෙත් රස්සාවට එන්න පඩි වැඩිකරලා දෙන්නම් කිව්වත් මිනිහා ඒ රස්සාවට යන්න ආයෙත් කැමති වුණේ නැහැ.
ඔය අතරවාරයේ මාසේ අන්තිම ආවා.සාමන්‍යවිදියට මම වැඩ කරන ආයතනයේ වාර්ෂික වැටුප් වැඩිවීම සිද්ධ වෙන්නේ ජනවාරියේ,හැබැයි මේ ජනවාරියේ එක ඒ විදියට සිද්ධ වුණේ නැහැ.එකට හේතු වුණේ යහපාලන ආණ්ඩුව අපේ ක්‍රොන්ත්‍රත් කිහිපයක් නතර කරලා තිබීමත් කරපු වැඩ වල සල්ලි නොලැබී යාමත් නිසා.හරියට නිකම් කලාහිතට වුණා වගේ වැඩක් තමයි අපිටත් වුණේ හිටං.
ඉතින් දැන් ඔය අපේ පඩි ජනවාරියේ වැඩි නොවිච්චි සිද්දිය මම ගෙදර ඇවිත් තාත්තා එක්ක කිව්වම තාත්තා කියාපි
"ඕකද උඹලාගේ යහපාලනේ,මල්ලිට රස්සාව නැහැ,උඹලාට පඩි වැඩි වෙලා නැහැ.දැන් තේරෙනවාද රඟේ" කියලා.
`````````````````````````````````````````````````````````````````````````````````
මේ තවත් කතාවක් මේ කතාව මතක් වුණේ අපේ හැලපයියාගේ ඌරු කතා නිසා.ඒ මතකය අලුත් වුණේ අපේ රවියියා ලියන්න ගත්තු කුකුළේ ගඟ කතා වස්තුව නිසා.
ඔන්න ඉතින් එකෝමත් එක සමයක අපි යාලුවෝ කිහිප දෙනෙක් කතා වුණා ට්‍රිප් එකක් යන්න.කොච්චර කතා වුණත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ බොහෝම හෙමිහිටනේ.විශේෂයෙන්ම ඔය ට්‍රිප් වගේ එව්වා අපි ගොඩක් වෙලාවට ගියේ කටින් තමයි.ඉතින් ඒ නිසා මේ වතාවේ කටින් නොවේ ඇත්තටම කොහෝම හරි යන්න ඕනේ කියලා තීරණය කර ගත්තා හිටං.
ට්‍රිප් එක යන්න සභා සම්මත කරගත්තේ අර කුකුළේ ගඟ පැත්තේ තියෙන මාකෙළිය ඇල්ල.නාලා,කලා,බිලා එන්න තමයි අපේ න්‍යය පත්‍රය වුණේ.ගමන යන්න යාළුවෙක්ගේ NOHA වැන් එකක් සුදානම්.මේ යාළුවාට තව KDH වැන් එකකුත් තියෙනවා.ගමනේ ප්‍රධන සංවිධායකත් මිනිහාම තමයි.
ටුඩේ ඉස්පෙෂල් මඤ්ඤොක්කා සමගින් ඌරු මස් හොඳයිනේ!බොන දේවල් අතරමගින් ගන්න කතා කර ගත්තා.දැන් හැමෝම ගමනට සුදානම්.කල්ගියොත් වැඩේ නොවෙන්න තියෙන සම්භාවිතාව වැඩි හින්දා සෙනසුරාදාම ගමන යන්න දාගත්තා.
මඤ්ඤොක්කායි,ඌරු මසුයි හදන වැඩේ භාර ගත්තේ මම.මොකද අපේ ආච්චිට කෑම හදන්න පුළුවනි ආයේ නැහැ හැලි,වලං හුරාන් කන්න පුළුවන්.දිව්‍යලෝක රසයි එයාගේ කෑම.ඔන්න දැන් සිකුරාදා දවසක ජාඇල ගිහින් ආපු යාළුවෙක් ඌරු මස් කිලෝ 4 විතර අපේ ගෙදරට ගෙනත් දාලා ගිහින් තිබ්බා පහුවදාට අරන් යන්න හදන්න.මම ඔෆිස් ඉඳන් යන ගමන් මඤ්ඤොක්කා කිලෝත් 5 විතර අරන් ගියා.
එදා රෑම ආච්චි ඌරු මස් එක ඉව්වා.ලොකු මැටි ඇතිළියක දර ලිපේ.මඤ්ඤොක්කා එක පහුවදා උදේ හදන්න තියා ගත්තා.උදේ හයට විතර කට්ටිය අපේ ගෙදරට එනවා කියලා රෑ නමයට විතර කෝල් කරලා ගමනේ සංවිධායකතුමා මට දැන්නුවා.දැන් සියල්ල හරි සතුටු සිතින් නින්දට ගියා.
පහුවදා උදේම නැගිටිනකොටත් ආච්චි මඤ්ඤොක්කා එක තම්බලාත් ඉවරයි.මම නැගිටලා ලෑස්ති වෙලා හිටං ඇවිත් ෆෝන් එක ගත්තා තව යාළුවෙක්ට කෝල් එකක් ගන්ට.එතකොටයි දැක්කේ මගේ ෆොන් එක ඔෆ් වෙලා තිබ්බ බව.සාමාන්‍යයෙන් මම නිදාගන්න කොට ඔය ෆෝන් එක ඔෆ් කරන්නේ නැතත් එදා කොහොමින් හරි ෆෝන් එක ඔෆ් වෙලා තිබ්බා.
දැන් ඔන්න ෆෝන් එක ඕන් කරලා මිනිත්තු කිහිපයක් යද්දී මැසේජ් කිහිපයක් අවා.කෝල් ඇලට් කිහිපයක් එක්ක තිබ්බ එක මැසේජ් එකක තිබ්බා.'මචං ට්‍රිප් එක යන්න වෙන්නේ නැහැ.මම හදිසියේම හැටන් යනවා'කියලා එකක් අපේ ට්‍රිප් එකේ ප්‍රධන සංවිධායක තුමාගෙන්.
දැන් ආච්චි කුස්සියේ ලෑස්ති කරපු කෑම අරන් යන්න භාජන වලටත් දාන්න අරගෙන.ඔය අතරතුරේ තව යාළුවෙකුත් අපේ ගෙදරට අවා ට්‍රිප් එක යන්න.
සංවිධායකතුමාගේ මැසේජ් එක දැක්ක ගමන් මම යාළුවට කෝල් එකක් ගත්තා.මම හිතුවෙම මේකා මේ අපිව බයිට් කරන්න යන්න වෙන්නේ නැහැ කියලා කිව්වේ බොරුවට කියලා හිටං.එත් මම කෝල් කරනකොටත් ඇත්තටම සංවිධායකතුමා හැටන්.
වෙලා තියෙන්නේ සංවිධායක යාළුවාගේ තාත්තා අර මම කිව්ව KDH එකේ හැටන් වලට හයර් එකක් ගිහින්.හයර් එක ගිය උන් තාත්තාට බොන්න දීලා වැන් එක අරන් ගිහින්.තාත්තා බලන කොට වැන් එක නැහැලු.හයර් එක ගිය මිනිහා ෆෝන් එක ආන්සර් කරන්නෙත් නැහැලු.ඉතින් තාත්තා කලබල වෙලා පුතාට කෝල් කරලා පුතා කලබල වෙලා හැටන් දුවලා.
තනියෙනුත් නෙමේ මේකා ගිහින් තියෙන්නේ ට්‍රිප් එක යන්න හිටිය තව යාළුවෝ දෙන්නෙකුත් එක්ක.දැන් ඉතින් ට්‍රිප් එකට අබ සරණයි.දැන් මොනවා කරන්නද ඒ පාර මම හිතුවා දැන් ඔන්නඔහේ ඔෆිස් එකටවත් යනවා කියලා අර ආපු යාළුවාට කිව්වා "ඔහොම හිටපන් මම නාගෙන එන්නම්"කියලා.එක ඇහුණු තාත්තා කිව්වා "ඉතින් මේ මඤ්ඤොක්කා ටිකයි,මස් ටිකත් ටැප් එක ළඟටඅරන් ගිහින් නාලා කාපන්" කියලා.
හරි දැන් ඒ කතා ඉවරයි.දැන් මගේ කතාව."යහපාලන ආණ්ඩුව" බලයට අවා කියලා එකෙන් අපේ සාක්කුවට වාසියක් නොවුණු බව ඇත්ත.ඒ වගේම "යහපාලනෙත්"කියපු තරම් යහපාලනයක් නැති බවත් ඇත්ත.එත් මිනිස්සු එපා කියලා බලයෙන් පහකරපු නායකයෝ තවමත් "ජාතිය,ආගම"ඉස්සරහට දාගෙන නටන පිස්සු දැක්කාම මේ යහපාලනය අඩුපාඩු තිබුණත් අර අධම මර පාලනයට වඩා ගොඩක් හොඳයි.
Monday, March 24, 2014
අපේක්ෂක රුවන් වැකි සහා මගේ මනාපය.
මිනිසා කියන්නේ දේශපාලන සත්වයෙක් කියා කියනවා මම කොහේදී හෝ දැක හෝ කියවා තිබෙනවා.කොහොමත් අපි එක එක්කෙනාට විවධ දේශපාලන මත තියෙනවනේ.මටත් එහෙමයි.
මේ දිනවල අපේ බස්නාහිර පලත් සභාවේ ඡන්දය නිසා අපේ දුක,සැප හොයාගෙන අපේ ගෙවල් දොරවල් වලට එන අයත් බොහොමයි.මේ අය අපේ පවුල් වල අයටත් වැඩියෙන් අපේ ප්‍රශ්න ගැන සංවේදී වෙන විධිය දැක්කාම හිතට එන්නේ අප්‍රමාණ ප්‍රීතියක්.
එත් අවංකවම එයාලා අපේ ප්‍රශ්න ගැන මේ තරම් සංවේදීද..?
මම කොළඹ දිස්ත්‍රීක්කයේ ඡන්දදායකයෙක්,ඉතින් මේ දිනවල මැතිවරණයේ කැන්වසින් යන අය හරි,හරියට අපේ ගෙවල් වලට එනවා.හරියට අලුත් අවුරුද්දට නෑදෑයෝ එනවා වගේ.ඉතින් මේ එන අය අපිට දීලා යන ලිෆ්ලට් දැක්කාම මේ අය අපට කරන්න හදන මේ සේවයම ඇති එයාලාට නිවන් දකින්න.
දැන් එක්කෙනක් කියනවා
"හරි මග ගෙන යන උදය ගම්මන්පිල" කියලා.ඒ කියන්නේ මේතාක් කාලයක් අපි ගිහින් තියෙන්නේ නොමග වෙන්න ඇති.:Dහැබැයි ඉතින් ඕනෙම හොද දෙයක් නිකන් ලබෙන්නේ නැහැ වගේ අපිව හරි මග ගෙනියන්න එතුමා අපෙන් රුපියල් 100 බලාපොරොත්තු වෙනවා.
තවත් කෙනෙක් එන්නේ "හිරු උදාවූ වගයි" කියමින්.ඒ කියන්නේ මේ දක්වා අපි හිටියේ අදුරේ කියන එක වෙන්න ඇති."මනුෂ්‍යත්වයේ නාමයෙන්,සත්‍ය වෙනුවෙන් පෙනි ඉන්න" එන ඇය වගේම තවත් බොහොදෙනෙක් විවිධ පාඨ කියාගෙන එනවා.
සමහරු එන්නේ "අතිශයින්ම ජනතා සේවයට" කියමින්,තවත් අය "දුෂණයට,අවනිතියට එරෙහිව,එකාධිපති වියරුව පරදවන්න,කල දේ ඉදිරියටත් කරන්න,නොකළ දේ කරන්න එනවා.සමහරු "දුප්පතාගේ හිතවත්තු"තවත් ඈයෝ "දුප්පතුන්ගේ ගැලවුම්කාරයෝ"වෙලා.ඒ විතරක් නෙමේ සමහරු එන්නේ "අහවලාගේ ආශීර්වාදයෙන්,මෙයාගේ උරුමයෙන්" කියලයි.තවත් අය "බුද්ධියේ පෙර ගමන්කරුවෝ" ඇවිත් අපේ බුද්ධිමත් මනාපය ඉල්ලා හිටිනවා.
හැබැයි ඉතින් මේ කවුරු කොහොම අවාත් මෙවරත් සුපුරුදු පරිදිම එත් එක වෙනසක් සහිතව මෙවර මැතිවරණයේ මගේ ඡන්දය භාවිතා කරන්නයි මම බලාපොරොත්තු වෙන්නේ.සුපුරුදු පරිදි කිවේ මම කොහොමත් විපක්ෂයේ ඡන්දදායකයකු නිසයි.වෙනසක් කිවේ මේවර ජවිපෙ වෙනුවෙන් දෙන්න තීරණය කර ඇති නිසයි.
මට හිතෙන විදියට දැන් මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නය ජිනීවා ගැටලුව හෝ ජිවන වියදම ඉහළ යාමවත් රජයේ තියෙන මහා පරිමාණ දුෂණ,වංචාවත් නෙමේ ශක්තිමත් විපක්‍ෂයක් නොමැති කමයි.මොකද මේ ආණ්ඩුව මේ තරම් බල වියරුවකින් ක්‍රියා කරන්නේ විපක්ෂයෙන් තමන්ට අභියෝගයක් නැති නිසායි.එසේ වුවත් මේ වෙලාවේ ආණ්ඩුව පෙරළීමට වඩා ශක්තිමත් විපක්ෂයක් ගොඩ නැංවීමයි ප්‍රමුඛ කාරණාව ලෙස ගත යුත්තේ .
දැන් මේ වෙනකොට මේ රජය මොන තරම් ජනතාව මර්දනකාරී ලෙස හැසිරුනත් එක ඒතරම් රටේ ජනතාවට නොදැනෙන්නේ ජනතාව මේ වෙනකොට රජයේ දැවැන්ත මාධ්‍ය ප්‍රචරණ ඉදිරියේ නිර්වින්දනය වෙලා තියෙන නිසා වෙන්න ඕනේ.එතකොට ඒ නිර්වින්දනය නැති කරන එක තමයි විපක්ෂයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ.නමුත් අවාසනාවකට වගේ අපි බලාපොරොත්තු වෙන ඒ දේ දැන් යු.එන්.පි යෙන් නොවෙන ගණයි.එක්සත් ජාතික පක්ෂයත්,රජයටත් දෙකක් නොවේ එකක් කියා හිතෙනවා සමහරක් විට මේ අයගේ හැසිරීම දැක්කාම.එක නිසා ඉතින් මේ වෙලවේ මට හිතෙන විදියට ශක්තිමත් විපක්ෂයක් ගැන අපේ බලාපොරොත්තු තියා ගන්න වෙලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ සමගින් තමයි.
දැන් එතකොට තවත් කෙනෙකුට අහන්න පුළුවන් එකම විකල්පය ජනතා විමුක්ති පෙරමුණ විතරද.?ඇයි ෆොන්සේකා මහත්තයාගේ "ප්‍රජාතන්තවාදී පක්‍ෂය"හොද නැතිද කියා.නමුත් මට පේන්න තියෙන විදියට ප්‍රජාතන්තවාදී පක්‍ෂය දුෂණයට එරෙහි හඩක් නැගුවත් ඔවුන් තුළ තවමත් පිළිගත් ප්‍රතිපත්තියක් නොමැති වීම විශාල අඩුවක්.අනික් අතින් එම පක්ෂයේ සිටින බහුතරයක් දෙනා එක්සත් ජාතික පක්ෂයෙන් ගැලවී ආ පිරිස්.ඉතින් ඒවැනි අයගෙන් මේ පවතින ක්‍රමයේ වෙනසක් බලාපොරොත්තු වෙන්න බැහැ.අනික් අතට ෆොන්සේකා මහත්තයාගේ ආඥදායකත්වය මම පිළිගන්නේ නැහැ.
මේ ආණ්ඩුව තනි පුද්ගලයෙක් වටා කේන්ද්‍රගතව තිබුණාත් ශක්තිමත් රජයක් බව අපි පිළිගන්න ඕනේ.ඉතින් එහෙම රජයකට අභියෝග කරන්නත් ඒ තරම්ම ශක්තිමත් විපක්ෂයක් තිබිය යුතුමයි.දිනෙන් දින රට ගමන් කරන්නේ ආරාජිකත්වයට.ඒ ගමන ආපසු හැරවීම අපහසු නමුත් අනිවාර්යෙන්ම කළයුත්තක් වී තිබෙනවා.ඉතින් ඒ උදෙසා මට කල හැකි එක දෙයක් තමයි මේ.නිහඩව බලා සිටීම මේ ප්‍රශ්න වලට විසදුමක් නොවේ.කළයුත්තේ ක්‍රියාත්මක වීමයි.අපිට හැකි අයුරින්,අපිට හැකි පමණින්.
ප.ළි.ය:-මා ජවිපෙ කරුවෙකු නොවන වග සැලකුව මැනවි.
පිංතුරය ගුගල්ගෙන්.
නුෂ්‍යත්වයේ නාමයෙන්,සත්‍ය වෙනුවෙන් පෙනි ඉන්න
Saturday, August 3, 2013
ගිනි වතුර.
ශ්‍රී ලංකා ප්‍රජාතන්තික සමාජවාදී ජනරජය දැන්,දැන් මිලිටරිකරනය කරා ගමන් ගන්නා බවට වන තවත් එක නිදසුනක් පසුගිය 1වැනිදා වැලිවේරියේ දී සිදුවූ ගැටුමෙන් පෙන්වා දෙන ලදී.
යුධ හමුදාපති ලෙස දයා රත්නායක තම නවධූරයේ වැඩබාර ගත් දිනයේම පිරිසිදු ජලය ඉල්ලා කරන ලද ජනතා විරෝධයකට හමුදාව ලවා නින්දිත සහා නිර්දය ලෙස පහරදී ලෙයින් මර්දනය දියත් කරමින් අපුරු පණිවිඩයක් දේශප්‍රේමි රජය විසින් ලෝකයට ලබාදී ඇත.
වසර 30 පමණ බිහිසුණු යුද්ධය අවසානේ දකුණේ ජනයාගේ විරයින්ව සිටි ආරක්ෂක හමුදාවන් දැන්,දැන් එම ජනයාගේම මාරයින් සේ ක්‍රියා කරන සැටියක් පෙනේ.බල කාමයෙන් උන්මන්තක වූ පාලකයින් ඉන්නා රටක පිපාසයට වතුර ඉල්ලා සිටීමත් මරණය ඉල්ලා සිටිමකට සමාන දෝ කියා සිතේ.
රතුපස්වල ජනයා පාරට බැස්සේ ඔවුන් මුහුණ දෙන ගැටලු වලට නිසි විසදුමක් බලධරින්ගෙන් නොලැබුණු නිසාය.ඇතැම් විට ඔවුන් මෙසේ පාරට නොබසින්න මේ ගැටලුව තවත් කාලාන්තරයක් විසදුම් නොමැතිව තිබෙන්නට බොහෝ සෙයින් ඉඩ තිබුණි.
මේ විරෝධතාකරුවන් නිසා සාමාන්‍ය ජනජීවිත වලට බලපෑමක් වේනම් පොලිසිය විසින් කල යුතුව තිබුනේ අධිකරණ නියෝගයක් මගින් මේ විරෝධය විසිරුවා හරින්නට කටයුතු කිරීමයි.නමුත් එවැන්නක් සදහා පොලිසිය විසින් අධිකරණ නියෝගයක් ලබා ගත වගක් දැන ගන්නට නැත."නිතිය සහ සාමය"ආරක්ෂා කිරීමේ තමන්ගේ ප්‍රමුඛ කාර්‍ය නිවැරදි ලෙස ඉටු කිරීමට පොලිසිය අසමත් නම් සමස්ත පොලිසියම වස දැමීම වඩා යහපත් වනු ඇත.
එමේන්ම හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබුනේ මේ සිදුවීමේදී පිටස්තරව පැමිණි සංවිධානාත්මක සන්නද්ධ පිරිසක් විසින් පොලිසියට සහ යුද හමුදාවට පහරදී ඇති බවයි.එසේනම් මේ සිදුවීමේ මරණකරුත්,තුවාලකරුවනුත් රතුපස්වල ප්‍රදේශ වාසීන් වන්නේ කෙසේද කියා මාධ්‍ය ප්‍රකාශකවරයා පැහැදීලි කල යුතු වේ.
එදා මාවිල් අරු සොරොව්ව වසා දැමීමෙන් පිඩවට පත් ජනයා මුහුණ දුන් ගැටළුවත්,මේ වැලිවේරිය ගමේ මිනිසුන්ගේ ජල ගැටළුවත් එකම ගැටලුවකි.නමුත් වැලිවේරියේ ජනයාට මෙහිදී දුන් උත්තරය පිළිගත හැකි නොවේ.මේ සිදුවීම් තුළින් ලෝකය ඉදිරියේ අපකීර්තියට පත් වන්නේ සමස්ත රටමය. 'ඉගිලෙන මාළුවෝ' චිත්‍රපටය තුළින් රටේ හමුදාවන්ට අපකීර්තියක් සිදු වුවානම් මේ සිදුවීම් මගින් ලැබුවේ කුමන ආකාරයේ කිර්තියක්ද කියා රජය විසින් පැහැදීලි කර දියයුතුය.
යුද ජයග්‍රහණයට සේනදීනායකයා ලෙස ජනාධිපතිවරයාද එහි කොටස්කරුවෙක් වන්නා සේම මේ සිදුවීමේදීද එතුමා සේනදීනායකයා ලෙස කොටස්කරුවෙක් නොවන්නේද..?මේවා ජාත්‍යන්තරයට යන්නේ රටට සුබදායක ලෙස නොවන වගනම් කිය යුතුය.
ප.ලි:-උඩ ඇති පින්තුරේ අවන්ත ආටිගල කාලෙකට පෙර අදින ලද්දක් වේ.
Wednesday, June 26, 2013
අතිසාරයට අමුඩය ගැසීම.
පසුගිය 21 වැනිදා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ තිබෙන ගැසට් නිවේදනයකට අනුව පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්වය උසස් පෙළ, සාමාන්‍ය පෙළ විභාග ආරම්භ කිරීමට දින පහකට පෙර සිට එම විභාග වලට අදාළවන සම්මන්ත්‍රණ,වැඩමුළු සහා අතිරේක උපකාරක පන්ති පැවැත්වීම තහනම් කර තිබේ.
එහි අරමුණ ලෙස දක්වන්නේ විභාග වංචා වැලැක්‌වීමේ අරමුණින් මෙම තහනම සිදු කරනා බවයි.
අතිසාරයට අමුඩය ගැසීමක් වැනි මෙම ගැසට් නිවේදනය නැවත වරක් අධ්‍යාපන අමාත්‍යාවරයාගේ නොහැකියාව ප්‍රදර්ශනය කරයි.
පසුගිය සාමාන්‍ය පෙළ විභාගයේදී විද්‍යාව ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිටවූ විට අධ්‍යාපනඇමතිවරයා පැවසුවේ මෙය තමාගේ වරදක් නොවන බවත් මෙහි වගකීම දැරිය යුත්තේ විභාග දෙපර්තමෙන්තුව බවත්ය.ඇතැම් විට විභාග දෙපර්තමෙන්තුව ඇත්තේ කා යටතේදැයි එතුමා දැන නොසිටිය වන්නටද පුළුවන.
කෙසේ වුවත් වර්තමන අධ්‍යාපනඇමතිවරයාද රජයේ බොහොමයක් අමාත්‍යාවරුන් මෙන් කවටයෙකුගේ චරිතය නිරුපණය කිරීම රටේ ඉදිරි අනාගතය සම්බන්ධව කිසිම ලෙසකින්වත් යහපත් කරුණක් නොවේ.
වසරකට පමණ පෙර 04 දෙනකුගෙන් යුතු පවුලකට මසකට රුපියල් 2500/-ජිවත් විය හැකියයි පැවසු අමාත්‍යාවරයා වරක් රුපවාහිනියට පැමිණි විටකදී පැවසුවේ තමා ඇමැති වැටුපහෝ නොගන්නා බවය.
එසේ වුවත් මා සිතන්නේ එතුමා එම වැටුප නොගන්නේ පින් පඩි ගැනීමට ඇති අකැමත්ත නිසා විය යුතුය.දේශපාලකයකු ලෙසට තම වගකීම නිසිලෙස ඉටුනොකර ජනතාව පිනවනවාට වඩා එතුමා දේශපාලනයට පිවිසීමට පෙර කලක් මෙන් චිත්‍රපට නිෂ්පාදනය සිදු කරමින් ජනතාවගේ ලේ කුපිත නොකර ජනතාව පිනවනු ලැබුවානම් බෙහෙවින්ම යහපත්ය.
දේශප්‍රේමීයකු වන්නටද අවශ්‍යනම් නලාකරුවකු ලෙස ජාතියේ සංවේදී පියා වෙනුවෙන් කඩේයාද හැක.
ප.ලි :-පොටෝව ගුගල් ඉමේජ් වලින්.
එහි අරමුණ ලෙස දක්වන්නේ විභාග වංචා වැලැක්‌වීමේ අරමුණින් මෙම තහනම සිදු කරනා බවයි.
අතිසාරයට අමුඩය ගැසීමක් වැනි මෙම ගැසට් නිවේදනය නැවත වරක් අධ්‍යාපන අමාත්‍යාවරයාගේ නොහැකියාව ප්‍රදර්ශනය කරයි.
පසුගිය සාමාන්‍ය පෙළ විභාගයේදී විද්‍යාව ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිටවූ විට අධ්‍යාපනඇමතිවරයා පැවසුවේ මෙය තමාගේ වරදක් නොවන බවත් මෙහි වගකීම දැරිය යුත්තේ විභාග දෙපර්තමෙන්තුව බවත්ය.ඇතැම් විට විභාග දෙපර්තමෙන්තුව ඇත්තේ කා යටතේදැයි එතුමා දැන නොසිටිය වන්නටද පුළුවන.
කෙසේ වුවත් වර්තමන අධ්‍යාපනඇමතිවරයාද රජයේ බොහොමයක් අමාත්‍යාවරුන් මෙන් කවටයෙකුගේ චරිතය නිරුපණය කිරීම රටේ ඉදිරි අනාගතය සම්බන්ධව කිසිම ලෙසකින්වත් යහපත් කරුණක් නොවේ.
වසරකට පමණ පෙර 04 දෙනකුගෙන් යුතු පවුලකට මසකට රුපියල් 2500/-ජිවත් විය හැකියයි පැවසු අමාත්‍යාවරයා වරක් රුපවාහිනියට පැමිණි විටකදී පැවසුවේ තමා ඇමැති වැටුපහෝ නොගන්නා බවය.
එසේ වුවත් මා සිතන්නේ එතුමා එම වැටුප නොගන්නේ පින් පඩි ගැනීමට ඇති අකැමත්ත නිසා විය යුතුය.දේශපාලකයකු ලෙසට තම වගකීම නිසිලෙස ඉටුනොකර ජනතාව පිනවනවාට වඩා එතුමා දේශපාලනයට පිවිසීමට පෙර කලක් මෙන් චිත්‍රපට නිෂ්පාදනය සිදු කරමින් ජනතාවගේ ලේ කුපිත නොකර ජනතාව පිනවනු ලැබුවානම් බෙහෙවින්ම යහපත්ය.
දේශප්‍රේමීයකු වන්නටද අවශ්‍යනම් නලාකරුවකු ලෙස ජාතියේ සංවේදී පියා වෙනුවෙන් කඩේයාද හැක.
ප.ලි :-පොටෝව ගුගල් ඉමේජ් වලින්.
Saturday, June 1, 2013
දොස්තර ජයලත් කොටියෙක්ද...?
මෙරට පුහු දේශප්‍රේමින්ගේ නිර්දය චෝදනාවන්ට ලක්වු වෛද්‍ය ජයලත් ජයවර්ධන මහතා මෙරට බොහෝ දේශපාලකයින්ගේ නිල රෝහලව තිබෙන"සිංගප්පුරුවේ මවුන්ට් එළිසබෙත්" රෝහලේ දී අභාවප්‍රාප්ත වුයේ පසුගිය මැයි 29 වනදාය.
රණසිංහ ප්‍රේමදාස මහතා අගමැතිව සිටින අවදියේ ඒ මහතාගේ පුද්ගලික වෛද්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබූ ඒ මහතා 1994 වසරේදී ප්‍රථම වරට පාර්ලිමේන්තුව වෙත පිවිසි අතර මියයනතුරුම පාර්ලිමේන්තුව නියෝජනය කරන ලදී.දේශපාලනයට පිවිසීමට පෙර සිටම සමාජ ක්‍රියාකරියකු ලෙස කටයුතු කල ඒ මහතා පාර්ලිමේන්තුව වෙත පිවිසීමෙන් පසුව එම කටයුතු වඩාත් සංවිදනත්මකව සිදු කරන ලදී.
තමන් දරන මතවාදය තුල සෘජු ලෙස සිට ගැනීමට තිබුණු හැකියාව නිසාම නිර්දය ලෙස තමන්ව කොටි හිතවාදියකු ලෙස හංවඩු ගසා විවේචනය කරනවිටදී පවා තමාගේ ප්‍රතිපත්ති පවානොදී සිටීමට ඔහු වෙත හැකියාව තිබුණි.
2002-2004 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ පුනරුත්ථාපන නැවත පදිංචිකිරීම් හා සරණාගත කටයුතු පිළිබද අමාත්‍යවරයා ලෙස කටයුතු කල ඔහු එසේ අමාත්‍යධූර දරන්නට පෙර සිටම යුද්දය නිසා පිඩා විදි මායිම් ගම්මාන වැසියන්ගේ අවශ්‍යතා උදෙසා ක්‍රියා කල අයෙකු විය.පොළොන්නරුව,මඩකළපුව වැනි දිස්ත්‍රික්කවල මායිමේ ඇති ඉතාමත් දුෂ්කර ගම්මන වල වෛද්‍ය සායන සංවිදානය කිරීමේ සිට එම ගම්මාන වලට ත්‍රස්තවාදී තර්ජනයන්ගෙන් ආරක්ශාවීමට සයිරන් නලා බෙදීම දක්වා විවිද ක්‍රියා මාර්ග ගනු ලැබුවෙක් වු ඔහු පොළවමත පයගසා කටයුතු කල අයෙක් ලෙසට දකිමි.
යුදවාදියෙක් නොවුන නිසාත් "ලංකා ඉ නිව්ස්" කියූ පරිදි එක දශමයකින් හෝ ජාතිවාදියෙක්,අගම්වදියෙක් නොවී අචල මානව හිතවාදියෙක්වු නිසාම එසේ නොවන්නගේ විවේචනයට ලක්වුවෙක් විය.
රටේ මානව හිමිකම් ගැටළු ජිනීවා ගෙන යමින් රට ජාත්‍යන්තර ලෙස අපහසුතාවයකට පත් කරන රට පවා දෙන්නෙක් ලෙසටද ඔහු වෙත චෝදනා එල්ල වුයේය.නමුත් ඒ චෝදනා එල්ල කරන අය විසින් රටේ මානව හිමිකම් කඩවීම් ගැන නිසි පරීක්ෂණ සිදු නොකිරීම ගැන ප්‍රශ්න නොකර එම ප්‍රශ්න ජාත්‍යන්තරයට ගෙන ගිය ඔවුන් පස්සේ ලුහුබදියි.රටේ මානව හිමිකම් උල්ලංගනය වේනම්,පාලකයින් ඒවා නොසලකා හරිනම් ජිනීවායාමේ වරදක් නැත.
කෙසවෙතත් මා ඔහුට ගරු කරන්නේ මාද යුද්දය ගැන ඔහු දැරු "යුද්දයට විසදුම සාමය" යන මතය පිළිගන්නා බැවිනි. බිහිසුණු යුද්දය විජයග්‍රහනයකින් නිමා වුවත් මාගේ මතයද වෙනස් නොවේ.
ඔහු වෙත කොටි ලේබලය අලවනු ලැබුවන්ගෙන් අසන්නට ඇත්තේ ඔබ මේ රට වෙනුවෙන් කර ඇත්තේ කුමක්ද කියා පමණි.
ප.ලි :-මම ඔහුව කිසි දිනක දැක නැත,ඔහු උදෙසා මගේ චන්දයක් හෝ භාවිතා කර නැත.ඒ ඔහු ගම්පහය නියෝජනය කරන ලද නිසාත් මම වෙනත් දිස්ත්රිහක්කයක චන්දදායකයකු වන නිසාත්ය.
හරක් මරණවට සංවේදී මිනිසුන් සිටින රටක තවත් මිනිසෙක් මලවිට ප්‍රීතිවනු දැක අතිශය කණගාටුවට පත්වෙමි.
(ඉහත චයාරුපය ගුගල් ඉමේජ් වලින් උපුටා ගත්තෙමි.)
Subscribe to:
Posts (Atom)





.jpg)