Monday, May 2, 2016

පෙර දිනයක මා පෙම් කල යුවතිය මේ පුංචි රටේ යළි අප හමුවේවි.

එදාත් මේ තරම් නැතත් සැරට අව්ව පයලා තිබ්බ දවසක්.අපි හිටියේ කොටුවේ දෙවැනි හරස් වීදියේ සාරි කඩේක.නෙක නෙක අරුමෝසම් සාරි අතරේ වල්මත් වෙලා වගේ හිටිය අපි දෙන්නා කඩෙන් එළියට ආවේ සාරි තියා ලේන්සුවක්වත් ගන්නේ නැතුව.

"එකනේ මම ඔයාට කිව්වේ දන්නා කෙනෙක් එක්ක යමු කියලා"

ඇයට මම එහෙම කිව්වේ මහන්සියෙන් විඩාවට පත් වෙලා හිටපු නිසා.ඇගේ පිළිතුර වුනේ පොඩි මන්දස්මිතයක්.

"ඔයා දන්නවාද වැඩක්" චණ්ඩි ඉර එළියෙන් බේරෙන්න කුඩේ ඉහලන ගමන් ඇය මගෙන් ඇහුවා.

"මොකක්ද" කියලා මම අහන්නත් කලින්ම ඇය කතාව කියන්න පටන් ගත්තා."අපේ අංජුයි,සංජුයි දෙන්නව මුලින්ම ගන්න හිටියේ අපේ වෙඩින් එකටනේ.දැන් ඒගොල්ලන්ව අපේ වෙඩින් එකට ගන්න වෙන්නේ දෙවැනියට"

අංජුයි,සංජුයි කියන්නේ ඇගේ අක්කාගේ දුවලා දෙන්නා.අපේ විවාහයේ වැඩ ගැන කතාබහා ඇති වෙන කොට ඇය අවධාරණයෙන් කියා සිටියා අපේ විවාහයේ මල් කුමරියන්ට ඇගේ අක්කගේ දුවලා දෙන්නවම ගත යුතු බව. 

දැන් ඇය කියන්නේ අපේ විවාහයේ ඇගේ අක්කලාගේ දුවලාට මල් කුමාරියන්ට ඉන්න වෙන්නේ තවත් අයකුගේ විවාහයක එසේ මල් කුමාරියන්ට සිටීමෙන් අනතුරව බවයි.

"එතකොට කාගේ වෙඩින් එකටද දෙන්නවා අරන් තියෙන්නේ."

මම ඇයට ඒ ප්‍රශ්නය යොමු කෙරුවේ ගල්කිස්සට එන්න මොරටුව බස් එකකට කොටුවෙන් නගින ගමන්.

"අමාලි අක්කාගේ මල්ලිගේ වෙඩින් එකට" ඇය උත්තර දුන්නේ බස් එකේ ජනේලයක් ලගින් වාඩිවෙන ගමන්.

"කවුද අමාලි අක්කා" මගෙන් ඇයට තවත් පැනයක්.

"ඇයි අනේ අමාලි අක්කා කියන්නේ අපේ තරංග අයියාගේ මල්ලි බැඳලා ඉන්න කෙනානේ"

තරංග අයියා යනු ඇගේ එකම සහොදරිගේ එහෙමත් නැති නම් ඇගේ අක්කාගේ සැමියායි.ඇගේ අක්කාගේ කුඩා දරුවන් දෙදෙනා මල් කුමාරියන් ලෙස සැරසෙන්න නියමිතව සිටින්නේ එම අමාලි අක්කාගේ මල්ලිගේ විවාහයටයි.

"දැන් කවද්ද ඔය මගුල තියෙන්නේ,කොහේ කෙල්ලෙක්වද බදින්නේ ?" "මැයි මාසේ,එයාත් ගල්කිස්සේ කෙනෙක් මට හම්බු වෙලත් තියෙනවා"ඇය උත්තර දුන්නේ  මගේ උරමත ඇගේ හිස සතපවන ගමනුයි.

කාලය ගත වුනා.අමාලි අක්කාගේ මල්ලිගේ විවාහයත් සිදුවුනා.

එදා ඉරිදාවක් කිසියම් කරුණක් නිසා එදින උදේ මට ඇගේ නිවසට යන්න සිදුවුනා.තවත් මාස කිහිපයක්ම ඇගෙත් මගෙත් විවාහයට ඉතුරුව තිබෙනවා.මා එදා උදේ ඇගේ නිවසට යන විට ඇගේ අක්කත් කුඩා දරුවන් දෙදෙනා සමගින් ඇගේ ගෙදරට ඇවිත් සිටියා.අමාලි අක්කාගේ මල්ලිගේ විවාහය සිදුවී තිබුනේ එයට පෙර සතියේදියි. 

ඇගේ ගෙදර ගුවන්විදුලි යන්ත්‍රයේ ලස්සන සින්දුවක් යමින් තිබුනා.

ජිවීත ගමනේ කෙදිනක හෝ 
අප යළි හමුවන දිනයේ 
මේ දුක් කඳුලැල් වියකුණු දෑසින් 
හිනැහෙනු මැන පෙර සේ

මේ පුංචි රටේ කොතැනකදී හෝ 
මතු කවදා හෝ යළි අප හමුවේවි.

සින්දුව අහමින්ම මම සාලයේ තිබ්බ හාන්සි පුටුවට බර දුන්නා.තේ කෝප්පයක් අරන් මා වෙත පැමිණි ඈ ඉන් අනතුරව වෙඩින් කේක් එකක්ද මා අත තිබ්බා තේ එක සමගින් කන්න.

"කොහෙන්ද වෙඩින් කේක්" මම ඇහුවේ කේක් කෑල්ලක් කන ගමන්මයි.

"අමාලි අක්කාගේ මල්ලිගේ වෙඩින් එකේ එව්වා.අක්කා ගෙනැල්ලා"

ඉන් මොහොතකට පස්සේ ඇය මාවෙත පැමිණියේ  විවහා උත්සවවලදී පැමිණෙන අමුත්තන් වෙත දෙන "Thank u Card"  එකක්ද රැගෙනයි.

"මේ බලන්න අපේ පැංචියෝ දෙන්නා අර වෙඩින් එකේ ඉන්න හැටි" ඇය එහෙම කියමින් මට දීපු "Thank u Card" එක මම අතට ගන්නකොටම ඇගේ අක්කා කිව්වා "මල්ලි ඔය නංගිත් ගල්කිස්සේ" යනුවෙන්.

"Thank u Card" එක අතට ගත්ත මගේ ඇස් දෙකට මුලින්ම දැක්කේ කාඩ් එකේ තිබ්බ නම් දෙක.මනාලියගේ නම දකිනවාත් එක්කම මගේ ඇස ගියේ ඒ "Thank u Card"එකේ උඩරට ඇඳුමින් සැරසුණු මාල හතක් දාපු මනාලිය වෙතට.

එක මොහොතකට මගේ හුස්ම නතර වෙන්න ඇති.හැබැයි ඒ එක මොහොතකට පමණයි.මගේ මුවින් පිටවුනු විශ්මයාර්ථ හඬ නිසාම මා ලග සිටි ඇයත් අගේ අක්කාත් විමසුවේ 

"ඇයි ඔය මෙයවා දන්නවාද"කියායි.

කුමට මුසා පවසම්ද ?

මේ මා පෙර දවසක පෙම් කල යුවතියයි.

අපේ ප්‍රේම සම්බන්ධය බිඳ වැටිමෙන් අනතුරුව අපි කිහිප වරක් මග තොට එකිනෙකා දැක තිබුනා.පසුව ඇය තරුණයකු සමගින් විවාහ ගිවිස ගෙන ඇති බව දැනගන්න ලැබුණා ඇගේ යෙහෙළියකගෙන්.කාලය ගත වෙලා දැන් මනලියකව සැරසුණු ඇගේ විවාහයේ "Thank u Card" එක මා අත.

ඒයිනුත් කලකට පස්සේ මමත්,ඇයත් නැවතත් පිටකොටුවේ යන්න ගියේ පෙරදිනයක මිලදී ගැනීමට නොහැකිවූ සාරි මිලදී ගැනීමටයි.

ඒ මොහොතේ අප ගමන්ගත් බස් රථයේ අමරදේවයන්ගේ 

පෙර දිනයක මා පෙම් කල යුවතිය
සිය පුතු නලවනවා 
මගේම ගීයක් නැළවිලි ස්වරයෙන් 
ඇතින් මතු වෙනවා

ගීය වාදනය වෙන්න ගත්තා.ඒවිට මගේ උරමත සුපුරුදු ලෙස ඇගේ හිස තබමින් ඈ කියා සිටියා මෙසේ


"ඔයාටත් ඕනේ නම් ඔය සින්දුව කියන්න පුළුවන්.ඔයගේ අර යාලුවා අම්මා කෙනෙක් වෙන්න යන්නේ"