Thursday, December 10, 2015

හින පිළිබදව නක්ෂත්‍රකරුවෝ.

මේ පොඩ්ඩක් විතර පිළුණු කතාවක්.

මේ කතාව කියන්න තිබ්බේ අර සෝමවංශ සහෝදරයා ගිහින් විරවංශ මහත්තයාව බදා ගත්තු දවස්වල.මතකයිනේ ඒ වෙලාවේ සෝමවංශ කරපු කතාව!

"පොදු සතුරා විසින් අපිව එකතු කරලා තියෙනවා"කියලා කිව්වේ.

මේ කියන්න යන්නේ ඒ කතා ගැන නෙමේ.මේ කියන්න හදන්නේ ඒ දෙන්නගේ එකතු දීගේ ගැන මම හීනෙන් දැක්ක එක.

මම හීනෙන් දැක්කේ සෝමවංශ විමල් එක්ක එකම වේදිකාවේ මහින්ද වෙනුවෙන් කතා කරනවා.

ඒ වෙනකොට සෝමවංශ ජවිපෙන් ඉවත් වෙලා හිටියත් විමල් එක්ක එකතු වෙලා හිටියේ නැහැ.නිකම් දැකපු හීනයක් නමුත් ඒ හීනේ අන්තිමට සැබෑ උනා.

හීනේ සැබෑ වෙලා දෙන්නා දීග ගියාට ඒ දෙන්නගේ දීගේ තව කොච්චර කාලයක් තියේද කියලා නම් මට සැකයි.මොකෝ සෝමවංශ මහත්තයා ජවිපෙන් දික්කසාද උනාට තව තව කසාද කරන්න හොයන නිසා.  

මේ හීනේ මම දැක්කේ ජුනි පළමුවැනිදා පාන්දර.මට හීනේ දැක්ක දවස මතක මම එදාම උදේ බුකීයේ "සංදේශය"පිටුවේ මේ හීනේ ගැන සටහනක් දාපු නිසයි.


මේ තියෙන්නේ ඒ සටහන.
මම ගොඩක් වෙලාවට නිදා ගන්න කොට රෑ දොළහට ඉතා ආසන්න වෙනවා.ආයෙමත් උදේ පහට නැගිටලා කිරිතේ එක බීලා නිදා ගන්නවා.ඊට පස්සේ නැගිටින්නේ උදේ හතට විතර.මට ගොඩක් වෙලාවට ඉතින් හීන පේන්නේ ඔය තේ එක බීලා ආපහු නිදාගෙන ඉන්න වේලාවටයි.


මේ ඔය වගේ දැක්ක තව හීනයක්.

එදා දැක්කේ අපේ හිතවත්ම මිත්‍රයෙක් මරණයට පත් වෙලා ඉන්නවා.දැන් ඉතින් ඒ යාලුවාගේ මරණ ගෙදර මම ඇතුළු අපේ තව යාළුවෝ සෙට් එකක් ගිහින් හිටියා.වැඩේ කියන්නේ මම හීනෙන් මැරිලා ඉන්නවා දැක්ක යාළුවාත් අපිත් එක්කම ඌගේ මරණ  ගෙදර නයිට් එක ගහනවා.

කොහොමින් හරි හීනේ දැක්ක දවසේ හවස කෝල් එකක් එනවා 

"මචං xxගේ මාමණ්ඩි අන්ත්‍රා වෙලා" කියලා.

මම හීනෙන් මැරිලා ඉන්නවා දැක්ක එකාගේ මාමණ්ඩියි මැරිලා තියෙන්නේ.

ඒ දැන් ඉතින් බලන් ගියාම මටත් "රාජකීය දෛවඥ"වගේ තනතුරකට ඉල්ලන්න සුදුසුකම් තියෙනවා වගේනේ.

කනාවට හෝ හරි යන්න අපෙනුත් හීන පලාපල අහන්ට.

ප.ලි :කාලයක් තිස්සේ දැක්ක තවත් "හීනයක්" අර්ධ වශයෙන් තව දින කිහිපයකින් සැබෑ වෙන්න යනවා.ඒ හීනේ අනිත් අර්ධය සැබෑ වෙන්ට තවත් මාස කිහිපයක් තියෙනවා.

Saturday, October 31, 2015

දුකට කියන කවී.


Add caption


මහින්දගේ කටු කෑ හොරිකඩ  හැත්ත 
යහපාලනෙත් කුණු අඳිනවා    දැක්ක 
උස්සා බැටන් පොල්ල අසරණයන් තලන 
දීපං රළහාමි යුනිපෝම් එක බල්ලෙකුට 

Thursday, October 22, 2015

ඇඩ්‍රස් නැහැ


හෙන්රි අයියාගේ නොකීකතා බ්ලොග් එක ගැන දන්නවානේ.එකේ යන්නේ නොකී කතානේ,මටත් හිතුනා නොකී කතාවක් කියන්න.

හැබැයි මේක මේ නොකී කතාවක් කිව්වත් දන්නා කිහිපදෙනෙකුත් ඉන්නවා.හැබැයි ඒ දන්නා අය ඒ කතාව දන්නේ මම කියලා නෙමේ වෙනත් ආරංචි මාර්ග වලින් තමයි දන්න අය මේ කතාව ගැන දන්නේ.ඉතින් මම නොකිව්ව නිසා මේක නොකී කතාවක් තමයි හිටං.

මේ කතාවේ මම හැර තවත් අයෙක් ඉන්නවා.මිනිහා බ්ලොග් නොකියෙව්වාත් එයාගේ අනන්‍යතාව රකින්නත් එක්ක මම පොරට "දිගා"කියන අන්වර්ථ නාමය දෙන්නම්.මේ "දිගා" මගේ අතිජාත මිත්‍රයෙක්.එදාත්,අදත්,හැමදාටමත්.

මේ "දිගා"ඒ පවුලේ එකම දරුවා.

ඒ මීට හරියටම අවුරුදු පහකට විතර කලින් සිකුරාදා දවසක්.ඔෆිස් ගිහින් ගෙදර ඇවිත් හිටපු මට "දිගාගෙන්" කෝල් එකක් ආවේ මම බලපොරොත්තුවෙන් සිටිය විදියටමයි.

"මචං උඹලෑ ගේ ඉස්සරහා ඉන්නේ.වරෙන් පාරට" ඇමතුමට අනුව මමත් පාරට අවා.

දිගා ඇවිත් තිබ්බ කාර් එකේ ඉදිරිපස අනෙක් අසුනේ හිටියේ දිගාගේ පෙම්වතිය.හෙට දිනයේ ඇය ඔහුගේ නිත්‍යනුකුල බිරිඳ වීමට නියමිතයි.හැබැයි ඒ මුළු ලොවට හොරෙන්.දිගා කලින්ම ගිහින් විවහා ලේකම්වරයකු හමුවී සියල්ල සුදානම් කොට ගෙන තිබුණා.මට තිබුනේ පසුවදා එම විවාහයේ සාක්‍ෂිකරුවකු වීම පමණයි.

මම කාර් එකේ පිටුපසින් නැග්ගට පස්සේ මා මිතුරු දිගා හෙට දිනයේ සැලසුම විස්තර කලා.

ඒ අනුව පසුදා උදයේ නමය වනවිට සුදානමින් සිටි මාවත් රැගෙන මා මිත්‍රයා සහා ඔහුගේ පෙම්වතිය අනෙක් සාක්‍ෂිකරුද වාහනයට නංගාගෙන විවහා ලේකම් වෙතට ගියා.

අපි සාක්ෂියට අත්සන් කෙරුවා.විහාහය සිදු වුනා සියල්ලෝම සතුටින් විසිර ගියා.

හොඳම හරිය සිදුවුනේ ඊට දෙදවසකට පසුවයි.
පුරුද්දක් විදියට මම දිගාලාගේ ගෙවල් පැත්තේ නිතර යනවා.ඉතින් මේ වෙද්දී දිගා තම අලුත ගෙනා බිරිඳ සමගින් තමන්ගේ ගෙදර පදිංචිවී සිටියා.අලුත ගෙනා මනමාලිට විරුද්ධත්වයක් දිගාලාගේ ගෙදරින් ආවෙත් නැහැ.සියල්ල හොඳින් සිදු වෙන නිසා එදා හවස මම දිගාගේ ගෙදර යන්න ගියා.ඒ ගියෙත් දිගා මට කෝල් කරලා මෙහෙම කිව්වා නිසා.

"මචං අද හවසවත් උඹ අපේ ගෙවල් පැත්තේ වරෙන්.අපේ අම්මා දන්නේ නැහැ කවුද මේකට අත්සන් කෙරුවේ කියලා හිටං.උඹ නාවොත් උඹ ගැන සැක හිතයි.ඒ නිසා උඹ වරෙන්.හැබැයි අපේ අම්මා උඹේ කටට උත්තරේ දීලා අහයි උඹ නේද අත්සන් කෙරුවේ කියා උඹ නැහැ කියා කියපන්.දන්නෙවත් නැහැ කියලා කියපන් "

ඔන්න දැන් දිගාගේ උපදෙස් අනුව මම දිගාලාගේ ගෙදරට ගියා.මම යනකොට දිගා හදිසි වැඩකට එලියට ගිහින් හිටියේ.පෙරමගට ආපු දිගාගේ අම්මාත් මාත් අතරේ මෙහෙම දෙබසක් ඇති වුනා.

"පුතා දන්නවාද අපේ දිගා කරපු හපන්කමක්"

"මොකක්ද ආන්ටි"

"දිගා කසාද බැන්දානේ"

"නැහැ බොරු"

"බොරු නෙමේ ඇත්ත"එන්නකෝ ගෙට.

මමත් ගෙට ගියා.ඒ වෙනකොට ඒ ගෙදර ඒ පවුලේ හිතවතෙක් වෙච්චි මමත් දන්නා කියන කෙනෙක් ඇවිත් හිටියා.දිගාගේ තාත්තාත් හිටියා.ඒ අතරේ දිගාගේ බිරිඳ මට කාමරයක් ඇතුලේ සිට හස්ත සඥාවෙන් යමක් කිව්වාත් මට එය එක් වරම වැටහුනේ නැහැ.එත් එකක්ම දිගා කෝල් කරලා කලබලයෙන් කිව්වා

 "අපේ අම්මාට කියපන් අත්සන් කෙරුවේ උඹ කියලා" 
දැන් එක පාරක් මම නෙමෙයි කිව්වා මම ආයෙමත් කොහොමද මම තමයි කියලා කියන්නේ මම සද්ද නැතුව හා කියලා නිකන් හිටියා.

"දිගා නැහැනේ ආන්ටි මම පස්සේ එන්නම්"
"පොඩ්ඩක් ඉන්නකෝ පුතා,පුතා දන්නවාද මේ අත්සනයි,නමයි කාගේද කියලා හිටං"

දිගාගේ අම්මා එහෙම ඇහුවේ මගෙන් අර මහානුභාව සම්පන්න කසාද සහතිකේ මට පෙන්වන ගමන්. 

අන්න එතකොටයි මට ඇඩ්‍රස් නැති වුනේ.

ප.ලි : ඒ දෙමාපියෝ මා එක්ක තරහා වුනේ නැහැ.දිගාගේ භර්යාවත් බොහොම හොඳ ගුණ යහපත් කාන්තාවක්.දැන් දරුවකුත් සිටිනවා.


ප.ප.ලි : අපි කර දුන් විවහායක් වැරදි නැත.



Monday, August 3, 2015

මගේ මනාපය.



කලකට පස්සේ වෙලකට බැස්සේ කියලා "මී හරකෙක්" කිව්වායි කියන්නේ.ඉස්සර ගොවිතැන් කරන කොට නැතුවම බැරි වෙච්චි මී හරක් වුණත්  දැන් හිතනවා ඇති තාක්‍ෂණය කුබුරටත් බැහැලා තියෙන කොට නිරපරාදේ මඩ නා ගන්නේ මොකටද කියලා හිටං.

මී හරක්,මඩ වගේ වචනත් එක්ක එකටම ගලපා ගන්න පුළුවන් වචනයක් තමයි අපේ ජන්දත්.

දේශපාලකයෝ මී හරක්ය කියලා හිතං ඉන්න ජන්ද දායකයොත්,
ජන්දදායකයෝ මී හරක් කියලා හිතං ඉන්න දේශපලකයොත් ඉන්න රටේ මී හරක්ටත් වඩා වැඩියෙන් මඩ නාන/ගහන කාලයක්නේ ජන්ද කාලේ කියන්නේ.

පහුගිය ජනවාරි අටවෙනිදා මහින්දගේ ඒකාධිපති පාලනය අවසන් වෙච්චි දවසෙම වගේ තමයි මම හිතුවේ ඊගාව මහා ජන්දේදී "ජවිපෙට" ආයෙමත් දෙනවා කියලා හිටං.

එදා ජවිපෙට මහා ජන්දේදී කතිරේ ගහන්න ගත්ත තීරණය අද වෙද්දී තහවුරු කරගන්න රනිල්ගේ දින සියේ ආණ්ඩුවේ ක්‍රියා කලාපය බෙහෙවින්ම උපකාරී වුණා.රට ආපහු ජාතිවාදී,වර්ගවාදී බලලෝභයෙන් උමතු වෙච්චි ඒකාධිපතියෙක්ට යටත් කරන්න බැරි නිසා සන්ධානයට දෙන්නේ නැහැ.ඒ නිසා ජනවාරි අටවෙනිදා එපා වෙච්චි මහින්දව ආයෙමත් කොහොමත්ම එපාම තමයි.හිත හදාගෙන රනිල්ට දෙන්නත් බැරි මහා බැංකුවේ "බැඳුම්කර ගනුදෙනුව"ගැන රනිල්ගේ ඇල්මැරුණු ක්‍රියා කලාපය හා ප්‍රකාශ නිසයි.අජිත් නිවාඩ් මහා බැංකුවේ අධිපති ඉන්න කාලේ මිට වඩා දේවල් වුණා කියලා මේ ප්‍රශ්නය මග හරින එක සාධාරණ නැහැ.පහුගිය ආණ්ඩුවල වැරදි අලුත් ආණ්ඩුවේනුත් වෙනවානම් ජන්ද තියන එකෙනුත් තේරුමක් නැහැනේ. 

 කොහොම වෙතත් මේ මහා ජන්දෙන් කාටවත් 113 සරල බහුතරය ලබා ගන්න බැරි වෙන බව පැහැදිලියි.මොකාට වුණත් බලය අනිසි විදියට වැඩියෙන් ලැබුනාම පිස්සු කෙළින්න හදන නිසා එක එහෙම වෙන එකත් එක අතකට හොඳයි.කවුරු ආණ්ඩු කෙරුවත් ශක්තිමත් විපක්‍ෂයක් තියෙන්න ඕනේ රට අයාලේ නොයන්න නම්.පහුගිය කාලේ විපක්‍ෂයේ කාර්ය ජවිපෙන් ඉටුවූ ආකාරය ගැන සැහිමකට පත් විය හැකියි.ඒ නිසා කලිනුත් වතාවක වගේ මේ ගමනත් ජවිපෙට ජන්දේ දෙන්න ගත්තු තීරණය හරි කියලා මම හිතනවා.මේ ගමන මගේ මනාප තුන දෙන්නේ අනුර කුමාරට.ලාල් කාන්තට,සුනිල් වටගලට.

යම් විදියකින් ජවිපෙට නොදී එක්සත් ජාතික පෙරමුණට දෙනවා නම් මනාප දෙන්නේ හර්ෂට,එරාන්ට හා මනෝ ගනේෂන්ට.මනෝට දෙන්නේ මනෝ වාසියට නොවිකෙන පුද්ගලයෙක් කියලා හිතෙන නිසයි.පහුගිය ජන්දේදී කොළඹ මන්ත්‍රී කෙනෙක් විදියට පත්වෙච්චි ප්‍රභා ගනේෂන් මහින්දගේ දැත් ශක්තිමත් කරන්න මහින්ද ගාවට ගියාම තමන්ගේ සහෝදරයා වුණත් කරපු වැඩේ වැරදියි කියන්නත් ඔහුට විරුද්ධව විනය මාර්ග ගන්නත් මනෝ පැකිලුනේ නැහැ.තමන්ගේ මතය වෙනුවෙන් පැහැදලි ලෙස පෙනි ඉන්න ඔහු වගේ අයෙක්ට මනාපයක් දීමේ වරදක් මා දකින්නේ නැහැ.

පහුගිය මහා ජන්දේදී මම දුන්නේ යුඑන්පි එකට.පරදින බව දැන,දැන යුඑන්පි එකට දුන්නේමහින්දට එරෙහිව යුඑන්පි එකෙන් වැඩක් වේවි කියලා හිතලා.හිතපු තරම් වැඩක් වූණේ නැහැ හැබැයි එකෙන්.ඒ වතාවේ මනාප දුන්නේ රනිල්ට,රවීට හා මොහාන් ලාල් ග්‍රේරෝට.රත්මලානේ මිනිස්සුන්ට කොකා පෙන්නලා අන්තිමේදී  මොහාන් ලාල් මහින්දට සෙට් වුණා.දැන් "නැණස පැදු මිනිසා"කියලා අපේ ඔෆිස් එක එහා පැත්තේ ඔෆිස් එකක් දාගෙන ඉන්නවා.මට රවීව එපා වූණේ රවීගේ ප්‍රචාරක ව්‍යපාරය නිසාමයි.ජනතාවට සහන දුන්නේ ගෙදරින් ගෙනත් වගේ තමයි රවී පෝස්ටර්.කටවුට් ගහන්නේ.

කොහොම වුණත් ගිය ගමන වගේ විකෘති පාර්ලිමේන්තුවක් නොවී යහපත් ජනතා නියෝජනයක් සහිත ජනතාවට වගකියන පාර්ලිමේන්තුවක් මෙවර පත් වුණොත් එක තමයි වැදගත් වෙන්නේ.යහපාලනය කාගෙන්වත් සියට සීයක් බලාපොරොත්තු වෙන්න බැහැ.සාපේක්ෂ වශයෙන් හොඳ පාර්ලිමේන්තුවක් තමයි මෙවර බලාපොරොත්තුව.


මේ ගමන කප් එක කොහොමත් උස්සන්නේ යුඑන්පි එක.එක විශ්වාසයි.නමුත් තනියෙන් ආණ්ඩුව පිහිටුවන්න බැරි වෙනවා.එතකොට ඔය සන්ධානේ අප්පච්චි එක්ක නැගිටලා ඉන්න වුන් එහෙම ලැජ්ජාව (එහෙම එකක් තියේනවා නම්) පැත්තකින් තියලා එහෙම ඇවිත් රනිල්ගේ දෑත ශක්තිමත් කරන හැටි බලන්න පුළුවන්.

අන්න ඒ නිසා ඉහත කරුණු කරනාත් සලකා බලා මමත් මගේ හෘදසාක්ෂියට ඉඩ දෙන්න තීරණය කලා.ජනතාවාදී පාර්ලිමේන්තුවක්,සුබවාදී හෙටක් මෙවරවත් සිහිනයක් නොවේවා.

  

Friday, May 8, 2015

අපේ තාත්තායි,යහපාලනයයි.



මේ දවස්වල ජනප්‍රියම මෘතුකාවක්නේ "යහපාලනය"කියන්නේ හිටං.මේ අපේ තාත්තාගේ යහපාලන කතාවක්.අපේ තාත්තා ගැන කලිනුත් මම ලියලා තියෙනවානේ.

අපේ ගෙදර ජන්ද හතරයි.ගිය ජනධිපතිවරණයෙදී  හතර බෙදුණේ යහපාලනේට තුනක් යමපාලනේට එකක් විදියට.තාත්තා තමයි යමපාලනෙට ජන්දේ දුන්නේ.මහින්දට නොදී මෛත්‍රිට ජන්දේ දෙන්න කොයි තරම් කරුණු කාරණා අපි තාත්තාට පෙන්වලා දුන්නත් තාත්තා ජන්දේ දුන්නේ මහින්දටමයි.

මේ අවුරුද්දේ මුලදීම ඒ කියන්නේ ඔය ජන්ද දවස්වලදීම වගේ අපේ මල්ලි එයාගේ රස්සාවෙන් අයින් වුණා.වැඩකරන තැන පඩි මදි කියලා තමයි මිනිහා ඒ රස්සාවෙන් අයින් වුණේ.මිනිහාගේ ලොක්කා මල්ලිට ආයෙත් රස්සාවට එන්න පඩි වැඩිකරලා දෙන්නම් කිව්වත් මිනිහා ඒ රස්සාවට යන්න ආයෙත් කැමති වුණේ නැහැ. 

ඔය අතරවාරයේ මාසේ අන්තිම ආවා.සාමන්‍යවිදියට මම වැඩ කරන ආයතනයේ වාර්ෂික වැටුප් වැඩිවීම සිද්ධ වෙන්නේ ජනවාරියේ,හැබැයි මේ ජනවාරියේ එක ඒ විදියට සිද්ධ වුණේ නැහැ.එකට හේතු වුණේ යහපාලන ආණ්ඩුව අපේ ක්‍රොන්ත්‍රත් කිහිපයක් නතර කරලා තිබීමත් කරපු වැඩ වල සල්ලි නොලැබී යාමත් නිසා.හරියට නිකම් කලාහිතට වුණා වගේ වැඩක් තමයි අපිටත් වුණේ හිටං.

ඉතින් දැන් ඔය අපේ පඩි ජනවාරියේ වැඩි නොවිච්චි සිද්දිය මම ගෙදර ඇවිත් තාත්තා එක්ක කිව්වම තාත්තා කියාපි

"ඕකද උඹලාගේ යහපාලනේ,මල්ලිට රස්සාව නැහැ,උඹලාට පඩි වැඩි වෙලා නැහැ.දැන් තේරෙනවාද රඟේ" කියලා.

`````````````````````````````````````````````````````````````````````````````````

මේ තවත් කතාවක් මේ කතාව මතක් වුණේ අපේ හැලපයියාගේ ඌරු කතා නිසා.ඒ මතකය අලුත් වුණේ අපේ රවියියා ලියන්න ගත්තු කුකුළේ ගඟ කතා වස්තුව නිසා.


ඔන්න ඉතින් එකෝමත් එක සමයක අපි යාලුවෝ කිහිප දෙනෙක් කතා වුණා ට්‍රිප් එකක් යන්න.කොච්චර කතා වුණත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ බොහෝම හෙමිහිටනේ.විශේෂයෙන්ම ඔය ට්‍රිප් වගේ එව්වා අපි ගොඩක් වෙලාවට ගියේ කටින් තමයි.ඉතින් ඒ නිසා මේ වතාවේ කටින් නොවේ ඇත්තටම කොහෝම හරි යන්න ඕනේ කියලා තීරණය කර ගත්තා හිටං.

ට්‍රිප් එක යන්න සභා සම්මත කරගත්තේ අර කුකුළේ ගඟ පැත්තේ තියෙන මාකෙළිය ඇල්ල.නාලා,කලා,බිලා එන්න තමයි අපේ න්‍යය පත්‍රය වුණේ.ගමන යන්න යාළුවෙක්ගේ NOHA වැන් එකක් සුදානම්.මේ යාළුවාට තව KDH වැන් එකකුත් තියෙනවා.ගමනේ ප්‍රධන සංවිධායකත් මිනිහාම තමයි.

ටුඩේ ඉස්පෙෂල් මඤ්ඤොක්කා සමගින් ඌරු මස්  හොඳයිනේ!බොන දේවල් අතරමගින් ගන්න කතා කර ගත්තා.දැන් හැමෝම ගමනට සුදානම්.කල්ගියොත් වැඩේ නොවෙන්න තියෙන සම්භාවිතාව වැඩි හින්දා සෙනසුරාදාම ගමන යන්න දාගත්තා.

මඤ්ඤොක්කායි,ඌරු මසුයි හදන වැඩේ භාර ගත්තේ මම.මොකද අපේ ආච්චිට කෑම හදන්න පුළුවනි ආයේ නැහැ හැලි,වලං හුරාන් කන්න පුළුවන්.දිව්‍යලෝක රසයි එයාගේ කෑම.ඔන්න දැන් සිකුරාදා දවසක ජාඇල ගිහින් ආපු යාළුවෙක් ඌරු මස් කිලෝ 4 විතර අපේ ගෙදරට ගෙනත් දාලා ගිහින් තිබ්බා පහුවදාට අරන් යන්න හදන්න.මම ඔෆිස් ඉඳන් යන ගමන් මඤ්ඤොක්කා කිලෝත් 5 විතර අරන් ගියා.

එදා රෑම ආච්චි ඌරු මස් එක ඉව්වා.ලොකු මැටි ඇතිළියක දර ලිපේ.මඤ්ඤොක්කා එක පහුවදා උදේ හදන්න තියා ගත්තා.උදේ  හයට විතර කට්ටිය අපේ ගෙදරට එනවා කියලා රෑ නමයට විතර කෝල් කරලා ගමනේ සංවිධායකතුමා මට දැන්නුවා.දැන් සියල්ල හරි සතුටු සිතින් නින්දට ගියා.

පහුවදා උදේම නැගිටිනකොටත් ආච්චි මඤ්ඤොක්කා එක තම්බලාත් ඉවරයි.මම නැගිටලා ලෑස්ති වෙලා හිටං ඇවිත් ෆෝන් එක ගත්තා තව යාළුවෙක්ට කෝල් එකක් ගන්ට.එතකොටයි දැක්කේ මගේ ෆොන් එක ඔෆ් වෙලා තිබ්බ බව.සාමාන්‍යයෙන් මම නිදාගන්න කොට ඔය ෆෝන් එක ඔෆ් කරන්නේ නැතත් එදා කොහොමින් හරි ෆෝන් එක ඔෆ් වෙලා තිබ්බා.  

දැන් ඔන්න ෆෝන් එක ඕන් කරලා මිනිත්තු කිහිපයක් යද්දී මැසේජ් කිහිපයක් අවා.කෝල් ඇලට් කිහිපයක් එක්ක තිබ්බ එක මැසේජ් එකක තිබ්බා.'මචං ට්‍රිප් එක යන්න වෙන්නේ නැහැ.මම හදිසියේම හැටන් යනවා'කියලා එකක් අපේ ට්‍රිප් එකේ ප්‍රධන සංවිධායක තුමාගෙන්.


දැන් ආච්චි කුස්සියේ ලෑස්ති කරපු කෑම අරන් යන්න භාජන වලටත් දාන්න අරගෙන.ඔය අතරතුරේ තව යාළුවෙකුත් අපේ ගෙදරට අවා ට්‍රිප් එක යන්න.

සංවිධායකතුමාගේ මැසේජ් එක දැක්ක ගමන් මම යාළුවට කෝල් එකක් ගත්තා.මම හිතුවෙම මේකා මේ අපිව බයිට් කරන්න යන්න වෙන්නේ නැහැ කියලා කිව්වේ බොරුවට කියලා හිටං.එත් මම කෝල් කරනකොටත් ඇත්තටම සංවිධායකතුමා හැටන්.

වෙලා තියෙන්නේ සංවිධායක යාළුවාගේ තාත්තා අර මම කිව්ව KDH එකේ හැටන් වලට හයර් එකක් ගිහින්.හයර් එක ගිය උන් තාත්තාට බොන්න දීලා වැන් එක අරන් ගිහින්.තාත්තා බලන කොට වැන් එක නැහැලු.හයර් එක ගිය මිනිහා ෆෝන් එක ආන්සර් කරන්නෙත් නැහැලු.ඉතින් තාත්තා කලබල වෙලා පුතාට කෝල් කරලා පුතා කලබල වෙලා හැටන් දුවලා.

තනියෙනුත් නෙමේ මේකා ගිහින් තියෙන්නේ ට්‍රිප් එක යන්න හිටිය තව යාළුවෝ දෙන්නෙකුත් එක්ක.දැන් ඉතින් ට්‍රිප් එකට අබ සරණයි.දැන් මොනවා කරන්නද ඒ පාර මම හිතුවා දැන් ඔන්නඔහේ ඔෆිස් එකටවත් යනවා කියලා අර ආපු යාළුවාට කිව්වා "ඔහොම හිටපන් මම නාගෙන එන්නම්"කියලා.එක ඇහුණු තාත්තා කිව්වා "ඉතින් මේ මඤ්ඤොක්කා ටිකයි,මස් ටිකත් ටැප් එක ළඟටඅරන් ගිහින් නාලා කාපන්" කියලා. 

හරි දැන් ඒ කතා ඉවරයි.දැන් මගේ කතාව."යහපාලන ආණ්ඩුව" බලයට අවා කියලා එකෙන් අපේ සාක්කුවට වාසියක් නොවුණු බව ඇත්ත.ඒ වගේම "යහපාලනෙත්"කියපු තරම් යහපාලනයක් නැති බවත් ඇත්ත.එත් මිනිස්සු එපා කියලා බලයෙන් පහකරපු නායකයෝ තවමත් "ජාතිය,ආගම"ඉස්සරහට දාගෙන නටන පිස්සු දැක්කාම මේ යහපාලනය අඩුපාඩු තිබුණත් අර අධම මර පාලනයට වඩා ගොඩක් හොඳයි.

Monday, March 23, 2015

හොරු සමග හෙළුවෙන් බුදියන යහපාලන ආණ්ඩුව.


යහපාලනය,ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලස්සන කතන්දර කියමින් බලයට පැමිණි නව ආණ්ඩුවේ ගමන පෙර පැවති මහින්දගේ ජරාජීර්ණ ආණ්ඩුවේ ගමන මෙන් නොවුණත් යන හැටිය ඒ තරම් හොඳ නැත.පසුගිය ජනධිපතිවරණ කාලයේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාවෙන් ඇසුණු දේවල්,දුන් පොරොන්දු බලයට පැමිණිමෙන් අනතුරුව ඒ විදියෙන්ම සිදු නොවීම කණගාටුවකි.

ආකර්ෂණිය දින 100 වැඩසටහනට අදාළ දින ගණනින් දින 70 පමණ ගෙවී ගොස් තිබෙන නමුත් මහින්ද රාජපක්‍ෂගේ නාස්තිකාරී වියදම් පාලනයේ සීමාවක් සහා ලැබුණු සහන කිහිපයක් මිස ජනතාව වෙත සෘජු 
ප්‍රතිලාභ කිසිවක් නොලැබීමද අවාසනාවකි.සැමට එක ලෙස ක්‍රියාත්මකම වෙන නීතියක් ගැන යහපාලන බලාපොරොත්තු මුලින්ම බිඳ දැමුවේ නිතිය,සාමය,පොලිසිය භාර අමත්‍යවරයම වීම ඉමහත් කණගාටුවකි. 

මේ යහපාලන ආණ්ඩුවෙන් මා පුද්ගලිකවම බලාපොරොත්තු වුවේ මේ ප්‍රෝඩාකාරී ව්‍යවස්ථාවේ ජනතාවාදී සංශෝධනයක් මිස අනිකක් නොවේ.මා පුද්ගලිකව එසේ බලාපොරොත්තු වුවත් අනෙක් බොහෝදෙනාගේ අපේක්ෂාව වී තිබුණේ හොරුන් එතනෝල්,කුඩු ජාවාරම්කරුවන් නිතිය හමුවට පමුණුවා දඬුවම් පැමිණවීමයි.

ධනබලයෙන්,මැරබලයෙන් උදම්වී රාජ්‍යබලය උපයෝගී කරගෙන වැරදිකල වුන්ට දඬුවම් කිරීම අනිවර්යෙන් සිදුකල යුතු වන අතරම එසේ දුෂිතයින්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රමුඛතාව දෙන්නා සේම දුෂිතයින්,මිනීමරුවන් බිහිකරන,ආරක්ෂාකරන ව්‍යවස්ථාවේ පැහැදිළි වෙනසක්,ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කිරීම වැනි ජනතාවාදී දේ මේ දින 100 තුල සිදුකිරීමට යහපාලන ආණ්ඩුව ප්‍රමුඛතාව දියයුතු වන අතර එසේ සිදුකිරීමට බහුතර විපක්ෂයේ සහය නොලැබේනම් සිදුකල යුතුව තිබුණේ ආණ්ඩුව විසුරුවා හැර මහාමැතිවරණයකට යාමයි.නමුත් දැන් සිදුවෙන්නේ යහපාලනේ නාමයෙන් පක්‍ෂ,විපක්‍ෂ සියලු දුෂිතයින් එකම වේදිකාවකට එකතුවී එකිනෙකා සමග සහයෝගයෙන් එකිනෙකා ආරක්ෂා කර ගැනීමට සුදානම් වීමයි. 

පහුගිය මැතිවරණයෙන් පැරදවූයේ මහින්දගේ ඒකාධිපතිපාලනය පමණක් නොවේ.ඒ ආණ්ඩුවේ බොහොමයක්දෙනා ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද බව පැහැදිලිය.එසේ තිබියදී ගහෙන් ගෙඩි එන්නා සේ "ජාතික ආණ්ඩු"යයි කියාගන්නා විකෘති ආණ්ඩු පිහිටුවීම කිසිසේත් පිළිගත හැකි නොවේ.

ජනතාවට අවශ්‍ය නීතිගරුක,යුක්තිසහගත රටක් මිස වෙනකක් නොවේ.විපක්ෂය ආණ්ඩුව සමගින් දීග යෑමෙන් සිදු වන්නේ නාමික විපක්‍ෂය හෝ නැතිව යාමයි.එය ප්‍රජාතන්තවාදී රටකට කිසිසේත් සුදුසු නොවේ.විපක්ෂයේ හඬ ජවිපෙ වුවත් ඔවුන් පාර්ලිමේන්තුව තුළ ඔවුන් සතු බලය සීමිතවීමද ගැටලුවකි.

"ජාතික ආණ්ඩු" බිහිවිය යුත්තේ "ජාතික ප්‍රතිපත්ති" පෙරදැරි කරගෙන මිස පුද්ගල පරමාර්ථ මුදුන් කර ගැනීමේ පටු චේතනාවෙන් නොවිය යුතුය.මේ "ජාතික ආණ්ඩුව" හොරු සමගින් හෙළුවෙන් එකට සිට ගැනීමකි.බල්ලන් සමග නිදියැමකි. 

Thursday, February 19, 2015

බයියෝ ගොඩක් මැද.




කළුබෝවිල ඉස්පිරිතාලේ ඉන්න යාළුවෙකුගේ අම්මා කෙනෙක් බලන්න ඊයේ හවස ගියා.යාලුවගේ අම්මාව බලලා ඉවර වෙලා කළුබෝවිලින් පිළියන්දල යන බස් එකක නැග්ගේ පිළියන්දලට යන්න.මාත් එක්ක ගැනු ළමයත් හිටියා.ඉතින් අපි සුපුරුදු විදියට බස් එකේ අන්තිම පේළියේ සිට් එකේ කොනේ ඉඳගත්තායින් පස්සේ කොහුවලදි බස් එකට තවත් අය නැග්ගා.දැන් බස් එක යන අතරේ මට එහා පැත්තේ වාඩි වෙලා හිටපු අන්කල් කෙනෙක් තමන්ගේ ශ්‍රී මුඛ්‍ය විවර කොට මැදමුලන පර්සි මහේන්ද්‍ර රජ්ජුරුවෝ ගැන ප්‍රශස්තියක් පටන් ගත්තා.  


"රට එක්සේසත් කරපු මනුස්සයා.රජෙක් එතුමාලෝකේ ඕනේ තැනක ගිහින් අපි ලංකාවේ මිනිස්සු කියලා බය නැතුව කියන්න පුළුවන් කෙරුවේ ඒ මනුස්සයා" ආදී වශයෙන්.ආ තව ලන්ඩන් වල ඉන්න පුතා කතා කරලා කිව්වලු ඒ අංකල්ට I'm Sri Lankan කියලා ආඩම්බරෙන් කියන්න පුළුවන් තත්වයක් මහේන්ද්‍ර රජ්ජුරුවෝ හදලා තියෙනවා කියලාත්:D

ඔන්න දැන් ඉතින් අංකල්ගේ කතාව යන අතරේ මට ඉස්සරහා සිට් එකේ වාඩිවෙලා හිටපු ගැනු කෙනෙකුත් මේකට මැදිහත් වෙලා මහා සහාසික විදියට කිව්වා "දැන් දෙමෙල්ලු කෙළින්න ගත්තාම රඟේ තේරේවි"කියලා.ඒ විතරක් නෙමේ මෛත්‍රිට ජන්දේ දීපු උන්ට හෙණ ගහන්න ඕනේ කියලත් කිව්වා.ආන්ටි එහෙම කිව්ව ගමන් මම ජනේලේ අයිනේ හිටිය මගේ කෙල්ලවත්  තල්ලු කරලා ජනේලෙන් එළියේ බැලුවේ මටත් හෙණයක් ඒවිද සැකයෙන්:D ඒ ආන්ටිගේ දේශප්‍රේමි,දෑහිතකාමී හෙණ යෝජනාවෙන්  පස්සේ බස් එකේ නැගිට සිටි තවත් කෙනෙක් ඒ හෙණ යෝජනවා අනුමත කරමින් කිව්වා "වෙනසක්නේ ඕනේ වුණේ,දැන් ඔය වෙලා තියෙන්නේ,හොරු හොරු කියලා අපහාස කරනවා අර මනුස්සයාට,ඕවාට සහ ගැහුවේ නැතිනම් තමා පුදුමේ කියලා.   

දැන් මෙව්වා අහලා මගේ කට නලියනවා මේ දේශහිතේසී අංකල්ලා,ආන්ටිලාගෙන් අහන්න "ඇයි යකෝ අපේ ඕනේකමටද තව අවුරුදු දෙකක්ම රට කන්න පුළුවන් කම තියාගෙන ජන්දේකට ගියේ" කියලා.එත් මගේ හිතේ තිබ්බ ඒ සිතුවිලි වචන කරන්න ඉඩ නොලැබුණේ මට එහා පැත්තේ හිටපු සුදු මගේ කනට කරලා ඒ කතාවට එකතු වෙන්න එපා කියලා දාපු ආදරණිය තහංචිය නිසා.මොකද ඇය දන්නවා මම එතන හිටපු පිරිසට එරෙහි දේශද්‍රෝහියෙක් බව.


ඉතින් ඒ මහින්දවාදී යටත්වැසියන්ට එරෙහිව කියන්න දහසක් දේ තිබ්බත් මම නිහඩව හිටියා.යම් විදියකින් කෙල්ල කිව්ව දේ අහන්නේ නැතුව මමත් මගේ වටේ ඉඳන් අපේ අන්තිම රජතුමාගේ ගුණ ගයනා කරන අයට කිසියම් දෙයක් කිව්වා නම් ඒ පිරිස එකතු වෙලා මට ගහන්නත් තිබ්බා.අපරාදේ කියන්න බැහැ ඒ තරම් ජාත්‍යලයක්!  


කොහොමින් හරි ජන්දෙන් පැරදිලා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ගෙදර ගිය මිනිහා ගැන මේ අය මේ තරම් විස්සෝප වෙන්නේ ඇත්තටම රටට තියෙන ආදරේ නිසාද?නැතිනම් තමන්ගේ පටු අරමුණු නිසාද?නැතිනම් මේ හැමදේම ජාත්‍යන්තර කුමන්ත්‍රණද?මට ඕනේ වුණේ අර මහින්දගේ අධම,මජර ඒකාධිපති පාලනයේ වෙනසක්.ඒ ඒකාධිපති පාලනය වෙනස් වෙලා තිබ්බත් අපි බලාපොරොත්තු වෙච්චි වෙනස ඒ විදියෙන්ම වෙලා නැහැ.ඒ ගැන කණගාටුවක් තිබ්බත් ඒ කණගාටුව මහින්ද රාජපක්ෂ නැවත රජ කිරීමට නම් හේතුවක් නොවේ. 


  

Monday, January 26, 2015

රට පෙරට (ද) ?

වියයුත්ත එපරිද්දෙන්ම සිදුවෙමින් මහින්ද රාජපක්ෂ පරදවමින් විපක්‍ෂ අපේක්‍ෂකයා ජය ලැබුවා.ජනධිපතිවරණයට පෙර අලුත් රටක් ගැන තිබ්බ බලාපොරොත්තු ඉටු වෙනවා දකිනකොට හිත ඇතුළේ ලොකු සතුටක් දැනෙනවා.අලුත් රජයේ යම්,යම් අඩුපාඩු පෙනෙන්නේ නැතුව නෙමේ.නමුත් අවුරුදු ගාණක් ආපස්සට ගිය රටක්,ක්‍රමයක් දවසින් දෙකින් එක පාරටම වෙනස් කරන්න අමාරුයි.නමුත් දැන් පේන්න තියෙන ඒ වැරදි,අඩුපාඩු සුළුවෙන් තකන්නේ නැතුව දැම්මම හදා ගන්න එක ආණ්ඩුවට වගේම රටටත් හොඳයි.

පරද්දන්න බැහැ,අමාරුයි කියලා හිතපු පාලනයක් පෙරළා දමන්න ජනතා බලයට හැකි වුණා.රට ත්‍රස්තවාදයෙන් මුදවා ගත්තා වුණත් මිනිසුන්ගේ සිතීමේ නිදහසට සිමා පනවලා සමාජය නිද්‍රශීලි කරලා හොරු,තක්කඩි,කට්ටඩි එක්ක රට තමන්ගේ හිතුමනාපෙට සදාකල්ම පාලනය කරන්න හිතාගෙන හිටපු පාලකයාට අකමැත්තෙන් හෝ තමන් වාඩි වෙලා හිටපු සිහසුනෙන් බැහැලා යන්න සිද්ධ වුණේ ඔහු වටා සිටි අයගේ ක්‍රියාකලාපයන් නිසා කියලා බොහෝ දෙනා පැවසුවත් ඔහුගේ පරාජයේ ඒ අය වගේම ඔහුත් කොටස්කරුවෙක්.තමන් වටා ඉන්න අය පාලනය කර ගන්න බැරි කෙනා කොහොමද රටක් හරියට පාලනය කරන්නේ?

කොහොමින් කොහොම හරි ජනාධිපතිවරණයට කලින් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් දිවිපුදන්න තරම් සුදානමින් සිටි අය මැතිවරණයෙන් පසුව මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තමන්ගේ කරගන්න උත්සහා කරන හැටි හරිම හස්‍යාජනකයි.එක අතකට ඒ ඉතින් මේ රටේ දේශපාලනයේ හැටිනේ.අවස්ථාවාදී දේශපාලකයෝ එක මොහොතින් තමන්ගේ පාට වෙනස් කරගන්නේ හරියට නිකං අහස වගේ,එක එක වේලාවට එක එක පාටයි.

ඒ කතා කොහොම වුණත් දැන් රට ඉස්සරහා ලොකු අභියෝගයක් තියෙනවා.එක තමයි මේ මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයාගේ ආණ්ඩුව මහින්ද මහත්තයාගේ ආණ්ඩුව ගිය පාරේම යන්න නොදී "යහපාලන" මාවතේම ඉදිරියට අරන් යන එක. ඒක වේදිකාවල කියන තරම් කරන්න පහසු කරුණක් නොවුණත් කරන්න බැරි අපහසු දෙයක් නෙමෙයි.

මට හිතෙන විදියට අලුත් ආණ්ඩුවේ දින සියයේ වැඩ පිළිවෙළ තුළ ප්‍රමුඛත්වය දෙන්න ඕනේ ව්‍යවස්ථා සංශෝධනයට.දුෂිතයින්ට,සොරුන්ට අනිවර්යෙන්ම නිතිය ඉදිරියට පමුණුවා දඬුවම් දිය යුතුයි.එකේ තර්කයක් නැහැ.නමුත් මේ වේලාවේ මුල්තැන දෙන්න ඕනේ ව්‍යවස්ථා සංශෝධනයටඔළු ගෙඩි මාරු වීමෙන් පමණක් රටට යහපතක් වෙන්නේ නැහැ.එකට ක්‍රමයේ වෙනසක් තියෙන්න ඕනේ.ඒ කරුණ සම්පුර්ණ කරගන්න පුළුවන් නම් මේ ජයග්‍රහණය තවත් අර්ථන්විත වනු නිසැකයි.

කලින් ජනාධිපතිගේ ආකර්ශනිය තේමවක් තිබ්බේ "රට පෙරට" කියලා.හැබැයි ඉතින් එක තේමා පාඨයටම සිමා වෙලයි තිබ්බේ.කිසියම් භෞතිකව පෙනෙන සංවර්ධනයක් තිබ්බත් රටේ සංස්කෘතිම හෝ අධ්‍යාත්මික සංවර්ධනයක් තිබ්බේම නැති ගාණයි."රට පෙරට" කොහොම වෙතත් "රට වලට" ගිය යුගයක් කියලායි මට නම් හිතෙන්නේ ඒ යුගේ ගැන. 

කොහොමින් කොහොමහරි ගිය දේවල් වලට වඩා දැන් උදා කරගන්න,දිනා ගන්න සැහෙන දේවල් තවත් බොහොමයක් තියෙනවා.අපි බලමු මේ ආණ්ඩුව යන මාවත දිහා ඉවසිල්ලෙන්.හැබැයි මේ ආණ්ඩුවත් ගියොත් මහින්ද ගිය කෑලෑ පාරේම මේ ආණ්ඩුවට විරුද්ධව ලියන්න කතා කරන්න පසුබට වෙන්නෙත් නැහැ අපි.මොකද අපිට ඕනේ ආපස්සට යන රටක් නෙමේ පෙරට යන රටක් නිසා.