Tuesday, March 8, 2016

නිදහස් චතුරස්‍රය පිහිටි භුමියේදී පෙම් යුවලකට බාධා කරන ලදැයි කියන කතාබහා සම්බන්ධයෙනි.

බුකීයෙන් ගත්තේ.

මිට අවුරුදු එකහාමරකට විතර කලින් මටත් ඔය වගේ සිදුවීමකට මුහුණ දෙන්න සිදු වුනා.ඒ පිල්ලෑව-බොරලැස්ගමුව ඇවිදීමේ පථයේදී.
එදා මම මගේ පෙම්වතිය සමගින් එහි ඇවිදමින් සිටියා.ඇය සිටියේ මගේ අතින් අල්ලාගෙන පමණයි.අපි බෙල්ලන්විල පැත්තේ සිට ඉදිරියට එසේ ඇවිදන් එන විට එක් මුර කුටියක සිටි අයෙක් අප දෙස අවධානයෙන් බලා ඉන්න බවක් පෙනුනත් අප එය නොතකා ඉදිරියට පැමිණෙමින් සිටියා.
එවිට අර ආරක්ෂක කුටියේ සිටි නිලධාරියා එහි සිටම අප වෙත කෑගසමින් කියා සිටියා

 "මේකේ පොඩි ළමයි,අම්මලා ඇවිදිනවා ඔය විදියට මේකේ ඇවිදින්න බැහැ.ලඟම තියෙන ගේට්ටුවෙන් එළියට යන්න" කියා.

ඇත්තෙන්ම ඒ මොහොතේ අපි වික්ෂිප්ත භාවයටත්,පිඩාවටත් පත් වුනා ඔහු පැවසු දේත් සමගින්.එම නිලධාරීයාගේ චෝදනාව වූයේ අපි එහි ආශිලාචාර ලෙස හැසිරුණා යන්නයි.ඒ මොහොතේ මා තුල පැමිණි ආවේගය මා පාලනය කර ගත්තේ මා අසල සිටි ඈ එම ස්ථානයෙන් පිටව යාමට හඬමින් බල කරපු නිසා.

කෙසේ නමුත් පිටව යාමට පෙර මම ඔහුගෙන් විමසා සිටියා ඔහු කොහොමද තීරණය කරන්නේ කියලා අපි හැසිරුණු විදියේ ශිලාචාර-අශිලාචාර බව ගැන කියා.ඔහු එයට පැහැදිලි උත්තරයක් දුන්නේ නැති අතර ඔහුට වැඩි යමක් කියන්න මට නොහැකි වුවේ පෙම්වතිය කදුළු පිරි දෑසින් මට එතනින් පිටව යන්නට බල කල නිසායි.

ඔහුගේ නිර්ණායක අනුව පෙම් යුවලක් අත් අල්ලා ගමන් ගැනීම අශිලාචර ක්‍රියාවක්. එසේ වන්නේ ඔහු අඩු වශයෙන් දයාරත්න රණතුංගයන් ගයනා "දුරස් වන්නට මේ ලෙසින්"ගීතය හෝ අසා නැති වන්නට පුළුවන්.එම ගීතය අසා ඇත්නම් එහි අන්තරා කොටසේ ඇති 

"අත්වැල් බැඳගෙන මං මාවත් දිග 
ඔහේ ඇවිද ගිය කාලය මතකද"  යන කොටසද අසා නැති වන්නට බැරි නැත.

අත් අල්ලා පෙම් යුවලක් ගමන් ගැනීම දඩුවම් ලබා දිය යුතු වරදක්ද?

නීති පැනවීමෙන් සදාචරය ඇති කල නොහැක. 

නිදහස් චතුරස්‍ර භූමියේ පෙම්වතුන්ගේ හැසිරීමක් සම්බන්ධයෙන් ඇති වූ නාටක අවසානයේ පෙම්වතුන්ට අවවාද  කරන ලද ආරක්ෂකයින්ගේ රැකියා අවදානමකට ලක් වීමට ඉඩ දිය යුතුද නොවේ.සිදුවිය යුත්තේ පුද්ගල නිදහසට බාධා නොවන පරිදි දෙපිරිසම කටයුතු කිරීමයි.එය එසේ නොවන තාක් මෙවැනි නාටක සාමාජය ඉදිරියේ වරින් වර දිග හැරෙනු ඇත.