Showing posts with label මායාවක් වූ යථාර්තයක්.. Show all posts
Showing posts with label මායාවක් වූ යථාර්තයක්.. Show all posts

Monday, March 17, 2014

නන්නාඳුනනා හඳුනන්නි.



ජිවිතේ කියන්නේ හරිම පුදුම දෙයක්.හරි නිර්වචනයක් දෙන්න බැරි ජිවිතේ තුළ අපිට මුහුණ දෙන්න වෙන සමහරක් දේවල් අපි බොහොම ආදරයෙන් පිළිගන්නකොට තවත් දේවල් අපිට ප්‍රතික්ෂේප කරන්න බැරි නිසාම භාර ගන්න වෙනවා අපි කැමති වුණත් අකැමති වුණත් එක එහෙමමයි.


කාලෙකට කලින් දකින්න කැමති,හමුවෙන්න කැමති,ඇසුරුකරන්න කැමතිව හිතපු අය කාලයේ වියෝවෙන් දැකීම වේදනාවක් වෙන අවස්ථා කොයි තරම් ජිවිතේ තියෙනවාද.? ඒ නිසා නේ කරුණාරත්න දිවුල්ගනේ ගයන්නේ නෙතට උළෙලක් විය එදා ඔබ කදුළු බිදුවක් විය මෙදා කියලා.ඉතින් මගේ ජිවිතේත් කාලෙකට පෙර නෙතට උළෙලක්ව සිටි අයෙක් අද කදුළු බිදුවක්ව මගේ නෙතත් පරවනවා.අමතක කරන්න හදන  අතීත මතක පොත නැවත,නැවතත් පෙරළාමින්.


ඉතින් ඒ මතකය අමතක කරන්න හදන හැමවිටම නැවත,නැවතත් මතක් වෙන්නේ කොයිම විදියකට හරි අපි දෙන්නට,දෙන්නා නිතරම වගේ මුණ ගැහෙන නිසා වෙන්න පුළුවන්.එකම ගමක එකම විදීයක ජිවත් වෙන අපි එකිනෙකා මගහැර ජිවත් වෙන්න කොයි තරම් උත්සහාකළත් එහෙම කරන්න බැරි ප්‍රයෝගික කරනා කොයි තරම් තියේද.?  

කොහොම වුණත් කාලෙකට කලින් සිහිනයෙන් පවා දකින්නට පැතු  රුවක් ජීවමානවම ඇස් ඉදිරියේ දර්ශනය වීම කොයි තරම් සුන්දර අත්දැකීමක් විය යුතුද?නමුත් අමාරුවෙන් වළලා දමන්න යන මතකයක් නැවතත් අවදි කරන්න හදන දෑසක් යළි,යළිත් හමුවීම හරියට පරණ තුවාලයක් පාරනවා වගේ වැඩක්.

ඉතින් අමරුවෙන් සුවවුණු තුවාලයක් ආයෙමත් පාරවා ගන්න මට වුවමනා නැහැ.අන්න ඒ නිසායි අහම්බයකින් වුණත් ඔයාව මගතොට මුණ ගැසුණාම මම නන්නාදුනන විදියට හුගාක් අමරුවෙන් වුණත් ඔයාව මග හැරලා යන්නේ.එහෙම නොවෙන්න අපේ හමුවීම ඔයාටත්,මටත් වේදනාව ගෙන දෙන එක නියතයි.

ඉතින් ඔයා කියලා තිබුණාත් ඔයාගේ මිතුරියන්ට මම ඔයාව දැක්කත් නොදැක්කා වගේ යන එනවා කියලා.එත් ඇත්ත එක නෙමේ.අපි කොහොමත් ආයේ,ආයෙත් හමුවේවි.එත් එහෙම හමුවෙන හැමවිටකම අපි නන්නාදුනන ලෙසටම ගමන් ගනිමු හරිම අමාරුවෙන් වුණත් ලස්සන අතීතයේ සුන්දර  අතිතසිදුවීම් සියල්ල යටපත් කරමින්.

මම පෙම් කළේ මිරිගුවකට නොවේ.නමුත් ඒ ප්‍රේමය අද මිරිගුවක් වෙලා.මිරිගුවක් කියන්නේ මායාවක් ඒ මායාවට රැවටෙන්න බැහැ.ඒ නිසා අපි මේ විදියටම ඉමු හොදින්ම දන්නා එත් නන්නාදුනනා අය විලසින්. 

දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා
යෞවනේ අප විය විරහි හද ගිලන් වෙලා

ගහ කොළ ද මල් පිපේ ඇළ දොළ නිල කඩා හැලේ
පෙරදාක මිරිඟු සයුරේ ඒ රුවට රැවටුණේ 

නන්නාඳුනන ලෙසේ මග තොට යළිත් හමුවෙලා
මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා.



ප.ළි.ය:සිංදු දෙකම යු ටියුබ් වෙතින්.පින්තුරය ගුගල් ඉමේජ්.

Friday, January 3, 2014

සිතල දුරුත්ත.


මේ වගේම සිතල දුරුත්තක අපි හමුවුණු හැටි කොහොමද අමතක කරන්නේ?කවදාවත් අමතක නොවන මුළු ලෝකෙම සමරන දවසක අපි පෙමින් බැදුන හැටි,අමතකද ඔය සිනිදු අත මගේ මේ සුරත උඩින් තියලා හිමි,හිමිට ඔය දෙතොල් පෙති මුමුණලා කිව්වා මට ඔයා ආදරේයි කියලා.ජිවිතේට වසන්තේ ආවේ එදා තමයි කියලායි මට හිතුණේ.

මතකද ඒ වසන්තේ අපේ ජිවිතවලට කොයි තරම් මිහිරක් ගෙනාවද කියලා.ඉර ඇහැරෙන්නත් කලින් අවදිවෙලා ඔයා සුබ උදැසනක් කියලා එවපු දුරකථන පණිවිඩයෙන් පටන් ගන්න දවස ඒ ඉර අවරට ගිහින් මුළු ලෝකෙම නිදිය ගන්න වේලාවේ ආයෙමත් ඔය එවන සුබ රාත්‍රියක් කියන පණිවිඩයෙන් ඉවර වෙන දවස පුරාවටම කොයි තරම් දේවල් අපේ ජිවිතවල සිද්ධ වෙන්න ඇතිද...?අමතක නැහැ නේද අපි ඒවාට මුහුණ දීපු හැටි.

මතකයි නේද අත්වැල් පටලාගෙන අපි ගමන් කරපු හැටි මහරගම නගරය පුරාවටම,සමහරක් දවස්වල ඒ විදියට අරමුණක් නැතුව ඇවිදලා,ඇවිදලා හති වැටෙනකොට,බොරලැස්ගමුව වැව ගාවට ඇවිත් ගල්බංකුවක් උඩ වාඩිවෙලා වැවේ හංස බෝට්ටු පදින අය දිහා බලගෙන හිටි හැටි සමහරක් දවස්වල එහෙම බෝට්ටුවක අපිත් නැගලා පැදපු හැටි අමතකද කරන්නේ කොහොමද.?

ඇයි සමහරක් වැසි දවස්වල එකට තුරුල් වේවි එක කුඩයක් යටින් ඇවිදන් ගිය හැටි,තවත් දවසක ගිනිගෙන දැවෙන හිරුගෙන් බේරෙන්න ඒ කුඩේ යටම අපි ගුලි වුණ හැටි හරියට නිකන් අද ඊයේ වගේයි නේද ඒ මතකය.

වෙරළේ මාළිගා හැදුවොත් රැල්ල ගහනකොට ඒවා කැඩෙනවා.අහසේ මාළිගා හැදුවත් ඒවා වළාකුළු එක්කම නැතිවෙනවා.ඒ බව දැන,දැනම අපි වෙරළේ මාළිගා හැදුවා,අහසේ මන්දිර තැනුවා.අනාගතය ගැන හින මැව්වා.ඒ දැකපු හින,ඒවා යථාර්ථයක් කර ගන්න අපි දරපු වෙහෙස,උත්සාහයන් කොයි තරම්ද?මගේ හෙවනැල්ල කියලා සමහරු ඔයාව දකිනකොට,එහෙම දැකපු අයට මම කිවේ ඔයා මගේ හෙවනැල්ල නෙමේ මගේ හුස්ම කියලායි.

එත් ඒ වසන්තේ හැමදාටමත් පවතින වසන්තයක් නොවුනේ ඇයි කියන ප්‍රශ්නයට තාමත් මම උත්තර හොයනවා.ජිවිතේ ලගින්ම වුන්න සමහරක් අය අපෙන් ඇත්වෙනකොට අපි කොයි තරම් ලං වුණාද?එත් දවසක මේ වගේ දුරස් වෙන්න වේවි කියලා හිතුණානම් සත්තයි ලං වෙන්නේ නැහැ ඒ තරම් කවදාවත්.

සිතල දුරුත්තක හමුවුණු අපි ඊටත් වඩා සිතල දුරුත්තකදීම සමුගත්තා.ඒ තීරණය හරි වුණත්,වැරදුණත් ඒක යළිත් හරවන්න අපි දෙන්නාටම නොහැකි වුණත්,තාමත් සිතල දුරුත්ත එනකොට ඔයා ගැන මතකය අවදි වෙනවා වෙනදාටත් වඩා වැඩියෙන්.ඉතින් මේ සිතල දුරුත්තේ මට නිතරම මතක් වෙන ප්‍රශ්නයක් තියෙනවා.කවදාවත් උත්තරයක් නොලැබෙන.


දුරස් වන්නට මේ ලෙසින් 
ඇයිද අප හමුවුණේ
දුරස් වන්නට මේ ලෙසින් 
මොටද අප ඉපදුණේ 

අත්වැල් බැද මංමාවත් දිග 
ඔහේ ඇවිද ගිය කාලය මතකද 
පුංචි ළදැරියක් වගේ හුරතලෙන් 
ඔබ හිනැහුණු ඒ කාලය මතකද  

අනාගතය ගැන අහස් මාළිගා 
අප දෙදෙනා මැව් කාලය මතකද 
ඔබේ පෙම්වතා ලෙසින් එදා මා 

ඔබේ ලගින් වුන් කාලය මතකද.

ප.ළි.ය: මේ ලොකු ඇස් ගැන නොවේ.අමතක කරන්න අමාරු තවත් ඇස් දෙකක් ගැනයි මේ.
මේ පිංතුර ගුගල්ගෙන්.සිංදුව යු ටියුබ්.