Monday, January 18, 2016

පොතක් සහා කතාවක්.

පි කිව්වේ "මාමා" කියලා.
සමහරු "අප්පච්චි" කිව්වා.ජනවාරි අට වැනිදායින් පස්සේ "අප්පච්චි මලා"කියලාත් සමහරු කිව්වා.

ඒ අප්පච්චිගේ පුතාව අප්පච්චිගෙන් පස්සේ රජ කරවන්න සමහරු බලන් හිටියා.

හැබැයි වැඩේ වැරදුණා!

ඒගොල්ලෝ කිව්වේ "ශ්‍රේෂ්ඨ රජ්‍ය නායක සහෝදර"කියලා. 
ශ්‍රේෂ්ඨ රජ්‍ය නායක සහෝදර පුතාට කිව්වේ "ආදරණිය නායක" කියලා හිටං.

දැන් ඒ රට කරන්නේ අර කියපු "ශ්‍රේෂ්ඨ රජ්‍ය නායක සහෝදරයාගේ" මුනුබුරා.තාත්තාගෙන් පුතාට සිහසුන යන ජනතාව පාලකයින්ගේ යටත් වැසියෝ වෙලා ඉන්න රාජාණ්ඩු ක්‍රමයෙන් අපි ගැලවුණත් තාමත් ඒ රටේ මිනිස්සුන්ට එහෙම වාසනාවක් නැහැ. 


මේ උතුරු කොරියාවේ අදටත් තියෙන තත්වය.
උපුටා ගත්තේ අන්තර්ජාලයෙන්.

ඒ අතින් බලන කල අපි වාසනාවන්තයි.පහුගිය ජනවාරි අට වෙනිදා මහින්ද මාමාගේ ඒකාධිපති පවුල් පාලනය නතර නොවන්න අපිටත් උතුරු කොරියාවේ වගේ ආඥදායකත්වයක රස බලන්නත් ඉඩ ලැබෙන්න තිබුණා සමහරවිට.

ව්‍යජ දේශප්‍රේමයකින් රටේ සාගින්න දිළිදු සාමාන්‍ය ජනතාවට දරා ගන්න බල කරන අතරවාරයේ පක්‍ෂ නායකයන්ට,රජයේ ඉහළ නිලධාරින්ට විතරක් නෙමේ ශ්‍රේෂ්ඨ රජ්‍ය නායක සහෝදරයා වෙච්චි "කිම් ඉල් සුං" ගෙත්  ආදරණිය නායක "කිම් ජොං ඉල්" ගෙත් ගුණ ගයනා කරලා ප්‍රශස්ති කියපු වන්දි භට්ටයින්ටත් ලොකුම හැන්දෙන් බෙදපු කිම් ඉල් සුංගේ උතුරු කොරියාව සමහර වේලාවට මහින්ද මාමා තමන්ගේ වටේ හිටපු වන්දි භට්ටයින්ටත් සලකපු හැටි මතක් කරනවා.

හාල් ඇටයක් හොයා ගන්න නැති කමින් රටේ සාමාන්‍ය ජනතාව ගස් වල පොතු කනකොට.පක්‍ෂ නායකයෝ එකතු වෙලා ඒ මිනිස්සුන්ට ලැබුණු සහනාධර වලින් සාද දැම්මා.

මානව හිමිකම් නැතුව,සියලු මාධ්‍ය පාලකයින් මෙහෙයවන සහා පාලකයින්ගේ ගුණ ගයන හොරණෑ විතරක්ම වුණාම පාලකයෝ කියන බොරු දේවත්වයේ ලා සලකන්න රට වැසියන්ට සිදුවුණා.ඇමරිකාව අධිරාජ්‍යවාදී බල්ලෝ වෙනකොට අසල්වැසි දකුණු කොරියාව රූකඩ රාජ්‍යක් කියලා දේශප්‍රේමි නායකයෝ කියනකොට පාසල් පොත් වල එව්වා ඒ විදියටම සටහන් වුණා.

පාසැල් ගුරුවරු පවා "කිම් ඉල් සුං" ගේ විස්මිත බුද්ධිය ගැන පුදුම වුණා."කිම් ඉල් සුං" ගේ බුද්ධිය ගැන කතාවක් මේ.


"කුරුල්ලෝ දහයක් අත්තක් උඩ වහලා ඉන්නවා.දඩයක්කාරයෙක් එක කුරුල්ලෙක්ව මරනවා.දැන් කියක් අත්ත උඩ ඉන්නවාද ?" පංතියේ හැමෝම නමයක් කිව්වාම අනාගත ශ්‍රේෂ්ඨ නායක "කිම් ඉල් සුං" දීපු උත්තරේ "එකෙක්වත් නැහැ.වෙඩි සද්දෙට අනෙක් උන් පියබා යන නිසා" කොහොමද බුද්ධි ප්‍රභවය.!

ලෝකයට ජුගුප්සාජනක උතුරු කොරියාව වගේ රටක් වෙන්න ඉඩ නොදී,දේශපාලකයින්ට රට වනසන්න නොදෙන එක පුරවැසියන්ගේ යුතුකමක්.

ජාති,පාට,පක්‍ෂ වලට බෙදිලා ඒ දේ කරන්න බැහැ.

රජ වෙන්න හදපු එක්කෙනක්ව ජනතාව ගෙදර යැව්වේ තව කෙනෙක්ව රජ කරවන්න නොවන බව මෛත්‍රීත් ඒ වටේ ඉන්න වන්දිභට්ටන් දැනගත යුතුයි.එසේ නොවේ නම් මෛත්‍රීටත් මහින්දට සිදුවූ දේම වෙන්න වැඩි කාලයක් නොයනු ඇති.

උතුරු කොරියාව ගැන ඉහතින් දක්වපු උපුටන සියල්ල ලබා ගත්තේ HYOK KANG විසින් රචිත "This is Paradise, My North Korean Childhood" යන කෘතියේ සිංහල පරිවර්තනයෙන්.
 පරිවර්තක නිමල් සෝමරත්න.විදර්ශන පොතක්.

ප.ළි:ලෝකයේ අනෙක් රටවල් වලට වඩා සංවෘත රටක් වෙන උතුරු කොරියවේ තත්වය අද එදාට වඩා වෙනස් වෙන්න පුළුවන්.ඇතැම් අයට අනුව මේ කෘතිය  උතුරු කොරියාවට මඩ ගැසීමට අතිශයෝක්තියෙන් රචනා කරන ලද ප්‍රබන්ධයක්.කෙසේ වෙතත් මේ කෘතියේ ඇති සියල්ල ඇත්ත ලෙස පිළිගැනීමට හෝ බොරු ලෙස ප්‍රතික්ෂේප කිරීමට මට හැකියවක් නැත.




Thursday, December 10, 2015

හින පිළිබදව නක්ෂත්‍රකරුවෝ.

මේ පොඩ්ඩක් විතර පිළුණු කතාවක්.

මේ කතාව කියන්න තිබ්බේ අර සෝමවංශ සහෝදරයා ගිහින් විරවංශ මහත්තයාව බදා ගත්තු දවස්වල.මතකයිනේ ඒ වෙලාවේ සෝමවංශ කරපු කතාව!

"පොදු සතුරා විසින් අපිව එකතු කරලා තියෙනවා"කියලා කිව්වේ.

මේ කියන්න යන්නේ ඒ කතා ගැන නෙමේ.මේ කියන්න හදන්නේ ඒ දෙන්නගේ එකතු දීගේ ගැන මම හීනෙන් දැක්ක එක.

මම හීනෙන් දැක්කේ සෝමවංශ විමල් එක්ක එකම වේදිකාවේ මහින්ද වෙනුවෙන් කතා කරනවා.

ඒ වෙනකොට සෝමවංශ ජවිපෙන් ඉවත් වෙලා හිටියත් විමල් එක්ක එකතු වෙලා හිටියේ නැහැ.නිකම් දැකපු හීනයක් නමුත් ඒ හීනේ අන්තිමට සැබෑ උනා.

හීනේ සැබෑ වෙලා දෙන්නා දීග ගියාට ඒ දෙන්නගේ දීගේ තව කොච්චර කාලයක් තියේද කියලා නම් මට සැකයි.මොකෝ සෝමවංශ මහත්තයා ජවිපෙන් දික්කසාද උනාට තව තව කසාද කරන්න හොයන නිසා.  

මේ හීනේ මම දැක්කේ ජුනි පළමුවැනිදා පාන්දර.මට හීනේ දැක්ක දවස මතක මම එදාම උදේ බුකීයේ "සංදේශය"පිටුවේ මේ හීනේ ගැන සටහනක් දාපු නිසයි.


මේ තියෙන්නේ ඒ සටහන.
මම ගොඩක් වෙලාවට නිදා ගන්න කොට රෑ දොළහට ඉතා ආසන්න වෙනවා.ආයෙමත් උදේ පහට නැගිටලා කිරිතේ එක බීලා නිදා ගන්නවා.ඊට පස්සේ නැගිටින්නේ උදේ හතට විතර.මට ගොඩක් වෙලාවට ඉතින් හීන පේන්නේ ඔය තේ එක බීලා ආපහු නිදාගෙන ඉන්න වේලාවටයි.


මේ ඔය වගේ දැක්ක තව හීනයක්.

එදා දැක්කේ අපේ හිතවත්ම මිත්‍රයෙක් මරණයට පත් වෙලා ඉන්නවා.දැන් ඉතින් ඒ යාලුවාගේ මරණ ගෙදර මම ඇතුළු අපේ තව යාළුවෝ සෙට් එකක් ගිහින් හිටියා.වැඩේ කියන්නේ මම හීනෙන් මැරිලා ඉන්නවා දැක්ක යාළුවාත් අපිත් එක්කම ඌගේ මරණ  ගෙදර නයිට් එක ගහනවා.

කොහොමින් හරි හීනේ දැක්ක දවසේ හවස කෝල් එකක් එනවා 

"මචං xxගේ මාමණ්ඩි අන්ත්‍රා වෙලා" කියලා.

මම හීනෙන් මැරිලා ඉන්නවා දැක්ක එකාගේ මාමණ්ඩියි මැරිලා තියෙන්නේ.

ඒ දැන් ඉතින් බලන් ගියාම මටත් "රාජකීය දෛවඥ"වගේ තනතුරකට ඉල්ලන්න සුදුසුකම් තියෙනවා වගේනේ.

කනාවට හෝ හරි යන්න අපෙනුත් හීන පලාපල අහන්ට.

ප.ලි :කාලයක් තිස්සේ දැක්ක තවත් "හීනයක්" අර්ධ වශයෙන් තව දින කිහිපයකින් සැබෑ වෙන්න යනවා.ඒ හීනේ අනිත් අර්ධය සැබෑ වෙන්ට තවත් මාස කිහිපයක් තියෙනවා.

Saturday, October 31, 2015

දුකට කියන කවී.


Add caption


මහින්දගේ කටු කෑ හොරිකඩ  හැත්ත 
යහපාලනෙත් කුණු අඳිනවා    දැක්ක 
උස්සා බැටන් පොල්ල අසරණයන් තලන 
දීපං රළහාමි යුනිපෝම් එක බල්ලෙකුට 

Thursday, October 22, 2015

ඇඩ්‍රස් නැහැ


හෙන්රි අයියාගේ නොකීකතා බ්ලොග් එක ගැන දන්නවානේ.එකේ යන්නේ නොකී කතානේ,මටත් හිතුනා නොකී කතාවක් කියන්න.

හැබැයි මේක මේ නොකී කතාවක් කිව්වත් දන්නා කිහිපදෙනෙකුත් ඉන්නවා.හැබැයි ඒ දන්නා අය ඒ කතාව දන්නේ මම කියලා නෙමේ වෙනත් ආරංචි මාර්ග වලින් තමයි දන්න අය මේ කතාව ගැන දන්නේ.ඉතින් මම නොකිව්ව නිසා මේක නොකී කතාවක් තමයි හිටං.

මේ කතාවේ මම හැර තවත් අයෙක් ඉන්නවා.මිනිහා බ්ලොග් නොකියෙව්වාත් එයාගේ අනන්‍යතාව රකින්නත් එක්ක මම පොරට "දිගා"කියන අන්වර්ථ නාමය දෙන්නම්.මේ "දිගා" මගේ අතිජාත මිත්‍රයෙක්.එදාත්,අදත්,හැමදාටමත්.

මේ "දිගා"ඒ පවුලේ එකම දරුවා.

ඒ මීට හරියටම අවුරුදු පහකට විතර කලින් සිකුරාදා දවසක්.ඔෆිස් ගිහින් ගෙදර ඇවිත් හිටපු මට "දිගාගෙන්" කෝල් එකක් ආවේ මම බලපොරොත්තුවෙන් සිටිය විදියටමයි.

"මචං උඹලෑ ගේ ඉස්සරහා ඉන්නේ.වරෙන් පාරට" ඇමතුමට අනුව මමත් පාරට අවා.

දිගා ඇවිත් තිබ්බ කාර් එකේ ඉදිරිපස අනෙක් අසුනේ හිටියේ දිගාගේ පෙම්වතිය.හෙට දිනයේ ඇය ඔහුගේ නිත්‍යනුකුල බිරිඳ වීමට නියමිතයි.හැබැයි ඒ මුළු ලොවට හොරෙන්.දිගා කලින්ම ගිහින් විවහා ලේකම්වරයකු හමුවී සියල්ල සුදානම් කොට ගෙන තිබුණා.මට තිබුනේ පසුවදා එම විවාහයේ සාක්‍ෂිකරුවකු වීම පමණයි.

මම කාර් එකේ පිටුපසින් නැග්ගට පස්සේ මා මිතුරු දිගා හෙට දිනයේ සැලසුම විස්තර කලා.

ඒ අනුව පසුදා උදයේ නමය වනවිට සුදානමින් සිටි මාවත් රැගෙන මා මිත්‍රයා සහා ඔහුගේ පෙම්වතිය අනෙක් සාක්‍ෂිකරුද වාහනයට නංගාගෙන විවහා ලේකම් වෙතට ගියා.

අපි සාක්ෂියට අත්සන් කෙරුවා.විහාහය සිදු වුනා සියල්ලෝම සතුටින් විසිර ගියා.

හොඳම හරිය සිදුවුනේ ඊට දෙදවසකට පසුවයි.
පුරුද්දක් විදියට මම දිගාලාගේ ගෙවල් පැත්තේ නිතර යනවා.ඉතින් මේ වෙද්දී දිගා තම අලුත ගෙනා බිරිඳ සමගින් තමන්ගේ ගෙදර පදිංචිවී සිටියා.අලුත ගෙනා මනමාලිට විරුද්ධත්වයක් දිගාලාගේ ගෙදරින් ආවෙත් නැහැ.සියල්ල හොඳින් සිදු වෙන නිසා එදා හවස මම දිගාගේ ගෙදර යන්න ගියා.ඒ ගියෙත් දිගා මට කෝල් කරලා මෙහෙම කිව්වා නිසා.

"මචං අද හවසවත් උඹ අපේ ගෙවල් පැත්තේ වරෙන්.අපේ අම්මා දන්නේ නැහැ කවුද මේකට අත්සන් කෙරුවේ කියලා හිටං.උඹ නාවොත් උඹ ගැන සැක හිතයි.ඒ නිසා උඹ වරෙන්.හැබැයි අපේ අම්මා උඹේ කටට උත්තරේ දීලා අහයි උඹ නේද අත්සන් කෙරුවේ කියා උඹ නැහැ කියා කියපන්.දන්නෙවත් නැහැ කියලා කියපන් "

ඔන්න දැන් දිගාගේ උපදෙස් අනුව මම දිගාලාගේ ගෙදරට ගියා.මම යනකොට දිගා හදිසි වැඩකට එලියට ගිහින් හිටියේ.පෙරමගට ආපු දිගාගේ අම්මාත් මාත් අතරේ මෙහෙම දෙබසක් ඇති වුනා.

"පුතා දන්නවාද අපේ දිගා කරපු හපන්කමක්"

"මොකක්ද ආන්ටි"

"දිගා කසාද බැන්දානේ"

"නැහැ බොරු"

"බොරු නෙමේ ඇත්ත"එන්නකෝ ගෙට.

මමත් ගෙට ගියා.ඒ වෙනකොට ඒ ගෙදර ඒ පවුලේ හිතවතෙක් වෙච්චි මමත් දන්නා කියන කෙනෙක් ඇවිත් හිටියා.දිගාගේ තාත්තාත් හිටියා.ඒ අතරේ දිගාගේ බිරිඳ මට කාමරයක් ඇතුලේ සිට හස්ත සඥාවෙන් යමක් කිව්වාත් මට එය එක් වරම වැටහුනේ නැහැ.එත් එකක්ම දිගා කෝල් කරලා කලබලයෙන් කිව්වා

 "අපේ අම්මාට කියපන් අත්සන් කෙරුවේ උඹ කියලා" 
දැන් එක පාරක් මම නෙමෙයි කිව්වා මම ආයෙමත් කොහොමද මම තමයි කියලා කියන්නේ මම සද්ද නැතුව හා කියලා නිකන් හිටියා.

"දිගා නැහැනේ ආන්ටි මම පස්සේ එන්නම්"
"පොඩ්ඩක් ඉන්නකෝ පුතා,පුතා දන්නවාද මේ අත්සනයි,නමයි කාගේද කියලා හිටං"

දිගාගේ අම්මා එහෙම ඇහුවේ මගෙන් අර මහානුභාව සම්පන්න කසාද සහතිකේ මට පෙන්වන ගමන්. 

අන්න එතකොටයි මට ඇඩ්‍රස් නැති වුනේ.

ප.ලි : ඒ දෙමාපියෝ මා එක්ක තරහා වුනේ නැහැ.දිගාගේ භර්යාවත් බොහොම හොඳ ගුණ යහපත් කාන්තාවක්.දැන් දරුවකුත් සිටිනවා.


ප.ප.ලි : අපි කර දුන් විවහායක් වැරදි නැත.



Monday, August 3, 2015

මගේ මනාපය.



කලකට පස්සේ වෙලකට බැස්සේ කියලා "මී හරකෙක්" කිව්වායි කියන්නේ.ඉස්සර ගොවිතැන් කරන කොට නැතුවම බැරි වෙච්චි මී හරක් වුණත්  දැන් හිතනවා ඇති තාක්‍ෂණය කුබුරටත් බැහැලා තියෙන කොට නිරපරාදේ මඩ නා ගන්නේ මොකටද කියලා හිටං.

මී හරක්,මඩ වගේ වචනත් එක්ක එකටම ගලපා ගන්න පුළුවන් වචනයක් තමයි අපේ ජන්දත්.

දේශපාලකයෝ මී හරක්ය කියලා හිතං ඉන්න ජන්ද දායකයොත්,
ජන්දදායකයෝ මී හරක් කියලා හිතං ඉන්න දේශපලකයොත් ඉන්න රටේ මී හරක්ටත් වඩා වැඩියෙන් මඩ නාන/ගහන කාලයක්නේ ජන්ද කාලේ කියන්නේ.

පහුගිය ජනවාරි අටවෙනිදා මහින්දගේ ඒකාධිපති පාලනය අවසන් වෙච්චි දවසෙම වගේ තමයි මම හිතුවේ ඊගාව මහා ජන්දේදී "ජවිපෙට" ආයෙමත් දෙනවා කියලා හිටං.

එදා ජවිපෙට මහා ජන්දේදී කතිරේ ගහන්න ගත්ත තීරණය අද වෙද්දී තහවුරු කරගන්න රනිල්ගේ දින සියේ ආණ්ඩුවේ ක්‍රියා කලාපය බෙහෙවින්ම උපකාරී වුණා.රට ආපහු ජාතිවාදී,වර්ගවාදී බලලෝභයෙන් උමතු වෙච්චි ඒකාධිපතියෙක්ට යටත් කරන්න බැරි නිසා සන්ධානයට දෙන්නේ නැහැ.ඒ නිසා ජනවාරි අටවෙනිදා එපා වෙච්චි මහින්දව ආයෙමත් කොහොමත්ම එපාම තමයි.හිත හදාගෙන රනිල්ට දෙන්නත් බැරි මහා බැංකුවේ "බැඳුම්කර ගනුදෙනුව"ගැන රනිල්ගේ ඇල්මැරුණු ක්‍රියා කලාපය හා ප්‍රකාශ නිසයි.අජිත් නිවාඩ් මහා බැංකුවේ අධිපති ඉන්න කාලේ මිට වඩා දේවල් වුණා කියලා මේ ප්‍රශ්නය මග හරින එක සාධාරණ නැහැ.පහුගිය ආණ්ඩුවල වැරදි අලුත් ආණ්ඩුවේනුත් වෙනවානම් ජන්ද තියන එකෙනුත් තේරුමක් නැහැනේ. 

 කොහොම වෙතත් මේ මහා ජන්දෙන් කාටවත් 113 සරල බහුතරය ලබා ගන්න බැරි වෙන බව පැහැදිලියි.මොකාට වුණත් බලය අනිසි විදියට වැඩියෙන් ලැබුනාම පිස්සු කෙළින්න හදන නිසා එක එහෙම වෙන එකත් එක අතකට හොඳයි.කවුරු ආණ්ඩු කෙරුවත් ශක්තිමත් විපක්‍ෂයක් තියෙන්න ඕනේ රට අයාලේ නොයන්න නම්.පහුගිය කාලේ විපක්‍ෂයේ කාර්ය ජවිපෙන් ඉටුවූ ආකාරය ගැන සැහිමකට පත් විය හැකියි.ඒ නිසා කලිනුත් වතාවක වගේ මේ ගමනත් ජවිපෙට ජන්දේ දෙන්න ගත්තු තීරණය හරි කියලා මම හිතනවා.මේ ගමන මගේ මනාප තුන දෙන්නේ අනුර කුමාරට.ලාල් කාන්තට,සුනිල් වටගලට.

යම් විදියකින් ජවිපෙට නොදී එක්සත් ජාතික පෙරමුණට දෙනවා නම් මනාප දෙන්නේ හර්ෂට,එරාන්ට හා මනෝ ගනේෂන්ට.මනෝට දෙන්නේ මනෝ වාසියට නොවිකෙන පුද්ගලයෙක් කියලා හිතෙන නිසයි.පහුගිය ජන්දේදී කොළඹ මන්ත්‍රී කෙනෙක් විදියට පත්වෙච්චි ප්‍රභා ගනේෂන් මහින්දගේ දැත් ශක්තිමත් කරන්න මහින්ද ගාවට ගියාම තමන්ගේ සහෝදරයා වුණත් කරපු වැඩේ වැරදියි කියන්නත් ඔහුට විරුද්ධව විනය මාර්ග ගන්නත් මනෝ පැකිලුනේ නැහැ.තමන්ගේ මතය වෙනුවෙන් පැහැදලි ලෙස පෙනි ඉන්න ඔහු වගේ අයෙක්ට මනාපයක් දීමේ වරදක් මා දකින්නේ නැහැ.

පහුගිය මහා ජන්දේදී මම දුන්නේ යුඑන්පි එකට.පරදින බව දැන,දැන යුඑන්පි එකට දුන්නේමහින්දට එරෙහිව යුඑන්පි එකෙන් වැඩක් වේවි කියලා හිතලා.හිතපු තරම් වැඩක් වූණේ නැහැ හැබැයි එකෙන්.ඒ වතාවේ මනාප දුන්නේ රනිල්ට,රවීට හා මොහාන් ලාල් ග්‍රේරෝට.රත්මලානේ මිනිස්සුන්ට කොකා පෙන්නලා අන්තිමේදී  මොහාන් ලාල් මහින්දට සෙට් වුණා.දැන් "නැණස පැදු මිනිසා"කියලා අපේ ඔෆිස් එක එහා පැත්තේ ඔෆිස් එකක් දාගෙන ඉන්නවා.මට රවීව එපා වූණේ රවීගේ ප්‍රචාරක ව්‍යපාරය නිසාමයි.ජනතාවට සහන දුන්නේ ගෙදරින් ගෙනත් වගේ තමයි රවී පෝස්ටර්.කටවුට් ගහන්නේ.

කොහොම වුණත් ගිය ගමන වගේ විකෘති පාර්ලිමේන්තුවක් නොවී යහපත් ජනතා නියෝජනයක් සහිත ජනතාවට වගකියන පාර්ලිමේන්තුවක් මෙවර පත් වුණොත් එක තමයි වැදගත් වෙන්නේ.යහපාලනය කාගෙන්වත් සියට සීයක් බලාපොරොත්තු වෙන්න බැහැ.සාපේක්ෂ වශයෙන් හොඳ පාර්ලිමේන්තුවක් තමයි මෙවර බලාපොරොත්තුව.


මේ ගමන කප් එක කොහොමත් උස්සන්නේ යුඑන්පි එක.එක විශ්වාසයි.නමුත් තනියෙන් ආණ්ඩුව පිහිටුවන්න බැරි වෙනවා.එතකොට ඔය සන්ධානේ අප්පච්චි එක්ක නැගිටලා ඉන්න වුන් එහෙම ලැජ්ජාව (එහෙම එකක් තියේනවා නම්) පැත්තකින් තියලා එහෙම ඇවිත් රනිල්ගේ දෑත ශක්තිමත් කරන හැටි බලන්න පුළුවන්.

අන්න ඒ නිසා ඉහත කරුණු කරනාත් සලකා බලා මමත් මගේ හෘදසාක්ෂියට ඉඩ දෙන්න තීරණය කලා.ජනතාවාදී පාර්ලිමේන්තුවක්,සුබවාදී හෙටක් මෙවරවත් සිහිනයක් නොවේවා.

  

Friday, May 8, 2015

අපේ තාත්තායි,යහපාලනයයි.



මේ දවස්වල ජනප්‍රියම මෘතුකාවක්නේ "යහපාලනය"කියන්නේ හිටං.මේ අපේ තාත්තාගේ යහපාලන කතාවක්.අපේ තාත්තා ගැන කලිනුත් මම ලියලා තියෙනවානේ.

අපේ ගෙදර ජන්ද හතරයි.ගිය ජනධිපතිවරණයෙදී  හතර බෙදුණේ යහපාලනේට තුනක් යමපාලනේට එකක් විදියට.තාත්තා තමයි යමපාලනෙට ජන්දේ දුන්නේ.මහින්දට නොදී මෛත්‍රිට ජන්දේ දෙන්න කොයි තරම් කරුණු කාරණා අපි තාත්තාට පෙන්වලා දුන්නත් තාත්තා ජන්දේ දුන්නේ මහින්දටමයි.

මේ අවුරුද්දේ මුලදීම ඒ කියන්නේ ඔය ජන්ද දවස්වලදීම වගේ අපේ මල්ලි එයාගේ රස්සාවෙන් අයින් වුණා.වැඩකරන තැන පඩි මදි කියලා තමයි මිනිහා ඒ රස්සාවෙන් අයින් වුණේ.මිනිහාගේ ලොක්කා මල්ලිට ආයෙත් රස්සාවට එන්න පඩි වැඩිකරලා දෙන්නම් කිව්වත් මිනිහා ඒ රස්සාවට යන්න ආයෙත් කැමති වුණේ නැහැ. 

ඔය අතරවාරයේ මාසේ අන්තිම ආවා.සාමන්‍යවිදියට මම වැඩ කරන ආයතනයේ වාර්ෂික වැටුප් වැඩිවීම සිද්ධ වෙන්නේ ජනවාරියේ,හැබැයි මේ ජනවාරියේ එක ඒ විදියට සිද්ධ වුණේ නැහැ.එකට හේතු වුණේ යහපාලන ආණ්ඩුව අපේ ක්‍රොන්ත්‍රත් කිහිපයක් නතර කරලා තිබීමත් කරපු වැඩ වල සල්ලි නොලැබී යාමත් නිසා.හරියට නිකම් කලාහිතට වුණා වගේ වැඩක් තමයි අපිටත් වුණේ හිටං.

ඉතින් දැන් ඔය අපේ පඩි ජනවාරියේ වැඩි නොවිච්චි සිද්දිය මම ගෙදර ඇවිත් තාත්තා එක්ක කිව්වම තාත්තා කියාපි

"ඕකද උඹලාගේ යහපාලනේ,මල්ලිට රස්සාව නැහැ,උඹලාට පඩි වැඩි වෙලා නැහැ.දැන් තේරෙනවාද රඟේ" කියලා.

`````````````````````````````````````````````````````````````````````````````````

මේ තවත් කතාවක් මේ කතාව මතක් වුණේ අපේ හැලපයියාගේ ඌරු කතා නිසා.ඒ මතකය අලුත් වුණේ අපේ රවියියා ලියන්න ගත්තු කුකුළේ ගඟ කතා වස්තුව නිසා.


ඔන්න ඉතින් එකෝමත් එක සමයක අපි යාලුවෝ කිහිප දෙනෙක් කතා වුණා ට්‍රිප් එකක් යන්න.කොච්චර කතා වුණත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ බොහෝම හෙමිහිටනේ.විශේෂයෙන්ම ඔය ට්‍රිප් වගේ එව්වා අපි ගොඩක් වෙලාවට ගියේ කටින් තමයි.ඉතින් ඒ නිසා මේ වතාවේ කටින් නොවේ ඇත්තටම කොහෝම හරි යන්න ඕනේ කියලා තීරණය කර ගත්තා හිටං.

ට්‍රිප් එක යන්න සභා සම්මත කරගත්තේ අර කුකුළේ ගඟ පැත්තේ තියෙන මාකෙළිය ඇල්ල.නාලා,කලා,බිලා එන්න තමයි අපේ න්‍යය පත්‍රය වුණේ.ගමන යන්න යාළුවෙක්ගේ NOHA වැන් එකක් සුදානම්.මේ යාළුවාට තව KDH වැන් එකකුත් තියෙනවා.ගමනේ ප්‍රධන සංවිධායකත් මිනිහාම තමයි.

ටුඩේ ඉස්පෙෂල් මඤ්ඤොක්කා සමගින් ඌරු මස්  හොඳයිනේ!බොන දේවල් අතරමගින් ගන්න කතා කර ගත්තා.දැන් හැමෝම ගමනට සුදානම්.කල්ගියොත් වැඩේ නොවෙන්න තියෙන සම්භාවිතාව වැඩි හින්දා සෙනසුරාදාම ගමන යන්න දාගත්තා.

මඤ්ඤොක්කායි,ඌරු මසුයි හදන වැඩේ භාර ගත්තේ මම.මොකද අපේ ආච්චිට කෑම හදන්න පුළුවනි ආයේ නැහැ හැලි,වලං හුරාන් කන්න පුළුවන්.දිව්‍යලෝක රසයි එයාගේ කෑම.ඔන්න දැන් සිකුරාදා දවසක ජාඇල ගිහින් ආපු යාළුවෙක් ඌරු මස් කිලෝ 4 විතර අපේ ගෙදරට ගෙනත් දාලා ගිහින් තිබ්බා පහුවදාට අරන් යන්න හදන්න.මම ඔෆිස් ඉඳන් යන ගමන් මඤ්ඤොක්කා කිලෝත් 5 විතර අරන් ගියා.

එදා රෑම ආච්චි ඌරු මස් එක ඉව්වා.ලොකු මැටි ඇතිළියක දර ලිපේ.මඤ්ඤොක්කා එක පහුවදා උදේ හදන්න තියා ගත්තා.උදේ  හයට විතර කට්ටිය අපේ ගෙදරට එනවා කියලා රෑ නමයට විතර කෝල් කරලා ගමනේ සංවිධායකතුමා මට දැන්නුවා.දැන් සියල්ල හරි සතුටු සිතින් නින්දට ගියා.

පහුවදා උදේම නැගිටිනකොටත් ආච්චි මඤ්ඤොක්කා එක තම්බලාත් ඉවරයි.මම නැගිටලා ලෑස්ති වෙලා හිටං ඇවිත් ෆෝන් එක ගත්තා තව යාළුවෙක්ට කෝල් එකක් ගන්ට.එතකොටයි දැක්කේ මගේ ෆොන් එක ඔෆ් වෙලා තිබ්බ බව.සාමාන්‍යයෙන් මම නිදාගන්න කොට ඔය ෆෝන් එක ඔෆ් කරන්නේ නැතත් එදා කොහොමින් හරි ෆෝන් එක ඔෆ් වෙලා තිබ්බා.  

දැන් ඔන්න ෆෝන් එක ඕන් කරලා මිනිත්තු කිහිපයක් යද්දී මැසේජ් කිහිපයක් අවා.කෝල් ඇලට් කිහිපයක් එක්ක තිබ්බ එක මැසේජ් එකක තිබ්බා.'මචං ට්‍රිප් එක යන්න වෙන්නේ නැහැ.මම හදිසියේම හැටන් යනවා'කියලා එකක් අපේ ට්‍රිප් එකේ ප්‍රධන සංවිධායක තුමාගෙන්.


දැන් ආච්චි කුස්සියේ ලෑස්ති කරපු කෑම අරන් යන්න භාජන වලටත් දාන්න අරගෙන.ඔය අතරතුරේ තව යාළුවෙකුත් අපේ ගෙදරට අවා ට්‍රිප් එක යන්න.

සංවිධායකතුමාගේ මැසේජ් එක දැක්ක ගමන් මම යාළුවට කෝල් එකක් ගත්තා.මම හිතුවෙම මේකා මේ අපිව බයිට් කරන්න යන්න වෙන්නේ නැහැ කියලා කිව්වේ බොරුවට කියලා හිටං.එත් මම කෝල් කරනකොටත් ඇත්තටම සංවිධායකතුමා හැටන්.

වෙලා තියෙන්නේ සංවිධායක යාළුවාගේ තාත්තා අර මම කිව්ව KDH එකේ හැටන් වලට හයර් එකක් ගිහින්.හයර් එක ගිය උන් තාත්තාට බොන්න දීලා වැන් එක අරන් ගිහින්.තාත්තා බලන කොට වැන් එක නැහැලු.හයර් එක ගිය මිනිහා ෆෝන් එක ආන්සර් කරන්නෙත් නැහැලු.ඉතින් තාත්තා කලබල වෙලා පුතාට කෝල් කරලා පුතා කලබල වෙලා හැටන් දුවලා.

තනියෙනුත් නෙමේ මේකා ගිහින් තියෙන්නේ ට්‍රිප් එක යන්න හිටිය තව යාළුවෝ දෙන්නෙකුත් එක්ක.දැන් ඉතින් ට්‍රිප් එකට අබ සරණයි.දැන් මොනවා කරන්නද ඒ පාර මම හිතුවා දැන් ඔන්නඔහේ ඔෆිස් එකටවත් යනවා කියලා අර ආපු යාළුවාට කිව්වා "ඔහොම හිටපන් මම නාගෙන එන්නම්"කියලා.එක ඇහුණු තාත්තා කිව්වා "ඉතින් මේ මඤ්ඤොක්කා ටිකයි,මස් ටිකත් ටැප් එක ළඟටඅරන් ගිහින් නාලා කාපන්" කියලා. 

හරි දැන් ඒ කතා ඉවරයි.දැන් මගේ කතාව."යහපාලන ආණ්ඩුව" බලයට අවා කියලා එකෙන් අපේ සාක්කුවට වාසියක් නොවුණු බව ඇත්ත.ඒ වගේම "යහපාලනෙත්"කියපු තරම් යහපාලනයක් නැති බවත් ඇත්ත.එත් මිනිස්සු එපා කියලා බලයෙන් පහකරපු නායකයෝ තවමත් "ජාතිය,ආගම"ඉස්සරහට දාගෙන නටන පිස්සු දැක්කාම මේ යහපාලනය අඩුපාඩු තිබුණත් අර අධම මර පාලනයට වඩා ගොඩක් හොඳයි.

Monday, March 23, 2015

හොරු සමග හෙළුවෙන් බුදියන යහපාලන ආණ්ඩුව.


යහපාලනය,ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලස්සන කතන්දර කියමින් බලයට පැමිණි නව ආණ්ඩුවේ ගමන පෙර පැවති මහින්දගේ ජරාජීර්ණ ආණ්ඩුවේ ගමන මෙන් නොවුණත් යන හැටිය ඒ තරම් හොඳ නැත.පසුගිය ජනධිපතිවරණ කාලයේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාවෙන් ඇසුණු දේවල්,දුන් පොරොන්දු බලයට පැමිණිමෙන් අනතුරුව ඒ විදියෙන්ම සිදු නොවීම කණගාටුවකි.

ආකර්ෂණිය දින 100 වැඩසටහනට අදාළ දින ගණනින් දින 70 පමණ ගෙවී ගොස් තිබෙන නමුත් මහින්ද රාජපක්‍ෂගේ නාස්තිකාරී වියදම් පාලනයේ සීමාවක් සහා ලැබුණු සහන කිහිපයක් මිස ජනතාව වෙත සෘජු 
ප්‍රතිලාභ කිසිවක් නොලැබීමද අවාසනාවකි.සැමට එක ලෙස ක්‍රියාත්මකම වෙන නීතියක් ගැන යහපාලන බලාපොරොත්තු මුලින්ම බිඳ දැමුවේ නිතිය,සාමය,පොලිසිය භාර අමත්‍යවරයම වීම ඉමහත් කණගාටුවකි. 

මේ යහපාලන ආණ්ඩුවෙන් මා පුද්ගලිකවම බලාපොරොත්තු වුවේ මේ ප්‍රෝඩාකාරී ව්‍යවස්ථාවේ ජනතාවාදී සංශෝධනයක් මිස අනිකක් නොවේ.මා පුද්ගලිකව එසේ බලාපොරොත්තු වුවත් අනෙක් බොහෝදෙනාගේ අපේක්ෂාව වී තිබුණේ හොරුන් එතනෝල්,කුඩු ජාවාරම්කරුවන් නිතිය හමුවට පමුණුවා දඬුවම් පැමිණවීමයි.

ධනබලයෙන්,මැරබලයෙන් උදම්වී රාජ්‍යබලය උපයෝගී කරගෙන වැරදිකල වුන්ට දඬුවම් කිරීම අනිවර්යෙන් සිදුකල යුතු වන අතරම එසේ දුෂිතයින්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රමුඛතාව දෙන්නා සේම දුෂිතයින්,මිනීමරුවන් බිහිකරන,ආරක්ෂාකරන ව්‍යවස්ථාවේ පැහැදිළි වෙනසක්,ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කිරීම වැනි ජනතාවාදී දේ මේ දින 100 තුල සිදුකිරීමට යහපාලන ආණ්ඩුව ප්‍රමුඛතාව දියයුතු වන අතර එසේ සිදුකිරීමට බහුතර විපක්ෂයේ සහය නොලැබේනම් සිදුකල යුතුව තිබුණේ ආණ්ඩුව විසුරුවා හැර මහාමැතිවරණයකට යාමයි.නමුත් දැන් සිදුවෙන්නේ යහපාලනේ නාමයෙන් පක්‍ෂ,විපක්‍ෂ සියලු දුෂිතයින් එකම වේදිකාවකට එකතුවී එකිනෙකා සමග සහයෝගයෙන් එකිනෙකා ආරක්ෂා කර ගැනීමට සුදානම් වීමයි. 

පහුගිය මැතිවරණයෙන් පැරදවූයේ මහින්දගේ ඒකාධිපතිපාලනය පමණක් නොවේ.ඒ ආණ්ඩුවේ බොහොමයක්දෙනා ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද බව පැහැදිලිය.එසේ තිබියදී ගහෙන් ගෙඩි එන්නා සේ "ජාතික ආණ්ඩු"යයි කියාගන්නා විකෘති ආණ්ඩු පිහිටුවීම කිසිසේත් පිළිගත හැකි නොවේ.

ජනතාවට අවශ්‍ය නීතිගරුක,යුක්තිසහගත රටක් මිස වෙනකක් නොවේ.විපක්ෂය ආණ්ඩුව සමගින් දීග යෑමෙන් සිදු වන්නේ නාමික විපක්‍ෂය හෝ නැතිව යාමයි.එය ප්‍රජාතන්තවාදී රටකට කිසිසේත් සුදුසු නොවේ.විපක්ෂයේ හඬ ජවිපෙ වුවත් ඔවුන් පාර්ලිමේන්තුව තුළ ඔවුන් සතු බලය සීමිතවීමද ගැටලුවකි.

"ජාතික ආණ්ඩු" බිහිවිය යුත්තේ "ජාතික ප්‍රතිපත්ති" පෙරදැරි කරගෙන මිස පුද්ගල පරමාර්ථ මුදුන් කර ගැනීමේ පටු චේතනාවෙන් නොවිය යුතුය.මේ "ජාතික ආණ්ඩුව" හොරු සමගින් හෙළුවෙන් එකට සිට ගැනීමකි.බල්ලන් සමග නිදියැමකි.