Tuesday, March 8, 2016

නිදහස් චතුරස්‍රය පිහිටි භුමියේදී පෙම් යුවලකට බාධා කරන ලදැයි කියන කතාබහා සම්බන්ධයෙනි.

බුකීයෙන් ගත්තේ.

මිට අවුරුදු එකහාමරකට විතර කලින් මටත් ඔය වගේ සිදුවීමකට මුහුණ දෙන්න සිදු වුනා.ඒ පිල්ලෑව-බොරලැස්ගමුව ඇවිදීමේ පථයේදී.
එදා මම මගේ පෙම්වතිය සමගින් එහි ඇවිදමින් සිටියා.ඇය සිටියේ මගේ අතින් අල්ලාගෙන පමණයි.අපි බෙල්ලන්විල පැත්තේ සිට ඉදිරියට එසේ ඇවිදන් එන විට එක් මුර කුටියක සිටි අයෙක් අප දෙස අවධානයෙන් බලා ඉන්න බවක් පෙනුනත් අප එය නොතකා ඉදිරියට පැමිණෙමින් සිටියා.
එවිට අර ආරක්ෂක කුටියේ සිටි නිලධාරියා එහි සිටම අප වෙත කෑගසමින් කියා සිටියා

 "මේකේ පොඩි ළමයි,අම්මලා ඇවිදිනවා ඔය විදියට මේකේ ඇවිදින්න බැහැ.ලඟම තියෙන ගේට්ටුවෙන් එළියට යන්න" කියා.

ඇත්තෙන්ම ඒ මොහොතේ අපි වික්ෂිප්ත භාවයටත්,පිඩාවටත් පත් වුනා ඔහු පැවසු දේත් සමගින්.එම නිලධාරීයාගේ චෝදනාව වූයේ අපි එහි ආශිලාචාර ලෙස හැසිරුණා යන්නයි.ඒ මොහොතේ මා තුල පැමිණි ආවේගය මා පාලනය කර ගත්තේ මා අසල සිටි ඈ එම ස්ථානයෙන් පිටව යාමට හඬමින් බල කරපු නිසා.

කෙසේ නමුත් පිටව යාමට පෙර මම ඔහුගෙන් විමසා සිටියා ඔහු කොහොමද තීරණය කරන්නේ කියලා අපි හැසිරුණු විදියේ ශිලාචාර-අශිලාචාර බව ගැන කියා.ඔහු එයට පැහැදිලි උත්තරයක් දුන්නේ නැති අතර ඔහුට වැඩි යමක් කියන්න මට නොහැකි වුවේ පෙම්වතිය කදුළු පිරි දෑසින් මට එතනින් පිටව යන්නට බල කල නිසායි.

ඔහුගේ නිර්ණායක අනුව පෙම් යුවලක් අත් අල්ලා ගමන් ගැනීම අශිලාචර ක්‍රියාවක්. එසේ වන්නේ ඔහු අඩු වශයෙන් දයාරත්න රණතුංගයන් ගයනා "දුරස් වන්නට මේ ලෙසින්"ගීතය හෝ අසා නැති වන්නට පුළුවන්.එම ගීතය අසා ඇත්නම් එහි අන්තරා කොටසේ ඇති 

"අත්වැල් බැඳගෙන මං මාවත් දිග 
ඔහේ ඇවිද ගිය කාලය මතකද"  යන කොටසද අසා නැති වන්නට බැරි නැත.

අත් අල්ලා පෙම් යුවලක් ගමන් ගැනීම දඩුවම් ලබා දිය යුතු වරදක්ද?

නීති පැනවීමෙන් සදාචරය ඇති කල නොහැක. 

නිදහස් චතුරස්‍ර භූමියේ පෙම්වතුන්ගේ හැසිරීමක් සම්බන්ධයෙන් ඇති වූ නාටක අවසානයේ පෙම්වතුන්ට අවවාද  කරන ලද ආරක්ෂකයින්ගේ රැකියා අවදානමකට ලක් වීමට ඉඩ දිය යුතුද නොවේ.සිදුවිය යුත්තේ පුද්ගල නිදහසට බාධා නොවන පරිදි දෙපිරිසම කටයුතු කිරීමයි.එය එසේ නොවන තාක් මෙවැනි නාටක සාමාජය ඉදිරියේ වරින් වර දිග හැරෙනු ඇත.

Monday, February 8, 2016

නොහඬන්න අප්පච්චි.

ජායාරුපය අන්තර්ජාලයෙන්.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෑසේ කදුළු නැගෙන ජායාරුපයක "රටක කදුළු පිස දැමු මිනිසාගේ දෑසේ කදුළු දුටුවෙමු"යනුවෙන් සටහන්ව සමාජ වෙබ් අඩවිවල සංසරනය වනවා දුටුවෙමු.මේ රටක කදුළු පිස දැමුවා යයි අදහස් කරන්නේ යුද්ධය නිමා කිරීම විය යුතුය.ඒ හැර මර්වින් සිල්වා,බන්දුල ගුණවර්ධන,නිශාන්ත මුතුහෙට්ටිගම ඇතුළු මහින්ද රජයේ මැති ඇමතිවරු දුන් ආතල් වලින්ද (මේ යහපලාන ආණ්ඩුවේත් ඒ වගේ ජෝකර්ලා මදි නොකියන්න ඇති බව පෙනි යයි. ) රටේ මිනිසුන්ගේ කදුළු පිස දැමුවා විය යුතුය.

කෙසේ වෙතත් යුද්ධයට දේශපාලන නායකත්වය දුන් මහින්දට මෙන් යුධ හමුදාවට නයකත්වය දුන් සරත් ෆොන්සේකාට වීරත්වයේ කිරුළ පැළදීමට අවස්ථාවක් නොලැබුනේ වීරයා එක රැයින් ද්‍රෝහියෙක් වූ නිසාය.එසේ වන්නට එකම හේතුව මහින්දට විරුද්ධව මැතිවරණයට ඉදිරිපත් විමය. වීරයා ද්‍රෝහියෙක්ව දඟ ගෙට ගියාද ඒ ගැන කතා කල අය සිටියේ නැත.

කෙසේ වුවද ඉහත කි මහින්දගේ දැසට කදුළු උණන සිදුවීමට ප්‍රස්තුත වුයේ තම දෙවැනි පුත් යෝෂිත පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම සහා අධිකරණය විසින් ඔහු බන්ධනාගාර ගත කිරීමට කරන ලද නියෝගයයි.මේ අත්අඩංගුවට ගැනීම සිදු වූ දින මාධ්‍ය වෙත ඒ ගැන අදහස් දැක්කු මහින්ද කියා සිටියේ තම දරුවෙක් වුවත් වරදක් කර ඇතිනම් දඩුවම් දීමට තම විරුද්ධ නොවන බවයි.අත්අඩංගුවට ගත යෝෂිතගේ අප්පච්චි එසේ පැවසුවද මේ සිදුවීම ගැන අදහස් දක්වමින් යෝෂිතගේ බාප්පා වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ පවසා සිටියේ "පළිගත්තාට කමක් නැහැ.එත් ළමයින්ගෙන් පළි ගන්න එපා"යනුවෙනි.

ගෝඨාභයගේ අදහස් දැක්වීමට අනුව දේශපාලන පළිගැනීම් සිදු කෙරුවත් කමක් නැත.නමුත් ළමුන්ගෙන් පළි ගැනීම නොකළ යුත්තකි.

ලසන්ත විර්කමතුංග ඝාතනයෙන් ඒ ලසන්තගේ දරුවන්ට අයුක්තියක් වුයේ නැතිද?එක්නැලිගොඩගේ අතුරුදහන් වීම ඔහුගේ දරුවන්ට කල අසාධරණයක් නොවේද? සරත් ෆොන්සේකා සිරගත කිරීමෙන් ඒ දරුවන්ට ඉටු කලේ කුමන යුක්තියක්ද ? වැලිකඩ සිරකරුවන් ඝාතනය කිරීමෙන් ඒ දරුවන්ටත් දඩුවම් කලා නොවේද? රාජපක්ෂ සමයේ මෙවැනි තවත් සිදුවීම් උදාහරණ ලෙස දිය හැකි මුත් එය අවශ්‍ය නොවේ. 

 නීතිය සැමට සමාන විය යුතුය.එසේ නොවේ නම් යුක්තියේ දෙවගනගේ දෑසේ බැදී කඩතුරාවෙන් පලක් නැත.  

රාජපක්ෂ පවුලේ සාමාජිකයකු අත්අඩංගුවට ගැනීම විපක්ෂයේ  පමණක් නොව ආණ්ඩුවේ ඇතැමුන්ගේද විරෝධයකට හේතු වී ඇති බව පෙනේ.නමුත් එය එසේ විය යුතු නැත.යෝෂිත ඇතුළු පිරිස වෙත ඇති චෝදනා අධිකරණය ඉදිරියේ තහවුරු වුනොත් ඒ වැරදි සඳහා අධිකරණය  විසින් දෙන දඬුවම් විඳිය යුතුව ඇත.නිවැරදිකරුවන් වේ නම් ගැටලුවකින් තොරව නිදහස් වනු ඇත.


සි.එස්.එන් නාලිකාවේ සඟවා ඇති සන්නිවේදන උපකරණ හෝ වත්කම් සෙවීමට එදා මෙන්  රැගෙන නොයන නිසා මේ සැකකරුවන්ගේ  ජීවිත ගැන අනියත බියක් ඇති කර ගත යුතුද නැත.

Monday, January 18, 2016

පොතක් සහා කතාවක්.

පි කිව්වේ "මාමා" කියලා.
සමහරු "අප්පච්චි" කිව්වා.ජනවාරි අට වැනිදායින් පස්සේ "අප්පච්චි මලා"කියලාත් සමහරු කිව්වා.

ඒ අප්පච්චිගේ පුතාව අප්පච්චිගෙන් පස්සේ රජ කරවන්න සමහරු බලන් හිටියා.

හැබැයි වැඩේ වැරදුණා!

ඒගොල්ලෝ කිව්වේ "ශ්‍රේෂ්ඨ රජ්‍ය නායක සහෝදර"කියලා. 
ශ්‍රේෂ්ඨ රජ්‍ය නායක සහෝදර පුතාට කිව්වේ "ආදරණිය නායක" කියලා හිටං.

දැන් ඒ රට කරන්නේ අර කියපු "ශ්‍රේෂ්ඨ රජ්‍ය නායක සහෝදරයාගේ" මුනුබුරා.තාත්තාගෙන් පුතාට සිහසුන යන ජනතාව පාලකයින්ගේ යටත් වැසියෝ වෙලා ඉන්න රාජාණ්ඩු ක්‍රමයෙන් අපි ගැලවුණත් තාමත් ඒ රටේ මිනිස්සුන්ට එහෙම වාසනාවක් නැහැ. 


මේ උතුරු කොරියාවේ අදටත් තියෙන තත්වය.
උපුටා ගත්තේ අන්තර්ජාලයෙන්.

ඒ අතින් බලන කල අපි වාසනාවන්තයි.පහුගිය ජනවාරි අට වෙනිදා මහින්ද මාමාගේ ඒකාධිපති පවුල් පාලනය නතර නොවන්න අපිටත් උතුරු කොරියාවේ වගේ ආඥදායකත්වයක රස බලන්නත් ඉඩ ලැබෙන්න තිබුණා සමහරවිට.

ව්‍යජ දේශප්‍රේමයකින් රටේ සාගින්න දිළිදු සාමාන්‍ය ජනතාවට දරා ගන්න බල කරන අතරවාරයේ පක්‍ෂ නායකයන්ට,රජයේ ඉහළ නිලධාරින්ට විතරක් නෙමේ ශ්‍රේෂ්ඨ රජ්‍ය නායක සහෝදරයා වෙච්චි "කිම් ඉල් සුං" ගෙත්  ආදරණිය නායක "කිම් ජොං ඉල්" ගෙත් ගුණ ගයනා කරලා ප්‍රශස්ති කියපු වන්දි භට්ටයින්ටත් ලොකුම හැන්දෙන් බෙදපු කිම් ඉල් සුංගේ උතුරු කොරියාව සමහර වේලාවට මහින්ද මාමා තමන්ගේ වටේ හිටපු වන්දි භට්ටයින්ටත් සලකපු හැටි මතක් කරනවා.

හාල් ඇටයක් හොයා ගන්න නැති කමින් රටේ සාමාන්‍ය ජනතාව ගස් වල පොතු කනකොට.පක්‍ෂ නායකයෝ එකතු වෙලා ඒ මිනිස්සුන්ට ලැබුණු සහනාධර වලින් සාද දැම්මා.

මානව හිමිකම් නැතුව,සියලු මාධ්‍ය පාලකයින් මෙහෙයවන සහා පාලකයින්ගේ ගුණ ගයන හොරණෑ විතරක්ම වුණාම පාලකයෝ කියන බොරු දේවත්වයේ ලා සලකන්න රට වැසියන්ට සිදුවුණා.ඇමරිකාව අධිරාජ්‍යවාදී බල්ලෝ වෙනකොට අසල්වැසි දකුණු කොරියාව රූකඩ රාජ්‍යක් කියලා දේශප්‍රේමි නායකයෝ කියනකොට පාසල් පොත් වල එව්වා ඒ විදියටම සටහන් වුණා.

පාසැල් ගුරුවරු පවා "කිම් ඉල් සුං" ගේ විස්මිත බුද්ධිය ගැන පුදුම වුණා."කිම් ඉල් සුං" ගේ බුද්ධිය ගැන කතාවක් මේ.


"කුරුල්ලෝ දහයක් අත්තක් උඩ වහලා ඉන්නවා.දඩයක්කාරයෙක් එක කුරුල්ලෙක්ව මරනවා.දැන් කියක් අත්ත උඩ ඉන්නවාද ?" පංතියේ හැමෝම නමයක් කිව්වාම අනාගත ශ්‍රේෂ්ඨ නායක "කිම් ඉල් සුං" දීපු උත්තරේ "එකෙක්වත් නැහැ.වෙඩි සද්දෙට අනෙක් උන් පියබා යන නිසා" කොහොමද බුද්ධි ප්‍රභවය.!

ලෝකයට ජුගුප්සාජනක උතුරු කොරියාව වගේ රටක් වෙන්න ඉඩ නොදී,දේශපාලකයින්ට රට වනසන්න නොදෙන එක පුරවැසියන්ගේ යුතුකමක්.

ජාති,පාට,පක්‍ෂ වලට බෙදිලා ඒ දේ කරන්න බැහැ.

රජ වෙන්න හදපු එක්කෙනක්ව ජනතාව ගෙදර යැව්වේ තව කෙනෙක්ව රජ කරවන්න නොවන බව මෛත්‍රීත් ඒ වටේ ඉන්න වන්දිභට්ටන් දැනගත යුතුයි.එසේ නොවේ නම් මෛත්‍රීටත් මහින්දට සිදුවූ දේම වෙන්න වැඩි කාලයක් නොයනු ඇති.

උතුරු කොරියාව ගැන ඉහතින් දක්වපු උපුටන සියල්ල ලබා ගත්තේ HYOK KANG විසින් රචිත "This is Paradise, My North Korean Childhood" යන කෘතියේ සිංහල පරිවර්තනයෙන්.
 පරිවර්තක නිමල් සෝමරත්න.විදර්ශන පොතක්.

ප.ළි:ලෝකයේ අනෙක් රටවල් වලට වඩා සංවෘත රටක් වෙන උතුරු කොරියවේ තත්වය අද එදාට වඩා වෙනස් වෙන්න පුළුවන්.ඇතැම් අයට අනුව මේ කෘතිය  උතුරු කොරියාවට මඩ ගැසීමට අතිශයෝක්තියෙන් රචනා කරන ලද ප්‍රබන්ධයක්.කෙසේ වෙතත් මේ කෘතියේ ඇති සියල්ල ඇත්ත ලෙස පිළිගැනීමට හෝ බොරු ලෙස ප්‍රතික්ෂේප කිරීමට මට හැකියවක් නැත.




Thursday, December 10, 2015

හින පිළිබදව නක්ෂත්‍රකරුවෝ.

මේ පොඩ්ඩක් විතර පිළුණු කතාවක්.

මේ කතාව කියන්න තිබ්බේ අර සෝමවංශ සහෝදරයා ගිහින් විරවංශ මහත්තයාව බදා ගත්තු දවස්වල.මතකයිනේ ඒ වෙලාවේ සෝමවංශ කරපු කතාව!

"පොදු සතුරා විසින් අපිව එකතු කරලා තියෙනවා"කියලා කිව්වේ.

මේ කියන්න යන්නේ ඒ කතා ගැන නෙමේ.මේ කියන්න හදන්නේ ඒ දෙන්නගේ එකතු දීගේ ගැන මම හීනෙන් දැක්ක එක.

මම හීනෙන් දැක්කේ සෝමවංශ විමල් එක්ක එකම වේදිකාවේ මහින්ද වෙනුවෙන් කතා කරනවා.

ඒ වෙනකොට සෝමවංශ ජවිපෙන් ඉවත් වෙලා හිටියත් විමල් එක්ක එකතු වෙලා හිටියේ නැහැ.නිකම් දැකපු හීනයක් නමුත් ඒ හීනේ අන්තිමට සැබෑ උනා.

හීනේ සැබෑ වෙලා දෙන්නා දීග ගියාට ඒ දෙන්නගේ දීගේ තව කොච්චර කාලයක් තියේද කියලා නම් මට සැකයි.මොකෝ සෝමවංශ මහත්තයා ජවිපෙන් දික්කසාද උනාට තව තව කසාද කරන්න හොයන නිසා.  

මේ හීනේ මම දැක්කේ ජුනි පළමුවැනිදා පාන්දර.මට හීනේ දැක්ක දවස මතක මම එදාම උදේ බුකීයේ "සංදේශය"පිටුවේ මේ හීනේ ගැන සටහනක් දාපු නිසයි.


මේ තියෙන්නේ ඒ සටහන.
මම ගොඩක් වෙලාවට නිදා ගන්න කොට රෑ දොළහට ඉතා ආසන්න වෙනවා.ආයෙමත් උදේ පහට නැගිටලා කිරිතේ එක බීලා නිදා ගන්නවා.ඊට පස්සේ නැගිටින්නේ උදේ හතට විතර.මට ගොඩක් වෙලාවට ඉතින් හීන පේන්නේ ඔය තේ එක බීලා ආපහු නිදාගෙන ඉන්න වේලාවටයි.


මේ ඔය වගේ දැක්ක තව හීනයක්.

එදා දැක්කේ අපේ හිතවත්ම මිත්‍රයෙක් මරණයට පත් වෙලා ඉන්නවා.දැන් ඉතින් ඒ යාලුවාගේ මරණ ගෙදර මම ඇතුළු අපේ තව යාළුවෝ සෙට් එකක් ගිහින් හිටියා.වැඩේ කියන්නේ මම හීනෙන් මැරිලා ඉන්නවා දැක්ක යාළුවාත් අපිත් එක්කම ඌගේ මරණ  ගෙදර නයිට් එක ගහනවා.

කොහොමින් හරි හීනේ දැක්ක දවසේ හවස කෝල් එකක් එනවා 

"මචං xxගේ මාමණ්ඩි අන්ත්‍රා වෙලා" කියලා.

මම හීනෙන් මැරිලා ඉන්නවා දැක්ක එකාගේ මාමණ්ඩියි මැරිලා තියෙන්නේ.

ඒ දැන් ඉතින් බලන් ගියාම මටත් "රාජකීය දෛවඥ"වගේ තනතුරකට ඉල්ලන්න සුදුසුකම් තියෙනවා වගේනේ.

කනාවට හෝ හරි යන්න අපෙනුත් හීන පලාපල අහන්ට.

ප.ලි :කාලයක් තිස්සේ දැක්ක තවත් "හීනයක්" අර්ධ වශයෙන් තව දින කිහිපයකින් සැබෑ වෙන්න යනවා.ඒ හීනේ අනිත් අර්ධය සැබෑ වෙන්ට තවත් මාස කිහිපයක් තියෙනවා.

Saturday, October 31, 2015

දුකට කියන කවී.


Add caption


මහින්දගේ කටු කෑ හොරිකඩ  හැත්ත 
යහපාලනෙත් කුණු අඳිනවා    දැක්ක 
උස්සා බැටන් පොල්ල අසරණයන් තලන 
දීපං රළහාමි යුනිපෝම් එක බල්ලෙකුට 

Thursday, October 22, 2015

ඇඩ්‍රස් නැහැ


හෙන්රි අයියාගේ නොකීකතා බ්ලොග් එක ගැන දන්නවානේ.එකේ යන්නේ නොකී කතානේ,මටත් හිතුනා නොකී කතාවක් කියන්න.

හැබැයි මේක මේ නොකී කතාවක් කිව්වත් දන්නා කිහිපදෙනෙකුත් ඉන්නවා.හැබැයි ඒ දන්නා අය ඒ කතාව දන්නේ මම කියලා නෙමේ වෙනත් ආරංචි මාර්ග වලින් තමයි දන්න අය මේ කතාව ගැන දන්නේ.ඉතින් මම නොකිව්ව නිසා මේක නොකී කතාවක් තමයි හිටං.

මේ කතාවේ මම හැර තවත් අයෙක් ඉන්නවා.මිනිහා බ්ලොග් නොකියෙව්වාත් එයාගේ අනන්‍යතාව රකින්නත් එක්ක මම පොරට "දිගා"කියන අන්වර්ථ නාමය දෙන්නම්.මේ "දිගා" මගේ අතිජාත මිත්‍රයෙක්.එදාත්,අදත්,හැමදාටමත්.

මේ "දිගා"ඒ පවුලේ එකම දරුවා.

ඒ මීට හරියටම අවුරුදු පහකට විතර කලින් සිකුරාදා දවසක්.ඔෆිස් ගිහින් ගෙදර ඇවිත් හිටපු මට "දිගාගෙන්" කෝල් එකක් ආවේ මම බලපොරොත්තුවෙන් සිටිය විදියටමයි.

"මචං උඹලෑ ගේ ඉස්සරහා ඉන්නේ.වරෙන් පාරට" ඇමතුමට අනුව මමත් පාරට අවා.

දිගා ඇවිත් තිබ්බ කාර් එකේ ඉදිරිපස අනෙක් අසුනේ හිටියේ දිගාගේ පෙම්වතිය.හෙට දිනයේ ඇය ඔහුගේ නිත්‍යනුකුල බිරිඳ වීමට නියමිතයි.හැබැයි ඒ මුළු ලොවට හොරෙන්.දිගා කලින්ම ගිහින් විවහා ලේකම්වරයකු හමුවී සියල්ල සුදානම් කොට ගෙන තිබුණා.මට තිබුනේ පසුවදා එම විවාහයේ සාක්‍ෂිකරුවකු වීම පමණයි.

මම කාර් එකේ පිටුපසින් නැග්ගට පස්සේ මා මිතුරු දිගා හෙට දිනයේ සැලසුම විස්තර කලා.

ඒ අනුව පසුදා උදයේ නමය වනවිට සුදානමින් සිටි මාවත් රැගෙන මා මිත්‍රයා සහා ඔහුගේ පෙම්වතිය අනෙක් සාක්‍ෂිකරුද වාහනයට නංගාගෙන විවහා ලේකම් වෙතට ගියා.

අපි සාක්ෂියට අත්සන් කෙරුවා.විහාහය සිදු වුනා සියල්ලෝම සතුටින් විසිර ගියා.

හොඳම හරිය සිදුවුනේ ඊට දෙදවසකට පසුවයි.
පුරුද්දක් විදියට මම දිගාලාගේ ගෙවල් පැත්තේ නිතර යනවා.ඉතින් මේ වෙද්දී දිගා තම අලුත ගෙනා බිරිඳ සමගින් තමන්ගේ ගෙදර පදිංචිවී සිටියා.අලුත ගෙනා මනමාලිට විරුද්ධත්වයක් දිගාලාගේ ගෙදරින් ආවෙත් නැහැ.සියල්ල හොඳින් සිදු වෙන නිසා එදා හවස මම දිගාගේ ගෙදර යන්න ගියා.ඒ ගියෙත් දිගා මට කෝල් කරලා මෙහෙම කිව්වා නිසා.

"මචං අද හවසවත් උඹ අපේ ගෙවල් පැත්තේ වරෙන්.අපේ අම්මා දන්නේ නැහැ කවුද මේකට අත්සන් කෙරුවේ කියලා හිටං.උඹ නාවොත් උඹ ගැන සැක හිතයි.ඒ නිසා උඹ වරෙන්.හැබැයි අපේ අම්මා උඹේ කටට උත්තරේ දීලා අහයි උඹ නේද අත්සන් කෙරුවේ කියා උඹ නැහැ කියා කියපන්.දන්නෙවත් නැහැ කියලා කියපන් "

ඔන්න දැන් දිගාගේ උපදෙස් අනුව මම දිගාලාගේ ගෙදරට ගියා.මම යනකොට දිගා හදිසි වැඩකට එලියට ගිහින් හිටියේ.පෙරමගට ආපු දිගාගේ අම්මාත් මාත් අතරේ මෙහෙම දෙබසක් ඇති වුනා.

"පුතා දන්නවාද අපේ දිගා කරපු හපන්කමක්"

"මොකක්ද ආන්ටි"

"දිගා කසාද බැන්දානේ"

"නැහැ බොරු"

"බොරු නෙමේ ඇත්ත"එන්නකෝ ගෙට.

මමත් ගෙට ගියා.ඒ වෙනකොට ඒ ගෙදර ඒ පවුලේ හිතවතෙක් වෙච්චි මමත් දන්නා කියන කෙනෙක් ඇවිත් හිටියා.දිගාගේ තාත්තාත් හිටියා.ඒ අතරේ දිගාගේ බිරිඳ මට කාමරයක් ඇතුලේ සිට හස්ත සඥාවෙන් යමක් කිව්වාත් මට එය එක් වරම වැටහුනේ නැහැ.එත් එකක්ම දිගා කෝල් කරලා කලබලයෙන් කිව්වා

 "අපේ අම්මාට කියපන් අත්සන් කෙරුවේ උඹ කියලා" 
දැන් එක පාරක් මම නෙමෙයි කිව්වා මම ආයෙමත් කොහොමද මම තමයි කියලා කියන්නේ මම සද්ද නැතුව හා කියලා නිකන් හිටියා.

"දිගා නැහැනේ ආන්ටි මම පස්සේ එන්නම්"
"පොඩ්ඩක් ඉන්නකෝ පුතා,පුතා දන්නවාද මේ අත්සනයි,නමයි කාගේද කියලා හිටං"

දිගාගේ අම්මා එහෙම ඇහුවේ මගෙන් අර මහානුභාව සම්පන්න කසාද සහතිකේ මට පෙන්වන ගමන්. 

අන්න එතකොටයි මට ඇඩ්‍රස් නැති වුනේ.

ප.ලි : ඒ දෙමාපියෝ මා එක්ක තරහා වුනේ නැහැ.දිගාගේ භර්යාවත් බොහොම හොඳ ගුණ යහපත් කාන්තාවක්.දැන් දරුවකුත් සිටිනවා.


ප.ප.ලි : අපි කර දුන් විවහායක් වැරදි නැත.



Monday, August 3, 2015

මගේ මනාපය.



කලකට පස්සේ වෙලකට බැස්සේ කියලා "මී හරකෙක්" කිව්වායි කියන්නේ.ඉස්සර ගොවිතැන් කරන කොට නැතුවම බැරි වෙච්චි මී හරක් වුණත්  දැන් හිතනවා ඇති තාක්‍ෂණය කුබුරටත් බැහැලා තියෙන කොට නිරපරාදේ මඩ නා ගන්නේ මොකටද කියලා හිටං.

මී හරක්,මඩ වගේ වචනත් එක්ක එකටම ගලපා ගන්න පුළුවන් වචනයක් තමයි අපේ ජන්දත්.

දේශපාලකයෝ මී හරක්ය කියලා හිතං ඉන්න ජන්ද දායකයොත්,
ජන්දදායකයෝ මී හරක් කියලා හිතං ඉන්න දේශපලකයොත් ඉන්න රටේ මී හරක්ටත් වඩා වැඩියෙන් මඩ නාන/ගහන කාලයක්නේ ජන්ද කාලේ කියන්නේ.

පහුගිය ජනවාරි අටවෙනිදා මහින්දගේ ඒකාධිපති පාලනය අවසන් වෙච්චි දවසෙම වගේ තමයි මම හිතුවේ ඊගාව මහා ජන්දේදී "ජවිපෙට" ආයෙමත් දෙනවා කියලා හිටං.

එදා ජවිපෙට මහා ජන්දේදී කතිරේ ගහන්න ගත්ත තීරණය අද වෙද්දී තහවුරු කරගන්න රනිල්ගේ දින සියේ ආණ්ඩුවේ ක්‍රියා කලාපය බෙහෙවින්ම උපකාරී වුණා.රට ආපහු ජාතිවාදී,වර්ගවාදී බලලෝභයෙන් උමතු වෙච්චි ඒකාධිපතියෙක්ට යටත් කරන්න බැරි නිසා සන්ධානයට දෙන්නේ නැහැ.ඒ නිසා ජනවාරි අටවෙනිදා එපා වෙච්චි මහින්දව ආයෙමත් කොහොමත්ම එපාම තමයි.හිත හදාගෙන රනිල්ට දෙන්නත් බැරි මහා බැංකුවේ "බැඳුම්කර ගනුදෙනුව"ගැන රනිල්ගේ ඇල්මැරුණු ක්‍රියා කලාපය හා ප්‍රකාශ නිසයි.අජිත් නිවාඩ් මහා බැංකුවේ අධිපති ඉන්න කාලේ මිට වඩා දේවල් වුණා කියලා මේ ප්‍රශ්නය මග හරින එක සාධාරණ නැහැ.පහුගිය ආණ්ඩුවල වැරදි අලුත් ආණ්ඩුවේනුත් වෙනවානම් ජන්ද තියන එකෙනුත් තේරුමක් නැහැනේ. 

 කොහොම වෙතත් මේ මහා ජන්දෙන් කාටවත් 113 සරල බහුතරය ලබා ගන්න බැරි වෙන බව පැහැදිලියි.මොකාට වුණත් බලය අනිසි විදියට වැඩියෙන් ලැබුනාම පිස්සු කෙළින්න හදන නිසා එක එහෙම වෙන එකත් එක අතකට හොඳයි.කවුරු ආණ්ඩු කෙරුවත් ශක්තිමත් විපක්‍ෂයක් තියෙන්න ඕනේ රට අයාලේ නොයන්න නම්.පහුගිය කාලේ විපක්‍ෂයේ කාර්ය ජවිපෙන් ඉටුවූ ආකාරය ගැන සැහිමකට පත් විය හැකියි.ඒ නිසා කලිනුත් වතාවක වගේ මේ ගමනත් ජවිපෙට ජන්දේ දෙන්න ගත්තු තීරණය හරි කියලා මම හිතනවා.මේ ගමන මගේ මනාප තුන දෙන්නේ අනුර කුමාරට.ලාල් කාන්තට,සුනිල් වටගලට.

යම් විදියකින් ජවිපෙට නොදී එක්සත් ජාතික පෙරමුණට දෙනවා නම් මනාප දෙන්නේ හර්ෂට,එරාන්ට හා මනෝ ගනේෂන්ට.මනෝට දෙන්නේ මනෝ වාසියට නොවිකෙන පුද්ගලයෙක් කියලා හිතෙන නිසයි.පහුගිය ජන්දේදී කොළඹ මන්ත්‍රී කෙනෙක් විදියට පත්වෙච්චි ප්‍රභා ගනේෂන් මහින්දගේ දැත් ශක්තිමත් කරන්න මහින්ද ගාවට ගියාම තමන්ගේ සහෝදරයා වුණත් කරපු වැඩේ වැරදියි කියන්නත් ඔහුට විරුද්ධව විනය මාර්ග ගන්නත් මනෝ පැකිලුනේ නැහැ.තමන්ගේ මතය වෙනුවෙන් පැහැදලි ලෙස පෙනි ඉන්න ඔහු වගේ අයෙක්ට මනාපයක් දීමේ වරදක් මා දකින්නේ නැහැ.

පහුගිය මහා ජන්දේදී මම දුන්නේ යුඑන්පි එකට.පරදින බව දැන,දැන යුඑන්පි එකට දුන්නේමහින්දට එරෙහිව යුඑන්පි එකෙන් වැඩක් වේවි කියලා හිතලා.හිතපු තරම් වැඩක් වූණේ නැහැ හැබැයි එකෙන්.ඒ වතාවේ මනාප දුන්නේ රනිල්ට,රවීට හා මොහාන් ලාල් ග්‍රේරෝට.රත්මලානේ මිනිස්සුන්ට කොකා පෙන්නලා අන්තිමේදී  මොහාන් ලාල් මහින්දට සෙට් වුණා.දැන් "නැණස පැදු මිනිසා"කියලා අපේ ඔෆිස් එක එහා පැත්තේ ඔෆිස් එකක් දාගෙන ඉන්නවා.මට රවීව එපා වූණේ රවීගේ ප්‍රචාරක ව්‍යපාරය නිසාමයි.ජනතාවට සහන දුන්නේ ගෙදරින් ගෙනත් වගේ තමයි රවී පෝස්ටර්.කටවුට් ගහන්නේ.

කොහොම වුණත් ගිය ගමන වගේ විකෘති පාර්ලිමේන්තුවක් නොවී යහපත් ජනතා නියෝජනයක් සහිත ජනතාවට වගකියන පාර්ලිමේන්තුවක් මෙවර පත් වුණොත් එක තමයි වැදගත් වෙන්නේ.යහපාලනය කාගෙන්වත් සියට සීයක් බලාපොරොත්තු වෙන්න බැහැ.සාපේක්ෂ වශයෙන් හොඳ පාර්ලිමේන්තුවක් තමයි මෙවර බලාපොරොත්තුව.


මේ ගමන කප් එක කොහොමත් උස්සන්නේ යුඑන්පි එක.එක විශ්වාසයි.නමුත් තනියෙන් ආණ්ඩුව පිහිටුවන්න බැරි වෙනවා.එතකොට ඔය සන්ධානේ අප්පච්චි එක්ක නැගිටලා ඉන්න වුන් එහෙම ලැජ්ජාව (එහෙම එකක් තියේනවා නම්) පැත්තකින් තියලා එහෙම ඇවිත් රනිල්ගේ දෑත ශක්තිමත් කරන හැටි බලන්න පුළුවන්.

අන්න ඒ නිසා ඉහත කරුණු කරනාත් සලකා බලා මමත් මගේ හෘදසාක්ෂියට ඉඩ දෙන්න තීරණය කලා.ජනතාවාදී පාර්ලිමේන්තුවක්,සුබවාදී හෙටක් මෙවරවත් සිහිනයක් නොවේවා.