Monday, March 23, 2015

හොරු සමග හෙළුවෙන් බුදියන යහපාලන ආණ්ඩුව.


යහපාලනය,ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලස්සන කතන්දර කියමින් බලයට පැමිණි නව ආණ්ඩුවේ ගමන පෙර පැවති මහින්දගේ ජරාජීර්ණ ආණ්ඩුවේ ගමන මෙන් නොවුණත් යන හැටිය ඒ තරම් හොඳ නැත.පසුගිය ජනධිපතිවරණ කාලයේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාවෙන් ඇසුණු දේවල්,දුන් පොරොන්දු බලයට පැමිණිමෙන් අනතුරුව ඒ විදියෙන්ම සිදු නොවීම කණගාටුවකි.

ආකර්ෂණිය දින 100 වැඩසටහනට අදාළ දින ගණනින් දින 70 පමණ ගෙවී ගොස් තිබෙන නමුත් මහින්ද රාජපක්‍ෂගේ නාස්තිකාරී වියදම් පාලනයේ සීමාවක් සහා ලැබුණු සහන කිහිපයක් මිස ජනතාව වෙත සෘජු 
ප්‍රතිලාභ කිසිවක් නොලැබීමද අවාසනාවකි.සැමට එක ලෙස ක්‍රියාත්මකම වෙන නීතියක් ගැන යහපාලන බලාපොරොත්තු මුලින්ම බිඳ දැමුවේ නිතිය,සාමය,පොලිසිය භාර අමත්‍යවරයම වීම ඉමහත් කණගාටුවකි. 

මේ යහපාලන ආණ්ඩුවෙන් මා පුද්ගලිකවම බලාපොරොත්තු වුවේ මේ ප්‍රෝඩාකාරී ව්‍යවස්ථාවේ ජනතාවාදී සංශෝධනයක් මිස අනිකක් නොවේ.මා පුද්ගලිකව එසේ බලාපොරොත්තු වුවත් අනෙක් බොහෝදෙනාගේ අපේක්ෂාව වී තිබුණේ හොරුන් එතනෝල්,කුඩු ජාවාරම්කරුවන් නිතිය හමුවට පමුණුවා දඬුවම් පැමිණවීමයි.

ධනබලයෙන්,මැරබලයෙන් උදම්වී රාජ්‍යබලය උපයෝගී කරගෙන වැරදිකල වුන්ට දඬුවම් කිරීම අනිවර්යෙන් සිදුකල යුතු වන අතරම එසේ දුෂිතයින්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රමුඛතාව දෙන්නා සේම දුෂිතයින්,මිනීමරුවන් බිහිකරන,ආරක්ෂාකරන ව්‍යවස්ථාවේ පැහැදිළි වෙනසක්,ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කිරීම වැනි ජනතාවාදී දේ මේ දින 100 තුල සිදුකිරීමට යහපාලන ආණ්ඩුව ප්‍රමුඛතාව දියයුතු වන අතර එසේ සිදුකිරීමට බහුතර විපක්ෂයේ සහය නොලැබේනම් සිදුකල යුතුව තිබුණේ ආණ්ඩුව විසුරුවා හැර මහාමැතිවරණයකට යාමයි.නමුත් දැන් සිදුවෙන්නේ යහපාලනේ නාමයෙන් පක්‍ෂ,විපක්‍ෂ සියලු දුෂිතයින් එකම වේදිකාවකට එකතුවී එකිනෙකා සමග සහයෝගයෙන් එකිනෙකා ආරක්ෂා කර ගැනීමට සුදානම් වීමයි. 

පහුගිය මැතිවරණයෙන් පැරදවූයේ මහින්දගේ ඒකාධිපතිපාලනය පමණක් නොවේ.ඒ ආණ්ඩුවේ බොහොමයක්දෙනා ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද බව පැහැදිලිය.එසේ තිබියදී ගහෙන් ගෙඩි එන්නා සේ "ජාතික ආණ්ඩු"යයි කියාගන්නා විකෘති ආණ්ඩු පිහිටුවීම කිසිසේත් පිළිගත හැකි නොවේ.

ජනතාවට අවශ්‍ය නීතිගරුක,යුක්තිසහගත රටක් මිස වෙනකක් නොවේ.විපක්ෂය ආණ්ඩුව සමගින් දීග යෑමෙන් සිදු වන්නේ නාමික විපක්‍ෂය හෝ නැතිව යාමයි.එය ප්‍රජාතන්තවාදී රටකට කිසිසේත් සුදුසු නොවේ.විපක්ෂයේ හඬ ජවිපෙ වුවත් ඔවුන් පාර්ලිමේන්තුව තුළ ඔවුන් සතු බලය සීමිතවීමද ගැටලුවකි.

"ජාතික ආණ්ඩු" බිහිවිය යුත්තේ "ජාතික ප්‍රතිපත්ති" පෙරදැරි කරගෙන මිස පුද්ගල පරමාර්ථ මුදුන් කර ගැනීමේ පටු චේතනාවෙන් නොවිය යුතුය.මේ "ජාතික ආණ්ඩුව" හොරු සමගින් හෙළුවෙන් එකට සිට ගැනීමකි.බල්ලන් සමග නිදියැමකි. 

Thursday, February 19, 2015

බයියෝ ගොඩක් මැද.




කළුබෝවිල ඉස්පිරිතාලේ ඉන්න යාළුවෙකුගේ අම්මා කෙනෙක් බලන්න ඊයේ හවස ගියා.යාලුවගේ අම්මාව බලලා ඉවර වෙලා කළුබෝවිලින් පිළියන්දල යන බස් එකක නැග්ගේ පිළියන්දලට යන්න.මාත් එක්ක ගැනු ළමයත් හිටියා.ඉතින් අපි සුපුරුදු විදියට බස් එකේ අන්තිම පේළියේ සිට් එකේ කොනේ ඉඳගත්තායින් පස්සේ කොහුවලදි බස් එකට තවත් අය නැග්ගා.දැන් බස් එක යන අතරේ මට එහා පැත්තේ වාඩි වෙලා හිටපු අන්කල් කෙනෙක් තමන්ගේ ශ්‍රී මුඛ්‍ය විවර කොට මැදමුලන පර්සි මහේන්ද්‍ර රජ්ජුරුවෝ ගැන ප්‍රශස්තියක් පටන් ගත්තා.  


"රට එක්සේසත් කරපු මනුස්සයා.රජෙක් එතුමාලෝකේ ඕනේ තැනක ගිහින් අපි ලංකාවේ මිනිස්සු කියලා බය නැතුව කියන්න පුළුවන් කෙරුවේ ඒ මනුස්සයා" ආදී වශයෙන්.ආ තව ලන්ඩන් වල ඉන්න පුතා කතා කරලා කිව්වලු ඒ අංකල්ට I'm Sri Lankan කියලා ආඩම්බරෙන් කියන්න පුළුවන් තත්වයක් මහේන්ද්‍ර රජ්ජුරුවෝ හදලා තියෙනවා කියලාත්:D

ඔන්න දැන් ඉතින් අංකල්ගේ කතාව යන අතරේ මට ඉස්සරහා සිට් එකේ වාඩිවෙලා හිටපු ගැනු කෙනෙකුත් මේකට මැදිහත් වෙලා මහා සහාසික විදියට කිව්වා "දැන් දෙමෙල්ලු කෙළින්න ගත්තාම රඟේ තේරේවි"කියලා.ඒ විතරක් නෙමේ මෛත්‍රිට ජන්දේ දීපු උන්ට හෙණ ගහන්න ඕනේ කියලත් කිව්වා.ආන්ටි එහෙම කිව්ව ගමන් මම ජනේලේ අයිනේ හිටිය මගේ කෙල්ලවත්  තල්ලු කරලා ජනේලෙන් එළියේ බැලුවේ මටත් හෙණයක් ඒවිද සැකයෙන්:D ඒ ආන්ටිගේ දේශප්‍රේමි,දෑහිතකාමී හෙණ යෝජනාවෙන්  පස්සේ බස් එකේ නැගිට සිටි තවත් කෙනෙක් ඒ හෙණ යෝජනවා අනුමත කරමින් කිව්වා "වෙනසක්නේ ඕනේ වුණේ,දැන් ඔය වෙලා තියෙන්නේ,හොරු හොරු කියලා අපහාස කරනවා අර මනුස්සයාට,ඕවාට සහ ගැහුවේ නැතිනම් තමා පුදුමේ කියලා.   

දැන් මෙව්වා අහලා මගේ කට නලියනවා මේ දේශහිතේසී අංකල්ලා,ආන්ටිලාගෙන් අහන්න "ඇයි යකෝ අපේ ඕනේකමටද තව අවුරුදු දෙකක්ම රට කන්න පුළුවන් කම තියාගෙන ජන්දේකට ගියේ" කියලා.එත් මගේ හිතේ තිබ්බ ඒ සිතුවිලි වචන කරන්න ඉඩ නොලැබුණේ මට එහා පැත්තේ හිටපු සුදු මගේ කනට කරලා ඒ කතාවට එකතු වෙන්න එපා කියලා දාපු ආදරණිය තහංචිය නිසා.මොකද ඇය දන්නවා මම එතන හිටපු පිරිසට එරෙහි දේශද්‍රෝහියෙක් බව.


ඉතින් ඒ මහින්දවාදී යටත්වැසියන්ට එරෙහිව කියන්න දහසක් දේ තිබ්බත් මම නිහඩව හිටියා.යම් විදියකින් කෙල්ල කිව්ව දේ අහන්නේ නැතුව මමත් මගේ වටේ ඉඳන් අපේ අන්තිම රජතුමාගේ ගුණ ගයනා කරන අයට කිසියම් දෙයක් කිව්වා නම් ඒ පිරිස එකතු වෙලා මට ගහන්නත් තිබ්බා.අපරාදේ කියන්න බැහැ ඒ තරම් ජාත්‍යලයක්!  


කොහොමින් හරි ජන්දෙන් පැරදිලා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ගෙදර ගිය මිනිහා ගැන මේ අය මේ තරම් විස්සෝප වෙන්නේ ඇත්තටම රටට තියෙන ආදරේ නිසාද?නැතිනම් තමන්ගේ පටු අරමුණු නිසාද?නැතිනම් මේ හැමදේම ජාත්‍යන්තර කුමන්ත්‍රණද?මට ඕනේ වුණේ අර මහින්දගේ අධම,මජර ඒකාධිපති පාලනයේ වෙනසක්.ඒ ඒකාධිපති පාලනය වෙනස් වෙලා තිබ්බත් අපි බලාපොරොත්තු වෙච්චි වෙනස ඒ විදියෙන්ම වෙලා නැහැ.ඒ ගැන කණගාටුවක් තිබ්බත් ඒ කණගාටුව මහින්ද රාජපක්ෂ නැවත රජ කිරීමට නම් හේතුවක් නොවේ. 


  

Monday, January 26, 2015

රට පෙරට (ද) ?

වියයුත්ත එපරිද්දෙන්ම සිදුවෙමින් මහින්ද රාජපක්ෂ පරදවමින් විපක්‍ෂ අපේක්‍ෂකයා ජය ලැබුවා.ජනධිපතිවරණයට පෙර අලුත් රටක් ගැන තිබ්බ බලාපොරොත්තු ඉටු වෙනවා දකිනකොට හිත ඇතුළේ ලොකු සතුටක් දැනෙනවා.අලුත් රජයේ යම්,යම් අඩුපාඩු පෙනෙන්නේ නැතුව නෙමේ.නමුත් අවුරුදු ගාණක් ආපස්සට ගිය රටක්,ක්‍රමයක් දවසින් දෙකින් එක පාරටම වෙනස් කරන්න අමාරුයි.නමුත් දැන් පේන්න තියෙන ඒ වැරදි,අඩුපාඩු සුළුවෙන් තකන්නේ නැතුව දැම්මම හදා ගන්න එක ආණ්ඩුවට වගේම රටටත් හොඳයි.

පරද්දන්න බැහැ,අමාරුයි කියලා හිතපු පාලනයක් පෙරළා දමන්න ජනතා බලයට හැකි වුණා.රට ත්‍රස්තවාදයෙන් මුදවා ගත්තා වුණත් මිනිසුන්ගේ සිතීමේ නිදහසට සිමා පනවලා සමාජය නිද්‍රශීලි කරලා හොරු,තක්කඩි,කට්ටඩි එක්ක රට තමන්ගේ හිතුමනාපෙට සදාකල්ම පාලනය කරන්න හිතාගෙන හිටපු පාලකයාට අකමැත්තෙන් හෝ තමන් වාඩි වෙලා හිටපු සිහසුනෙන් බැහැලා යන්න සිද්ධ වුණේ ඔහු වටා සිටි අයගේ ක්‍රියාකලාපයන් නිසා කියලා බොහෝ දෙනා පැවසුවත් ඔහුගේ පරාජයේ ඒ අය වගේම ඔහුත් කොටස්කරුවෙක්.තමන් වටා ඉන්න අය පාලනය කර ගන්න බැරි කෙනා කොහොමද රටක් හරියට පාලනය කරන්නේ?

කොහොමින් කොහොම හරි ජනාධිපතිවරණයට කලින් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් දිවිපුදන්න තරම් සුදානමින් සිටි අය මැතිවරණයෙන් පසුව මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තමන්ගේ කරගන්න උත්සහා කරන හැටි හරිම හස්‍යාජනකයි.එක අතකට ඒ ඉතින් මේ රටේ දේශපාලනයේ හැටිනේ.අවස්ථාවාදී දේශපාලකයෝ එක මොහොතින් තමන්ගේ පාට වෙනස් කරගන්නේ හරියට නිකං අහස වගේ,එක එක වේලාවට එක එක පාටයි.

ඒ කතා කොහොම වුණත් දැන් රට ඉස්සරහා ලොකු අභියෝගයක් තියෙනවා.එක තමයි මේ මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයාගේ ආණ්ඩුව මහින්ද මහත්තයාගේ ආණ්ඩුව ගිය පාරේම යන්න නොදී "යහපාලන" මාවතේම ඉදිරියට අරන් යන එක. ඒක වේදිකාවල කියන තරම් කරන්න පහසු කරුණක් නොවුණත් කරන්න බැරි අපහසු දෙයක් නෙමෙයි.

මට හිතෙන විදියට අලුත් ආණ්ඩුවේ දින සියයේ වැඩ පිළිවෙළ තුළ ප්‍රමුඛත්වය දෙන්න ඕනේ ව්‍යවස්ථා සංශෝධනයට.දුෂිතයින්ට,සොරුන්ට අනිවර්යෙන්ම නිතිය ඉදිරියට පමුණුවා දඬුවම් දිය යුතුයි.එකේ තර්කයක් නැහැ.නමුත් මේ වේලාවේ මුල්තැන දෙන්න ඕනේ ව්‍යවස්ථා සංශෝධනයටඔළු ගෙඩි මාරු වීමෙන් පමණක් රටට යහපතක් වෙන්නේ නැහැ.එකට ක්‍රමයේ වෙනසක් තියෙන්න ඕනේ.ඒ කරුණ සම්පුර්ණ කරගන්න පුළුවන් නම් මේ ජයග්‍රහණය තවත් අර්ථන්විත වනු නිසැකයි.

කලින් ජනාධිපතිගේ ආකර්ශනිය තේමවක් තිබ්බේ "රට පෙරට" කියලා.හැබැයි ඉතින් එක තේමා පාඨයටම සිමා වෙලයි තිබ්බේ.කිසියම් භෞතිකව පෙනෙන සංවර්ධනයක් තිබ්බත් රටේ සංස්කෘතිම හෝ අධ්‍යාත්මික සංවර්ධනයක් තිබ්බේම නැති ගාණයි."රට පෙරට" කොහොම වෙතත් "රට වලට" ගිය යුගයක් කියලායි මට නම් හිතෙන්නේ ඒ යුගේ ගැන. 

කොහොමින් කොහොමහරි ගිය දේවල් වලට වඩා දැන් උදා කරගන්න,දිනා ගන්න සැහෙන දේවල් තවත් බොහොමයක් තියෙනවා.අපි බලමු මේ ආණ්ඩුව යන මාවත දිහා ඉවසිල්ලෙන්.හැබැයි මේ ආණ්ඩුවත් ගියොත් මහින්ද ගිය කෑලෑ පාරේම මේ ආණ්ඩුවට විරුද්ධව ලියන්න කතා කරන්න පසුබට වෙන්නෙත් නැහැ අපි.මොකද අපිට ඕනේ ආපස්සට යන රටක් නෙමේ පෙරට යන රටක් නිසා.

Thursday, October 16, 2014

තුන්වරක් මහින්ද හා ප්‍රජාතාන්වාදය.


විවිධ  නම් වලින් හඳුන්වන ශ්‍රී ලංකාවේ නිල නාමය වන්නේ "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය"යන්නයි.එම නිල නාමයේ සඳහන් වන ප්‍රජාතාන්ත්‍රික යන වදනෙන් ශ්‍රී ලංකාව ප්‍රජාතාන්වාදී රටක් ලෙස අර්ථ ගන්වන නමුත් එය නාමික ප්‍රජාතාන්වාදයක් බව මාගේ හැඟීමයි.

ප්‍රජාතාන්වාදී රටක මුලිකම ලක්ෂණයක් වනුයේ ජනතා පරමාධිපත්‍යයි.ජනතා පරමාධිපත්‍ය මැන බලනා ප්‍රධාන සාධකයක් වන්නේ  මැතිවරණ පැවැත්වීමයි.ඒ අනුව යමින් ශ්‍රී ලංකාවේද මැතිවරණ පවත්වන නමුත් එම මැතිවරණ සැමවිටම බලයේ සිටින පාලකයින්ට වාසි සහා තමන්ගේ න්‍යය පත්‍ර ක්‍රියාත්මක කිරීමට හැකි පරිසරයක් තුලදී පමණක් පැවත්වීම ජන්දදායකයින් ලෙස අපට කරනා බලවත් අසාධාරණයක් මෙන්ම ප්‍රජාතාන්වාදයටද එල්ල කරනා බලවත් පහරකි.

2005දී තියුණු ජයක්ද 2010දී පහසු ජයක්ද ලබා ගනිමින් රටේ පාලන සුක්කානම දෙවරක් අතට ගත් මහින්ද රාජපක්ෂ ප්‍රජාතාන්වාදී වෙස් මුහුණක් යළි  පැළද ගනිමින් නැවතත් තරගයට පිවිසෙන්න සැරසෙන මොහොතේ ජනතා විමුක්ති පෙරමුණත්,සරත් එන් සිල්වාත් ඇතුළු පිරිසක් එසේ තෙවැනි වරටත් මහින්ද රාජපක්ෂ මහතා තරඟ වැදීම ව්‍යවස්ථා විරෝධී බව පවසමින් විවිධ සම්මත්‍රන පවත්වමින් යන අතර ශිරාල් ලක්තිලක විසින් පවසා සිටියේ මැතිවරණ කොමසාරිස්වරයා නැවත වරක් මහින්ද රාජපක්ෂට නාමයෝජනා ලබා දෙන්නේ නම් ඔහුට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන බවයි.

එසේ මීළඟ ජනාධිපතිවරණයට තෙවැනි වරටත් ජනාධිපතිවරයාට ඉදිරිපත්වීමට හැකි/නොහැකි යයි කියා ගෙන එන තර්ක ගැන මෙයට පෙර රාජ් විසින් සටහනක් තබා ඇති අතර ඔය කුමන තර්කයක් යටතේ හෝ කුමන නීතියක් යටතේ වුවද මහින්ද රාජපක්ෂ නැවතත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම වැලක්විය නොහැකි කරුණක්ව තිබේ.මන්ද මේ වනවිටත් ජනාධිපතිවරයා විසින් නැවතත් තමන් තරඟ කරන බවට කර තිබෙන ප්‍රකාශ හේතුවෙන්ය.

සම්මත හෝ අසම්මත වේවා මහින්ද රාජපක්ෂට රෑට හිතෙන දේ පසුවදා රටේ නීතිය වන විට කවුරුන්,කෙසේ තර්ක කෙරුවත් කුමන අධිකරණ ක්‍රියාමාර්ගයක් ගනු ලැබුවත් ඒ සියල්ල තමන් සතු අසීමාන්තික විධයක බලය යොදවමින් නිරර්ථක කරන්නට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පසුබට නොවන හෙයින් මීළඟ ජනාධිපතිවරණයටද ඔහුගේ පැමිණීම අනිවාර්ය වී තිබේ.

එය එසේනම් දැන් කළයුත්තේ මහින්දට තුන්වරක් බෑ යනුවෙන් කීම නොව මහින්ද පරාජය කල හැක්කේ කුමන ආකාරයෙන්ද යන්න විමසා බැලීමයි.මන්ද පළමුවර මහින්ද චින්තනයෙන්ද,දෙවැනි වර මහින්ද චින්තන ඉදිරි දැක්මෙන්ද රට විශාල ආර්ථික,සමාජ අගාධයක් කරා ගෙන ගිය/යන මහින්ද මහතා තවත් වරක් බලයට පැමිණියද මේ යන ගමන වේගවත් වනු මිසක ඉන් රටට සෙතක් වේයැයි සිතිම අපහසු කරුණක් වී තිබේ.රජයේ හවුල්කරුවන් පවා රජය ගැන කලකිරීමට පත්ව සිටින මොහොතක විපක්ෂය මෙයට වඩා ක්‍රියාකාරීව ජනතාව වෙත සමීප වුවහොත් මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ජයග්‍රහණය සිහිනයක් කිරීම අපහසු නොවේ.

Wednesday, May 28, 2014

කදුළු ඇසේ තවම නැගේ මටත් හොරෙන් වාගේ.





         

අමාවක අහසට පුර සඳක්කොහින්දෝ
ගලා හැලෙන කදුළු වලට තිතක් කොහින්දෝ
පරවී වැටෙන මල් පොකුරේ සුවඳකොහින්දෝ
ඔබ ගැන නොසිතා මට හෙටක්කොහින්දෝ
  
එක කුඩයක් යට ගුලි වුණා මතකයි පොදවැස්සේ
දෙකොපුල් ඔබේ සිප ගත්තා ඒ හිරිමල්වයසේ
සිහිල් සුළන් හමා යද්දී අප වට කරනිතොරේ
තුරුල් වුණා ඔබ හෙමිහිට මගේ ළමැදමැද්දේ
  
අතිනත ගෙන අපි ඇවිදපු නුවර විදීදිගේ
අරලියා මල් පිපී තිබුණා මතකදහැන්දෑවේ
අන්නතවූ සතොසින් පිරි ඒ අතීතේ සිහිවන හැමවාරේ
කදුළු ඇසේ තවම නැගේ මටත් හොරෙන්              




වාගේ
ප.ළි.ය:-මේවා කවිද මන්දා.?කොහොම වුණත් මේ කවි ටික ලස්සනට මේ විදියට දාගන්න පුළුවන් වුණේ කාලෙකට කලින් අපේ දේශා මැතිතුමා එවාපු ලින්ක් එකක් උපකාරයෙන්.ඉතින් ඒ ලිනික් එක නිර්මාණය කරපු අළුත් මල්ලිටත්,දේශාටත් දෙන්නාටම තුති.. පින්තුරේ අන්තර්ජාලෙන්.

Saturday, May 17, 2014

රටත් බල්ලට,නීතියත්....?



ඇරිස්ටොටල්ට අනුව "නිතිය යනු තාර්කික බුද්ධියේ උත්තරීතර ඵලය" වේ.එමෙන්ම ප්‍රජාවක් පාලනය කිරීමට නම් නිතියක් පැවතීම අනිවර්යවේ.මන්ද එසේ නොවන්නට සමාජයතුළ තිබිය යුතු සාධරණය,ප්‍රජාතන්ත්‍රවාදය වැනි මානව ගුණධර්ම සුරකීම අතිශය අපහසු කරුණක් වන බැවිනි.එමෙන්ම පවතින නිතිය සියල්ලන්ට සර්ව සාධාරණවත්,අපක්ෂපාති ලෙසත් ක්‍රියාත්මකවිය යුතු බවට තර්කයක් නැත.


එය එසේ වුවද ලෝකයේ වෙනත් රටවල් ඉදරියට ගමන් ගන්නා යුගයක එයට සාපේක්ෂව පසුපසට ගමන් ගන්නා රටක්ව තිබෙන සහා විධායකයේ ඒකාධිපතිත්වයට ගොදුරුවූ "ගොබෙල්ස්" න්‍යායෙන් පාලනය වන රටක එසේ නිතිය සර්ව සාධාරණව,අපක්ෂපාතිව ක්‍රියාත්මක වේයයි සිතීම මුලාවක් වුවත් පාලකයින් විසින් නාමිකව හෝ පවතින නිතිය පාලනය කිරීමට තැත් කිරීම කිසිසේත් සුදුසු නොවේ.

එසේ වුවද ජනාධිපතිවරයා යටතේ ඇති නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වන නීතිපති සරත් පාලිත ප්‍රනාන්දු විසින් පසුගිය 09 දා කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පැවති ස්ත්‍රි දුෂණ නඩුවකට මැදිහත් වෙමින් නීතිපතිවරයා දැනුම් දී තිබුණේ එම ස්ත්‍රි දුෂණ ක්‍රියාවට සම්බන්ධ සැකකරුවන්ව නිදහස් කරන ලෙසටය.

නමුත් මෙහි ගැටලුව වන්නේ මෙම සිදුවීම සම්බන්ධයෙන් නාරම්මල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන්ට විරුද්ධව ප්‍රමණවත් තරම් සාක්ෂි තිබියදී සහා මෙම දුෂණයෙන් පසු එම තරුණියට දරුවකු ලැබී තිබියදීත් එමෙන්ම එම දරුවාගේ පියා අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් බවට DNA වාර්තාවකින් තහවුරුවී තිබියදීත් අධිකරණ වෛද්‍ය වාර්තාවේ පවා තරුණිය දූෂණය කිරීමකට ලක්ව ඇති බව හෙළිදරව් කර තිබියදී මෙම නිදහස් කිරීම සිදුකිරීම ඉතාමත්ම පිළිකුල් සහගත මෙන්ම නරක පුර්වාදර්ශයක්ද වේ. 

මේ නිදහස් කිරීම ඔස්සේ පැනනගින ප්‍රධාන ගැටලුවක් වන්නේ නිතිය ගැන යම් පමණක හෝ විශ්වාසයක් පැවතියෙනම් මෙවනි සිදුවීම් තුළින් එම සුළු හෝ විශ්වාසය පලුදු වීමත් පිළිගත් නිතිය වෙනුවට කෑලැ නිතිය සමාජගත වීමට ඇති ඉඩකඩ තව,තවත් පුළුල් වීමත්ය.

 නිතිය සුරැකීමට සිටින අයත් නීතියේ දෙවගන මෙන් කඩතුරාවකින් දෙනෙත් වසා සිටිනම්,නිතිය ගැන විශ්වාසයක් තැබිය හැක්කේ කෙසේද?
මේ නීතිපතිවරයා යම් දිනෙක අගවිනිසුරුධුරයට පත් වුවහොත් කුමක්සිදු වනු ඇතිද?අගතියට පත් අය වරදකරුවන් වන්නත් වරදකරුවන් නිදොස් කොට නිදහස්වීමත් සිදුවන්නට වුවද බැරි නැත.

මේ වනවිටත් නීතියේ ආධිපත්‍ය පිරිහී ගොස් ඇති රටක.තමන්ට අහිතකර තීන්දු දෙන විනිසුරුවන් පාලකයන් විසින් දන්ගෙඩිය කරාගෙන යන රටක.එසේනම් යුක්තිය බලාපොරොත්තු වන්නේ කවරෙක්ගෙන්ද.?

කෙසේ වෙතත් ඉහත සිදුවීම සම්බන්ධයෙන් නිතිපතිවරයා විසින් කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා වෙත සැකකරුවන්ව නිදහස් කරන මෙන් දන්වා ඒවා ඇති ලිපියේ දිනයක් සදහන් නොවී තිබීම මෙන්ම එසේ එම සැකකරුවන්ව නිදහස් කරන්නේ කුමන හේතු මතද යන්න සඳහන් නොවීමත්වීම තුළ මේ සිදුවීම ගැන දැඩි සැකයක් උපදවයි. 

පෙරදිග මුතු ඇටය මේ වනවිට බල්ලට ගොස් ඇත.දිනෙන් දින රට සමාජීය,ආර්ථික ලෙස පරිහානිය කරා ගමන් කරමින් තිබේ.එවැනි රටක මෙවැනි දේ වාර්තා වීම අරුමයක් නොවුණත් මේ තුළින් සමාජය කරා දෙන පණිවිඩය කිසිසේත්ම සුබදායක නොවනු ඇත. 



ප.ළි.ය:-"ඇස්" ගැන කාතවක්  ලියලා එක නොදා මේක ලියන්න හිතුවේ මෙවැනි දේ අසමින්,දකිමින් නොදැක්කා,නොදුටුවා සේ නිහඬව සිටීම නිවට කමක් යයි හැගුණු බැවිනි.

පිංතුරය අන්තර්ජාලෙන්.

පසු සටහන.
03.06.2014
මෙම සිදුවීම ගැන නිතිපතිවරයා විසින් කරන ලද පැහැදිලි කිරීමක් පසුගිය මැයි 22 "ලංකාදීප"පුවත් පතේ මෙසේ පල කර තිබිණි.


එනමුත් එම පැහැදිලි කිරීමේ කිසිදු තැනක මේ තරුණියට ලැබී ඇති දරුවා ගැන හෝ ඒ සම්බන්ධව ලැබී ඇති DNA වාර්තාව ගැන සදහන් නොවේ.



Monday, March 24, 2014

අපේක්ෂක රුවන් වැකි සහා මගේ මනාපය.


මිනිසා කියන්නේ දේශපාලන සත්වයෙක් කියා කියනවා මම කොහේදී හෝ දැක හෝ කියවා තිබෙනවා.කොහොමත් අපි එක එක්කෙනාට විවධ දේශපාලන මත තියෙනවනේ.මටත් එහෙමයි.

මේ දිනවල අපේ බස්නාහිර පලත් සභාවේ ඡන්දය නිසා අපේ දුක,සැප හොයාගෙන අපේ ගෙවල් දොරවල් වලට එන අයත් බොහොමයි.මේ අය අපේ පවුල් වල අයටත් වැඩියෙන් අපේ ප්‍රශ්න ගැන සංවේදී වෙන විධිය දැක්කාම හිතට එන්නේ අප්‍රමාණ ප්‍රීතියක්.

එත් අවංකවම එයාලා අපේ ප්‍රශ්න ගැන මේ තරම් සංවේදීද..?  

මම කොළඹ දිස්ත්‍රීක්කයේ ඡන්දදායකයෙක්,ඉතින් මේ දිනවල මැතිවරණයේ කැන්වසින් යන අය හරි,හරියට අපේ ගෙවල් වලට එනවා.හරියට අලුත් අවුරුද්දට නෑදෑයෝ එනවා වගේ.ඉතින් මේ එන අය අපිට දීලා යන ලිෆ්ලට් දැක්කාම මේ අය අපට කරන්න හදන මේ සේවයම ඇති එයාලාට නිවන් දකින්න.

දැන් එක්කෙනක් කියනවා

"හරි මග ගෙන යන උදය ගම්මන්පිල" කියලා.ඒ කියන්නේ මේතාක් කාලයක් අපි ගිහින් තියෙන්නේ නොමග වෙන්න ඇති.:Dහැබැයි ඉතින් ඕනෙම හොද දෙයක් නිකන් ලබෙන්නේ නැහැ වගේ අපිව හරි මග ගෙනියන්න එතුමා අපෙන් රුපියල් 100 බලාපොරොත්තු වෙනවා. 

තවත් කෙනෙක් එන්නේ "හිරු උදාවූ වගයි" කියමින්.ඒ කියන්නේ මේ දක්වා අපි හිටියේ අදුරේ කියන එක වෙන්න ඇති."මනුෂ්‍යත්වයේ නාමයෙන්,සත්‍ය වෙනුවෙන් පෙනි ඉන්න" එන ඇය වගේම තවත් බොහොදෙනෙක් විවිධ පාඨ කියාගෙන එනවා.

සමහරු එන්නේ "අතිශයින්ම ජනතා සේවයට" කියමින්,තවත් අය "දුෂණයට,අවනිතියට එරෙහිව,එකාධිපති වියරුව පරදවන්න,කල දේ ඉදිරියටත් කරන්න,නොකළ දේ කරන්න එනවා.සමහරු "දුප්පතාගේ හිතවත්තු"තවත් ඈයෝ "දුප්පතුන්ගේ ගැලවුම්කාරයෝ"වෙලා.ඒ විතරක් නෙමේ සමහරු එන්නේ "අහවලාගේ ආශීර්වාදයෙන්,මෙයාගේ උරුමයෙන්" කියලයි.තවත් අය "බුද්ධියේ පෙර ගමන්කරුවෝ" ඇවිත් අපේ බුද්ධිමත් මනාපය ඉල්ලා හිටිනවා.

හැබැයි ඉතින් මේ කවුරු කොහොම අවාත් මෙවරත් සුපුරුදු පරිදිම එත් එක වෙනසක් සහිතව මෙවර මැතිවරණයේ මගේ ඡන්දය භාවිතා කරන්නයි මම බලාපොරොත්තු වෙන්නේ.සුපුරුදු පරිදි කිවේ මම කොහොමත් විපක්ෂයේ ඡන්දදායකයකු නිසයි.වෙනසක් කිවේ මේවර ජවිපෙ වෙනුවෙන් දෙන්න තීරණය කර ඇති නිසයි. 

මට හිතෙන විදියට දැන් මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නය ජිනීවා ගැටලුව හෝ ජිවන වියදම ඉහළ යාමවත් රජයේ තියෙන මහා පරිමාණ දුෂණ,වංචාවත් නෙමේ ශක්තිමත් විපක්‍ෂයක් නොමැති කමයි.මොකද මේ ආණ්ඩුව මේ තරම් බල වියරුවකින් ක්‍රියා කරන්නේ විපක්ෂයෙන් තමන්ට අභියෝගයක් නැති නිසායි.එසේ වුවත් මේ වෙලාවේ ආණ්ඩුව පෙරළීමට වඩා ශක්තිමත් විපක්ෂයක් ගොඩ නැංවීමයි ප්‍රමුඛ කාරණාව ලෙස ගත යුත්තේ .

දැන් මේ වෙනකොට මේ රජය මොන තරම් ජනතාව මර්දනකාරී ලෙස හැසිරුනත් එක ඒතරම් රටේ ජනතාවට නොදැනෙන්නේ ජනතාව මේ වෙනකොට රජයේ දැවැන්ත මාධ්‍ය ප්‍රචරණ ඉදිරියේ නිර්වින්දනය වෙලා තියෙන නිසා වෙන්න ඕනේ.එතකොට ඒ නිර්වින්දනය නැති කරන එක තමයි විපක්ෂයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ.නමුත් අවාසනාවකට වගේ අපි බලාපොරොත්තු වෙන ඒ දේ දැන් යු.එන්.පි යෙන් නොවෙන ගණයි.එක්සත් ජාතික පක්ෂයත්,රජයටත් දෙකක් නොවේ එකක් කියා හිතෙනවා සමහරක් විට මේ අයගේ හැසිරීම දැක්කාම.එක නිසා ඉතින් මේ වෙලවේ මට හිතෙන විදියට ශක්තිමත් විපක්ෂයක් ගැන අපේ බලාපොරොත්තු තියා ගන්න වෙලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ සමගින් තමයි.

දැන් එතකොට තවත් කෙනෙකුට අහන්න පුළුවන් එකම විකල්පය ජනතා විමුක්ති පෙරමුණ විතරද.?ඇයි ෆොන්සේකා මහත්තයාගේ "ප්‍රජාතන්තවාදී පක්‍ෂය"හොද නැතිද කියා.නමුත් මට පේන්න තියෙන විදියට ප්‍රජාතන්තවාදී පක්‍ෂය දුෂණයට එරෙහි හඩක් නැගුවත් ඔවුන් තුළ තවමත් පිළිගත්  ප්‍රතිපත්තියක් නොමැති වීම විශාල අඩුවක්.අනික් අතින් එම පක්ෂයේ සිටින බහුතරයක් දෙනා එක්සත් ජාතික පක්ෂයෙන් ගැලවී ආ පිරිස්.ඉතින් ඒවැනි අයගෙන් මේ පවතින ක්‍රමයේ වෙනසක් බලාපොරොත්තු වෙන්න බැහැ.අනික් අතට ෆොන්සේකා මහත්තයාගේ ආඥදායකත්වය මම පිළිගන්නේ නැහැ.

මේ ආණ්ඩුව තනි පුද්ගලයෙක් වටා කේන්ද්‍රගතව තිබුණාත් ශක්තිමත් රජයක් බව අපි පිළිගන්න ඕනේ.ඉතින් එහෙම රජයකට අභියෝග කරන්නත් ඒ තරම්ම ශක්තිමත් විපක්ෂයක් තිබිය යුතුමයි.දිනෙන් දින රට ගමන් කරන්නේ ආරාජිකත්වයට.ඒ ගමන ආපසු හැරවීම අපහසු නමුත් අනිවාර්යෙන්ම කළයුත්තක් වී තිබෙනවා.ඉතින් ඒ උදෙසා මට කල හැකි එක දෙයක් තමයි මේ.නිහඩව බලා සිටීම මේ ප්‍රශ්න වලට විසදුමක් නොවේ.කළයුත්තේ ක්‍රියාත්මක වීමයි.අපිට හැකි අයුරින්,අපිට හැකි පමණින්.

ප.ළි.ය:-මා ජවිපෙ කරුවෙකු නොවන වග සැලකුව මැනවි.

 පිංතුර ගුගල්ගෙන්.

නුෂ්‍යත්වයේ නාමයෙන්,සත්‍ය වෙනුවෙන් පෙනි ඉන්න