Friday, January 10, 2014

හිච්චි මාමා වෙනුවෙන්.



මෙයට පෙරත් ජනධිපතිතුමාට ලියුමක් ලීවා.

ආදරණිය ජනධිපති මාමේ,

මෙන්න මේ ලියමන ලියන්නේ බෝගම්බර ඉන්න අපේ හිච්චි මාමගේ බලවත් පෙරැත්තය නිසාය.

පහුගිය දොහක මාමා බලන්නට බෝගම්බර ගිය වෙලේ හිච්චි මාමා මට බලකොට කියා සිටියා මේ ගැන ඔබතුමාට ලියන්නයි කියා.මේක ලියන්න පරක්කු කොරන්න එපා කියලා මේ යකා මාමා මට කෝල් කරලත් නිතරම කියන නිසාත්, උන්දැ කියන දේවල් වල ඇත්තක් තියෙනවයි මගේ ටිකිරි මොළේටත් වැටහෙන නිසායි මේ ලියුම් කරදාහිය ලියන්නේ.

කසිප්පු අරක්කු පෙරුවත් අපේ හිච්චි මාමා ගමේ වුන්න හරිම අහිංසක,සාධරණ මිනිහෙක් බව අපි හොදටම දන්නේය.මම එහෙම කියන්නේ එකා අපේ මාමා නිසාම නොවේය.අනික කසිප්පු අරක්කු පෙරුවත් ඒකා ඒහෙම කළේ ගමේ වුන්ගේ බලවත් ඉල්ලීම නිසාය.මාමාට බෝගම්බර මහා උළු ගෙදර ලගීන්න වුණේ ගමේ වුන්නු එපාම කරපු චණ්ඩිය වෙච්චි ඉන්දරේට පිහියෙන් ඇන මරාපු නිසාය.මාමාට එහෙම ඉන්දරේ මරන්නට සිද්ධ වුණෙත් මාමාට ඔබතුමාට වගේ අයුක්තිය,අසාධරණේ පෙන්වන්න බැරි නිසාය.  

හැමදාම මාමා පෙරන අරක්කු බලහත්කාරයෙන් නිකං බිලා ගිය  ඉන්දරේ එහෙම යන ගමන් ඔබතුමාටත්,අපේ දේශප්‍රේමි ආණ්ඩුවේ මැති ඇමතිලාටත් බැණ,බැණ ගියේ ඌගේ සරමත් කරට අරන්ය.ඌ ඔබතුමාට නිතරම බැන්නේ චින්නුන්ගෙ ගිනිපොලි ගෙවන්න ඔබතුමා අරක්කු,සිගරට් මිල උස්සනවා කියලාය.ඒ නිසා අපේ මාමා පෙරන දහාජරාව බොන්න වෙනවායයි ඌ නිතරම කිවේය.එත් එහෙම ඔබතුමා අරක්කු,සිගරට් මිල උස්සන්නේ වෙන හේතුවක් නිසා නොව ඉන්දරේ වාගේ බේබද්දන්ගේන් මේ උතුම් මෘතෘ භූමිය රැකගන්නට බව උන් පිළිගත්තෙම නැතිය.

අනිත් අතට ඒවයේ මිලගණන් එහෙම ඉහළ යාම නිසා අපේ හිච්චි මාමලාටත් වාසිය.ඒ හිචිචි මාමා පෙරන අරක්කු වලට තියෙන ඉල්ලුම වැඩි වීමෙන් මාමාගේ ආර්ථිකේ යහපත් වන නිසාය.මාමාගේ ආර්ථිකේ යහපත් නිසා මාමාගේ ගෙදර ආර්ථිකේට හොදය,ගෙදර ආර්ථිකේ යහපත් නිසා එකෙන් හන්දියේ කඩේට වාසිය,කඩේට වාසියි යනු රජයට වාසි වීමයි.ඒ කඩේ තියෙන හැමදේටම ඔබතුමාලා බදු අය කරන නිසාය.මෙන්න මේ සරල ආර්ථික න්‍යායවල් ඉන්දරේලා වගේ මෝඩයන්ට තේරෙන්නේ නැත.

හැමදාමත් අපේ මාමා හොරකම්,මැරකම් නොකර ඉතා දුක සේ පෙරන මේ අරක්කු ටික ඉන්දරේ වගේ උන් පිනට බිලා යන එක මාමාට බලාගෙන ඉන්න බැරුව ගියේය.     

ඒ මන්දයත් අපේ හිචිචි මාමාටත් ජනධිපති මාමාට සේම අසාධරණේ පෙන්වන්න බැරි නිසාය.අවසානයේදී ඉවසලා,ඉවසලා බැරිම තැන මාමා තීරණයක් ගත්තේය.ඉතින් මාමේ ජනධිපති මාමේ එහි අන්තිම ප්‍රතිපලය වුණේ අපේ අහිංසක හිච්චි මාමාට බෝගම්බර ලගින්නට වුණු එකය.අනේ එකෙන් අපේ හිච්චි මාමාට සිද්ධ වුණේ නම් බලවත් අසාධාරණයක්ය.මහත් වරදක්ය.

අවසානේ කුරුලු කුඩුවක් වගේ තිබුණු හිච්චි මාමාගේ ගෙදර දැන් සිසීකඩය.නැන්දාත් දැන් ජයේ මාමාලාගේ ගෙදරය.එකටත් අපේ මාමාට වාවාගෙන ඉන්න බැරිය.අනික ඔය ජයේකාරායා වරක් මටත් පාර්ට් එකක් දැම්මේය.ඌට පාඩමක් කියා දෙන්න අපේ හිච්චි මාමා එන්නම ඕනෙය. හිච්චි මාමා නිතරම කියන්නේ අනේ ඉතින් මේ වරද නිවැරදි කරන්න පුළුවන් ඔබතුමාට පමණක්ම කියලාය.එකත් ඇත්තය.මාමාත් එක්ක එක කල්දෙරමේ බත් කාපු එස්.බි ඇමතිතුමාගේ කට්ටියක් ඔබතුමාගේ කරුණාවෙන් ගෙදර යන්න ලැස්ති වෙනවාය.ඉතින් අපේ හිච්චි මාමා කියන්නෙ හරිනම් එයාටත් මේ නිදහස ලැබෙන්න ඕනේ කියාය.

මේ නිදහස හිච්චි මාමාටත් ලැබෙන්න ඕනේ කියා මට කෝල් කරලා හිච්චි මාමා මට කිවේ මෙන්න මේ කරුණු නිසාය.
  1. ඔබතුමාගේ පාක්ෂිකයෙක් වීම.
  2. ඉන්දරේ වැනි දේශද්‍රෝහීන්ට විරුද්ධ වීම.
  3. ජන්ද කාලෙට ඔබතුමාගේ ගෝලයන් වෙනුවෙන් දන්සැල් දී තිබීම.
  4. ජන්ද කාලෙට විරුද්ධ පාක්ෂිකයන්ට පහරදී තිබීම.
  5. ඔබතුමාට මෙන් මාමාටත් උඩු රැවුලක් තිබීම.
මේවාට අමතරව තවත් කරුණු ගොඩාරියක් හිච්චිමාමා කිවාත් මට ඒවා අමතකය.මේ මතක ටිකය.

ඉතින් ආදරණිය ජනධිපති මාමේ,ඔබතුමා මේ කරුණ ගැන ඉතා සංවේදීව බලනු ඇති බව අපේ හිච්චිමාමා හිතයි. ඒහිරකරයෝද මනුෂ්‍යන් වන බැවින් හා ඔබතුමා අපේ සංවේදී නායකතුමා වන නිසාය.

ප.ළි.ය:කාලෙකින් දේශපාලනයට සම්බන්ධ කිසිවක් ලියන්නට නොහැකිවූ නිසා මෙය ලියන්නට සිත්විය.උඩ කාටුනය අවන්ත ආටිගල ගෙනි.




Friday, January 3, 2014

සිතල දුරුත්ත.


මේ වගේම සිතල දුරුත්තක අපි හමුවුණු හැටි කොහොමද අමතක කරන්නේ?කවදාවත් අමතක නොවන මුළු ලෝකෙම සමරන දවසක අපි පෙමින් බැදුන හැටි,අමතකද ඔය සිනිදු අත මගේ මේ සුරත උඩින් තියලා හිමි,හිමිට ඔය දෙතොල් පෙති මුමුණලා කිව්වා මට ඔයා ආදරේයි කියලා.ජිවිතේට වසන්තේ ආවේ එදා තමයි කියලායි මට හිතුණේ.

මතකද ඒ වසන්තේ අපේ ජිවිතවලට කොයි තරම් මිහිරක් ගෙනාවද කියලා.ඉර ඇහැරෙන්නත් කලින් අවදිවෙලා ඔයා සුබ උදැසනක් කියලා එවපු දුරකථන පණිවිඩයෙන් පටන් ගන්න දවස ඒ ඉර අවරට ගිහින් මුළු ලෝකෙම නිදිය ගන්න වේලාවේ ආයෙමත් ඔය එවන සුබ රාත්‍රියක් කියන පණිවිඩයෙන් ඉවර වෙන දවස පුරාවටම කොයි තරම් දේවල් අපේ ජිවිතවල සිද්ධ වෙන්න ඇතිද...?අමතක නැහැ නේද අපි ඒවාට මුහුණ දීපු හැටි.

මතකයි නේද අත්වැල් පටලාගෙන අපි ගමන් කරපු හැටි මහරගම නගරය පුරාවටම,සමහරක් දවස්වල ඒ විදියට අරමුණක් නැතුව ඇවිදලා,ඇවිදලා හති වැටෙනකොට,බොරලැස්ගමුව වැව ගාවට ඇවිත් ගල්බංකුවක් උඩ වාඩිවෙලා වැවේ හංස බෝට්ටු පදින අය දිහා බලගෙන හිටි හැටි සමහරක් දවස්වල එහෙම බෝට්ටුවක අපිත් නැගලා පැදපු හැටි අමතකද කරන්නේ කොහොමද.?

ඇයි සමහරක් වැසි දවස්වල එකට තුරුල් වේවි එක කුඩයක් යටින් ඇවිදන් ගිය හැටි,තවත් දවසක ගිනිගෙන දැවෙන හිරුගෙන් බේරෙන්න ඒ කුඩේ යටම අපි ගුලි වුණ හැටි හරියට නිකන් අද ඊයේ වගේයි නේද ඒ මතකය.

වෙරළේ මාළිගා හැදුවොත් රැල්ල ගහනකොට ඒවා කැඩෙනවා.අහසේ මාළිගා හැදුවත් ඒවා වළාකුළු එක්කම නැතිවෙනවා.ඒ බව දැන,දැනම අපි වෙරළේ මාළිගා හැදුවා,අහසේ මන්දිර තැනුවා.අනාගතය ගැන හින මැව්වා.ඒ දැකපු හින,ඒවා යථාර්ථයක් කර ගන්න අපි දරපු වෙහෙස,උත්සාහයන් කොයි තරම්ද?මගේ හෙවනැල්ල කියලා සමහරු ඔයාව දකිනකොට,එහෙම දැකපු අයට මම කිවේ ඔයා මගේ හෙවනැල්ල නෙමේ මගේ හුස්ම කියලායි.

එත් ඒ වසන්තේ හැමදාටමත් පවතින වසන්තයක් නොවුනේ ඇයි කියන ප්‍රශ්නයට තාමත් මම උත්තර හොයනවා.ජිවිතේ ලගින්ම වුන්න සමහරක් අය අපෙන් ඇත්වෙනකොට අපි කොයි තරම් ලං වුණාද?එත් දවසක මේ වගේ දුරස් වෙන්න වේවි කියලා හිතුණානම් සත්තයි ලං වෙන්නේ නැහැ ඒ තරම් කවදාවත්.

සිතල දුරුත්තක හමුවුණු අපි ඊටත් වඩා සිතල දුරුත්තකදීම සමුගත්තා.ඒ තීරණය හරි වුණත්,වැරදුණත් ඒක යළිත් හරවන්න අපි දෙන්නාටම නොහැකි වුණත්,තාමත් සිතල දුරුත්ත එනකොට ඔයා ගැන මතකය අවදි වෙනවා වෙනදාටත් වඩා වැඩියෙන්.ඉතින් මේ සිතල දුරුත්තේ මට නිතරම මතක් වෙන ප්‍රශ්නයක් තියෙනවා.කවදාවත් උත්තරයක් නොලැබෙන.


දුරස් වන්නට මේ ලෙසින් 
ඇයිද අප හමුවුණේ
දුරස් වන්නට මේ ලෙසින් 
මොටද අප ඉපදුණේ 

අත්වැල් බැද මංමාවත් දිග 
ඔහේ ඇවිද ගිය කාලය මතකද 
පුංචි ළදැරියක් වගේ හුරතලෙන් 
ඔබ හිනැහුණු ඒ කාලය මතකද  

අනාගතය ගැන අහස් මාළිගා 
අප දෙදෙනා මැව් කාලය මතකද 
ඔබේ පෙම්වතා ලෙසින් එදා මා 

ඔබේ ලගින් වුන් කාලය මතකද.

ප.ළි.ය: මේ ලොකු ඇස් ගැන නොවේ.අමතක කරන්න අමාරු තවත් ඇස් දෙකක් ගැනයි මේ.
මේ පිංතුර ගුගල්ගෙන්.සිංදුව යු ටියුබ්. 

Tuesday, November 5, 2013

හැදු මව.



හිමිවීම් වලට වඩා අහිමිවීම්  හිමි මගේ ජිවිතයේ තවත් අහිමිවීමක් පසුගිය වප් පෝය දිනයේදී සිදුවුයේ ලෝකයේ ඇත්තේ යාම් සහා ඉම් පමණි යන මහාචාර්ය සරත්චන්ද්‍රයන්ගේ  කීයමන නැවතත් සැබෑ කරමිනි.මා පෙරදී පවසා ඇති පරිදි අප කුඩා වියේදීම සිදු වූ මවගේ වියෝවෙන් පසු අපගේ මව් වුයේද ඇයයි.සැබැවින්ම මිත්තනියකට වඩා මවක වෙමින් ඇය අප වෙත දක්වන ලද ඒ සෙනෙහෙවන්ත ප්‍රේමය ඇයගේ කුසින් වැදු දරුවන් පස්දෙනා වෙත ඇය පෑ පෙමට නොදෙවැනිවිය.

අපගේ මවගේ වියෝවිමෙන් පසු අප කුඩාවුන් තිදෙනෙකුගේ කටයුතු තනිව කරගැනීමට පෝලියෝ රෝගයෙන් පිඩාවිදි මගේ පියාට අපහසුවන වාතාවරණයක් තුළ අප සමගින් පදිංචියට පැමිණි ඇය විසින් අප වෙත කවා,පොවා අප පෝෂණය කිරීම පමණක් නොකොට අපගේ කැතකුණු පිරිසිදු කිරීම පවා කිසිදු අපුලකින් තොරව සිදුකළ ඇය සිතල දිනවලදී මාහට ස්නානය සදහා ජලය රත්කරදෙනු ලබන්නේ "නාකි මට  මේ සිතලේ හොදට නාන්න පුළුවන් කොල්ලෝ වුණ උඹලාට තමයි බැරි"යයි පවසමිනි. 

අපවෙත හොද අධ්‍යාපනයක් ලබා දීම ඇතුළු අපගේ හුදුමහත් කටයුතු රාශියක් සිදුවුයේ ඇය අතිනි.අපගේ පාසැල්වල ගුරුදෙගුරු රැස්වීම් වලට සහභාගී වීමේ සිට අමතර පංති සොයාගෙන ඒවාට අපව යොමු කරමින් වඩාත් විධිමත් අධ්‍යාපනයක්ද අපට  ලබාදීමට ඇය මහත්සේ වෙහෙසුණේ ඇතැම්විට ඇයගේ රෝගී තත්වයන් ගැන පවා නොසලකමිනි.

ගමේ සමිති,සමාගම් වල ප්‍රමුඛ ක්‍රියකරිනියකද වූ ඇයගේ මරණ කටයුතු වලදී මුළු ගමම අප සමගින් එක්වුයේ ඇතැම් විට අපටද සිත ගත නොහැකි ලෙසය. 

මිහිපිට ඇති ඕනම රසවත් ආහරක් සැදීමේ හැකියාවද ඇය සතුව ඇතිඅතර ඇය සාදන ෆැන්කේක් වල රස දැනුදු මාගේ දිවට දැනෙන්නක් මෙනි.අප ඉල්ලා සිටින ඕනම ආහාරක් ඇය අප වෙනුවෙන් සැදුවේ මහත් වූ දයාවකිනි.

සැබවින්ම රසවත්ව කෑම පිසීමේ මනා අත්ගුනයක් ඇති ඇය විසින් මියයන්නට ප්‍රථමයෙන් එදින උදයේ පන්සලේ වප්පෝය දිනයේ සිල් ගන්නා අය වෙනුවෙන් තනිවම ඉදිඅප්ප 400 සකසා අවසානේ ඒ සියල්ල උදේ හයවන විට පංසලට යවනු ලැබූ ඇය එදින සැදැවේදීම එම පංසලේ චේතය මළුවෙදීම හදිසි හෘද්‍යබාධයකින් තම ජිවිත ගමන නිමා කරනු ලැබුවේ අපගේ මිත්තනිය ලෙස නොව අප හැදු මව ලෙසය. 

ඇයගැන අකුරු කිරීමට බොහෝදේ තිබුණත් මෙතකින් ඒ සියල්ල නතර කරනුයේ ඒවා එකින් එක සිහි කිරීම හදවත වේදනවට පත්කරනා බැවිනි. තවමත් සිහිනයක් මෙන් වූ ඇයගේ මරණය අපට පිරිමැසිය නොහැකි වේදනාවක් වුවද එම මරණය ඇයට වේදනාත්මක නොවීම ගැන මාතුලෙහි ඇත්තේ සැනසුමකි.ඒ ඇය මරණය කර පිවිසියේ දුක් විධිමකින් නොවන නිසාය.

               ආදරණිය අම්මේ,ආච්චියේ ඉතින් දැන් ඔබට සුබ ගමන්....!

ප.ළි.ය: හිතමිතුරු බ්ලොග් අඩවි වලට පැමිණීමට නොහැකිවුයේ මේ කරුණ නිසාවෙනි.ඒ ගැන කමත්වා.

Saturday, September 7, 2013

තාත්තා..(ආඩම්බරකාර තාත්තා නොවේ.)



අවුරුදු 07 විතර ඇති පුංචි කොලු ගැටයකුගේ අම්මා ඒ කොලුවා වගේම ඒ කොලුවාගේ අවුරුදු 05 වෙන මල්ලිවත්,අවුරුදු එකමාරක් වෙන නංගිවත් දාලා සුරලෝකෙට ගියොත් ඒ කොලුවට කොයි තරම් අඩුවක් ඒ කොලුවා ලොකුවෙනකොට දැනේවිද?

 ඒ අඩුව මමත් මගේ ජිවිතේ අත්දැකලා තියෙනවා.ඒ අර අවුරුදු 07 පුංචි කොලුවා මම නිසා.අපේ අම්මා ජිවිත රගමඩලෙන් සමුඅරන් ගියේ ඒ විදියට අපි පුංචිසංදියේම  නිසා ඒ වෙන්වීම සමහරක් අවස්ථාවලදී හැරෙන්න අපිට ලොකුවටම දැනුනේ නැහැ.එක එහෙම වෙන්න තවත් හේතුවක් උනේ අම්මා නැති අපිට අම්මා නැති අඩුව දැනෙන්න තාත්තා ඉඩක් නොතිබ්බ නිසා.

ඇත්තෙම්ම මගෙත්,මල්ලිගෙත්,නංගිගේත් ජිවිත වලට අපේ තාත්තා සැබෑම අත්වරුවක් උනා.පුංචිකාලේදී  තාත්තාට වැළදිලා තිබුන පෝලියෝ රෝගයේ ප්‍රතිපලය වෙලා තිබුනේ තාත්තාගේ දකුණු කකුල හින් වෙලා යාම.මේ නිසා ඉස්සර ඉදන්ම තාත්තා ගමන්,බිමන් ගියේ පුට්සයිකලෙන්. අපේ තාත්තා තාත්තාගේ පවුලේ එකම පිරිමි දරුවා නිසා ආච්චිගේ,සීයාගේ ආදරය තාත්තාට නොඅඩුව ලැබුනා.ඒ නිසාමද මන්දා තාත්තා ටිකක් විතර රස්තියාදුකරා,විනෝදකාමී චරිතයක්ව තමයි ඉදලා තියෙන්නේ.නමුත් අම්මාගේ වියෝවත් එක්ක තාත්තා බොහොම වගකීම් සහගත පුද්ගලයෙක් බවට පත් උනා.

කොහොමත් තාත්තා කිසිදාක මත්පැන්,සිගරට් වගේ දේවල් භාවිතා කල කෙනෙකු නෙමේ.වරක් මම පොඩිකාලේ මාමාට සිගරට් එකක් කඩෙන් ගෙනත් දෙනවා දැකලා තාත්තා මාමට බැන්නේ පොඩිඋන්ව නරක් කරන්න එපාය කියලයි.ලොකු විභග සමත් වෙලා නොතිබුනත් තාත්තා "ජිවිත විභගේ "පළමු පෙළ සමර්ථයක් එක්ක සමත් වෙලා ඇති කියලා මට හිතෙන්නේ තාත්තා ප්‍රශ්න,අමාරුකම් වලට මුහුණදීපු විදිය දැක්කාමයි.

අම්මා වියෝ වෙනකොට අපි හිටියේ රත්මලානේ කුලී නිවසක.අම්මාගේ වියෝවෙන් පස්සේත් අපි තවත් වසර ගණනවක් ඒ කුලී නිවසේ හිටියේ තාත්තා අකැමති උනනිසායි ඒ ගේ දාලා එන්න.මේ කාලේදී අපිව බලාගන්න අපේ ආච්චිත් උන්නා.නමුත් ආච්චිව  නිතරම අසනීප වෙන්න ගැනීමත්,අපේ අධ්‍යාපන කටයුතු වල පහසුවත් වගේම තාත්තාට රැකියාවට යාමේ පහසුවත් උදෙසා  තාත්තාට සිදු වුනා ගල්කිස්සේ තාත්තාගේ මහාගෙදරට එන්න.

මම කුඩා අවදියේ ඉදම්ම අද වෙනකනුත් අපේ රෙදිහෝදන්නේ තාත්තා.එකට අපි කැමති උනත්,අකැමතිඋනත් එක එයාගේ කැමත්ත වෙලා තියෙනවා.අනික් අතට තාත්තා අපිට තාත්තා කෙනෙක් වගේම හොද යාලුවකුත් වෙනවා.ඉස්සර මායි,මල්ලියි එකතු වෙලා තාත්තා එක්ක සෙල්ලමට සටන් කරනවා.මමත් මල්ලිත් අපේ මුළු ශරීරෙම්ම තාත්තා සමගින් සටන් වැදුනත් එක බාහුවකින් අපිව පෙරළලා දාන ඔහු ඊළගට නංගිව පිට උඩින් හිදුවන් ගේ පුරා අලියා ගෙනයනවා.සරුංගල් කාලෙට සරුංගලයක් තාත්තා අනිවාර්යෙන් හදන්නේ එක මල්ලිගේ කැමත්ත නිසා.ගිය මාසෙත් ඒ විදියට  තාත්තා හදපු සරුංගලේ මල්ලි නිල් අහසේ  ගැවෙන්න තරම් උඩ යවලා තියෙනකොට තාත්තාගේ මුහුණේ තිබුනේ අවුරුදු පහක,හයක කොල්ලෙක්ගේ මුනේ තියෙන අහිංසක හිනවාක්.

රත්මලානේ කුලී ගෙදර ඉන්නා කලේ මගේ ලොකුම විනෝදාංශය වුනේ තාත්තා එක්කලා ගල්කිස්සේ තාත්තාලාගේ මහගෙදර යන එක.මාවත් බයිසිකලේ හරස් පොල්ල උඩින් ඉන්දවාගෙන තනි කකුලෙන් වාරු අරන් බයිසිකලේ පාගන තාත්තාට කලින් මට පිපාස දැනෙන්න ගන්නේ රත්මලානේ විජිත හෝල් එක හරියෙදිමයි.මේ පිපාසෙට තාත්තාගේ උත්තරේ ලැබෙන්නේ මැලිබන් හංදිය ගාව තියෙන "නවලංකා"එකෙන් 
මම සිත කල අලියා බෝතලයක් රස විදිනකොට තාත්තා හුගක් වෙලාවට මුකුත් නොබී හිටියේ මට තිබහා නැතැයි කියමින්.නමුත් එදා තාත්තා කොයි තරම් පිපාසයක් ඇතුව ඉන්න ඇතිද කියලා තේරුම් ගන්න තරම් මොළයක් මට ඒ කලේ තිබුනේ නැති උනත් ඒ සිදුවීම් යලි ආවර්ජනය කරනකොට මගේ දිව ගිලෙන තරම් පිපාසයක් මට දැන් එනවා. 

අපේ කර දඩු උස් මහත් වෙලා අපි රැකියාවලට යනමේ කාලෙත් ගෙදර එන සුපුරුදු වෙලාව මදක් හෝ ප්‍රමාද වුනොත් පළමුව දුරකතනයෙන් අමතන ඔහු දෙවනුව අපිව හොයාගෙන පෙරමගට එනවා.මම දන්නා කලෙක සිට කිසිදු ආගමික ඇදහිල්ලක තාත්තා නිරත නොවුනත් නිතරම හරිදේ,සාධරණදේ කරන්න ඔහු අපිව පෙළබෙව්වා.සමහරක් විට අපි අතරේ ගැටුම් ඇති වුවත් ඒවා පැයකින්,දෙකකින් සම්පුර්ණයෙන් විසදෙන්නේ අප අතර ඇති බැදීම නිසාමයි.

මේ සටහන මේ විදියට තබන්න මට හදිසියේ සිත් වුයේ මෙන්න මේ ගීතය ඇහුවාට පස්සෙයි.

මේ ගීතයේ ඉන්න අප්පච්චිත් අපේ තාත්තාත් එක්කෙනක්ම තමයි.එකම වෙනස "ක්‍රිෂාන්ත එරන්ද"ගේ අප්පච්චි අපිට තාත්තා වුන එක විතරයි.

ප.ලි: පිංතුරය ගුගල් ඉමේජ් වලින්.සිංදුව මෙතනින්
පසුව ලියා නැවත ලියමි: ලින්ක් දාන හැටි කියලා දීපු දේශට බොහෝම ස්තුතියි ඈ..

Saturday, August 3, 2013

ගිනි වතුර.




ශ්‍රී ලංකා ප්‍රජාතන්තික සමාජවාදී ජනරජය දැන්,දැන් මිලිටරිකරනය කරා ගමන් ගන්නා බවට වන තවත් එක නිදසුනක් පසුගිය 1වැනිදා වැලිවේරියේ දී සිදුවූ ගැටුමෙන් පෙන්වා දෙන ලදී.

යුධ හමුදාපති ලෙස දයා රත්නායක තම නවධූරයේ වැඩබාර ගත් දිනයේම පිරිසිදු ජලය ඉල්ලා කරන ලද ජනතා විරෝධයකට හමුදාව ලවා නින්දිත සහා නිර්දය ලෙස පහරදී ලෙයින් මර්දනය දියත් කරමින් අපුරු පණිවිඩයක් දේශප්‍රේමි රජය විසින් ලෝකයට ලබාදී ඇත.

වසර 30 පමණ බිහිසුණු යුද්ධය අවසානේ දකුණේ ජනයාගේ විරයින්ව සිටි ආරක්ෂක හමුදාවන් දැන්,දැන් එම ජනයාගේම මාරයින් සේ ක්‍රියා කරන සැටියක් පෙනේ.බල කාමයෙන් උන්මන්තක වූ පාලකයින් ඉන්නා රටක පිපාසයට වතුර ඉල්ලා සිටීමත් මරණය ඉල්ලා සිටිමකට සමාන දෝ කියා සිතේ.


රතුපස්වල ජනයා පාරට බැස්සේ ඔවුන් මුහුණ දෙන ගැටලු වලට නිසි විසදුමක් බලධරින්ගෙන් නොලැබුණු නිසාය.ඇතැම් විට ඔවුන් මෙසේ පාරට නොබසින්න මේ ගැටලුව තවත් කාලාන්තරයක් විසදුම් නොමැතිව තිබෙන්නට බොහෝ සෙයින් ඉඩ තිබුණි.


මේ විරෝධතාකරුවන් නිසා සාමාන්‍ය ජනජීවිත වලට බලපෑමක් වේනම් පොලිසිය විසින් කල යුතුව තිබුනේ අධිකරණ නියෝගයක් මගින් මේ විරෝධය විසිරුවා හරින්නට කටයුතු කිරීමයි.නමුත් එවැන්නක් සදහා පොලිසිය විසින් අධිකරණ නියෝගයක් ලබා ගත වගක් දැන ගන්නට නැත."නිතිය සහ සාමය"ආරක්ෂා කිරීමේ තමන්ගේ ප්‍රමුඛ කාර්‍ය නිවැරදි ලෙස ඉටු කිරීමට පොලිසිය අසමත් නම් සමස්ත පොලිසියම වස දැමීම වඩා යහපත් වනු ඇත. 


 එමේන්ම හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබුනේ මේ සිදුවීමේදී පිටස්තරව පැමිණි සංවිධානාත්මක සන්නද්ධ පිරිසක් විසින් පොලිසියට සහ යුද හමුදාවට පහරදී ඇති බවයි.එසේනම් මේ සිදුවීමේ මරණකරුත්,තුවාලකරුවනුත් රතුපස්වල ප්‍රදේශ වාසීන් වන්නේ කෙසේද කියා මාධ්‍ය ප්‍රකාශකවරයා පැහැදීලි කල යුතු වේ.


එදා මාවිල් අරු සොරොව්ව වසා දැමීමෙන් පිඩවට පත් ජනයා මුහුණ දුන් ගැටළුවත්,මේ වැලිවේරිය ගමේ මිනිසුන්ගේ ජල ගැටළුවත් එකම ගැටලුවකි.නමුත් වැලිවේරියේ ජනයාට මෙහිදී දුන් උත්තරය පිළිගත හැකි නොවේ.මේ සිදුවීම් තුළින් ලෝකය ඉදිරියේ අපකීර්තියට පත් වන්නේ සමස්ත රටමය. 'ඉගිලෙන මාළුවෝ' චිත්‍රපටය තුළින් රටේ හමුදාවන්ට අපකීර්තියක් සිදු වුවානම් මේ සිදුවීම් මගින් ලැබුවේ කුමන ආකාරයේ කිර්තියක්ද කියා රජය විසින් පැහැදීලි කර දියයුතුය.


යුද ජයග්‍රහණයට සේනදීනායකයා ලෙස ජනාධිපතිවරයාද එහි කොටස්කරුවෙක් වන්නා සේම මේ සිදුවීමේදීද එතුමා සේනදීනායකයා ලෙස කොටස්කරුවෙක් නොවන්නේද..?මේවා ජාත්‍යන්තරයට යන්නේ රටට සුබදායක ලෙස නොවන වගනම් කිය යුතුය. 


ප.ලි:-උඩ ඇති පින්තුරේ අවන්ත ආටිගල කාලෙකට පෙර අදින ලද්දක් වේ.

Wednesday, June 26, 2013

අතිසාරයට අමුඩය ගැසීම.


පසුගිය 21 වැනිදා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ තිබෙන ගැසට්‌ නිවේදනයකට අනුව පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්වය උසස්‌ පෙළ, සාමාන්‍ය පෙළ විභාග ආරම්භ කිරීමට දින පහකට පෙර සිට එම විභාග වලට අදාළවන සම්මන්ත්‍රණ,වැඩමුළු සහා අතිරේක උපකාරක පන්ති පැවැත්වීම තහනම් කර තිබේ.
එහි අරමුණ ලෙස දක්වන්නේ විභාග වංචා  වැලැක්‌වීමේ  අරමුණින් මෙම තහනම සිදු කරනා බවයි.
අතිසාරයට අමුඩය ගැසීමක් වැනි මෙම ගැසට් නිවේදනය නැවත වරක් අධ්‍යාපන අමාත්‍යාවරයාගේ නොහැකියාව ප්‍රදර්ශනය කරයි.

පසුගිය සාමාන්‍ය පෙළ විභාගයේදී විද්‍යාව ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිටවූ විට අධ්‍යාපනඇමතිවරයා පැවසුවේ මෙය තමාගේ වරදක් නොවන බවත් මෙහි වගකීම දැරිය යුත්තේ විභාග දෙපර්තමෙන්තුව බවත්ය.ඇතැම් විට විභාග දෙපර්තමෙන්තුව ඇත්තේ කා යටතේදැයි එතුමා දැන නොසිටිය වන්නටද පුළුවන.

කෙසේ වුවත් වර්තමන අධ්‍යාපනඇමතිවරයාද රජයේ බොහොමයක් අමාත්‍යාවරුන් මෙන් කවටයෙකුගේ චරිතය නිරුපණය කිරීම රටේ ඉදිරි අනාගතය සම්බන්ධව කිසිම ලෙසකින්වත් යහපත් කරුණක් නොවේ.

වසරකට පමණ පෙර 04 දෙනකුගෙන් යුතු පවුලකට මසකට රුපියල් 2500/-ජිවත් විය හැකියයි පැවසු අමාත්‍යාවරයා වරක් රුපවාහිනියට පැමිණි විටකදී පැවසුවේ තමා ඇමැති වැටුපහෝ නොගන්නා බවය. 

එසේ වුවත් මා සිතන්නේ එතුමා එම වැටුප නොගන්නේ පින් පඩි ගැනීමට ඇති අකැමත්ත නිසා විය යුතුය.දේශපාලකයකු ලෙසට තම වගකීම නිසිලෙස ඉටුනොකර ජනතාව පිනවනවාට වඩා එතුමා දේශපාලනයට පිවිසීමට පෙර කලක් මෙන් චිත්‍රපට නිෂ්පාදනය සිදු කරමින් ජනතාවගේ ලේ කුපිත නොකර ජනතාව පිනවනු ලැබුවානම් බෙහෙවින්ම යහපත්ය.

දේශප්‍රේමීයකු වන්නටද අවශ්‍යනම් නලාකරුවකු ලෙස ජාතියේ සංවේදී පියා වෙනුවෙන් කඩේයාද හැක. 


ප.ලි :-පොටෝව ගුගල් ඉමේජ් වලින්.

Saturday, June 1, 2013

දොස්තර ජයලත් කොටියෙක්ද...?




මෙරට පුහු දේශප්‍රේමින්ගේ නිර්දය චෝදනාවන්ට ලක්වු  වෛද්‍ය ජයලත් ජයවර්ධන මහතා මෙරට බොහෝ දේශපාලකයින්ගේ නිල රෝහලව තිබෙන"සිංගප්පුරුවේ මවුන්ට් එළිසබෙත්" රෝහලේ දී අභාවප්‍රාප්ත වුයේ පසුගිය මැයි 29 වනදාය.


රණසිංහ ප්‍රේමදාස මහතා අගමැතිව සිටින අවදියේ ඒ මහතාගේ පුද්ගලික වෛද්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබූ ඒ මහතා 1994 වසරේදී ප්‍රථම වරට පාර්ලිමේන්තුව වෙත පිවිසි අතර මියයනතුරුම පාර්ලිමේන්තුව නියෝජනය කරන ලදී.දේශපාලනයට පිවිසීමට පෙර සිටම සමාජ ක්‍රියාකරියකු ලෙස කටයුතු කල ඒ මහතා පාර්ලිමේන්තුව වෙත පිවිසීමෙන් පසුව එම කටයුතු වඩාත් සංවිදනත්මකව සිදු කරන ලදී.

තමන් දරන මතවාදය තුල සෘජු ලෙස සිට ගැනීමට තිබුණු හැකියාව නිසාම නිර්දය ලෙස තමන්ව කොටි හිතවාදියකු ලෙස හංවඩු ගසා  විවේචනය කරනවිටදී පවා තමාගේ ප්‍රතිපත්ති පවානොදී සිටීමට ඔහු වෙත හැකියාව තිබුණි.

2002-2004 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ පුනරුත්ථාපන නැවත පදිංචිකිරීම් හා සරණාගත කටයුතු පිළිබද අමාත්‍යවරයා ලෙස කටයුතු කල ඔහු එසේ අමාත්‍යධූර දරන්නට පෙර සිටම යුද්දය නිසා පිඩා විදි මායිම් ගම්මාන වැසියන්ගේ අවශ්‍යතා උදෙසා ක්‍රියා කල අයෙකු විය.පොළොන්නරුව,මඩකළපුව වැනි දිස්ත්‍රික්කවල මායිමේ ඇති ඉතාමත් දුෂ්කර ගම්මන වල වෛද්‍ය සායන සංවිදානය කිරීමේ සිට එම ගම්මාන වලට ත්‍රස්තවාදී තර්ජනයන්ගෙන් ආරක්ශාවීමට සයිරන් නලා බෙදීම දක්වා විවිද ක්‍රියා මාර්ග ගනු ලැබුවෙක් වු ඔහු පොළවමත පයගසා කටයුතු කල අයෙක් ලෙසට දකිමි.   

යුදවාදියෙක් නොවුන නිසාත් "ලංකා ඉ නිව්ස්" කියූ පරිදි එක දශමයකින් හෝ ජාතිවාදියෙක්,අගම්වදියෙක් නොවී අචල මානව හිතවාදියෙක්වු නිසාම එසේ නොවන්නගේ විවේචනයට ලක්වුවෙක් විය.

 රටේ මානව හිමිකම් ගැටළු ජිනීවා ගෙන යමින් රට ජාත්‍යන්තර ලෙස අපහසුතාවයකට පත් කරන රට පවා දෙන්නෙක් ලෙසටද ඔහු වෙත චෝදනා එල්ල වුයේය.නමුත් ඒ චෝදනා එල්ල කරන අය විසින් රටේ මානව හිමිකම් කඩවීම් ගැන නිසි පරීක්ෂණ සිදු නොකිරීම ගැන ප්‍රශ්න නොකර එම ප්‍රශ්න ජාත්‍යන්තරයට ගෙන ගිය ඔවුන් පස්සේ ලුහුබදියි.ටේ මානව හිමිකම් උල්ලංගනය වේනම්,පාලකයින් ඒවා නොසලකා හරිනම් ජිනීවායාමේ වරදක් නැත.
 කෙසවෙතත් මා ඔහුට ගරු කරන්නේ මාද යුද්දය ගැන ඔහු දැරු "යුද්දයට විසදුම සාමය" යන මතය පිළිගන්නා බැවිනි. බිහිසුණු  යුද්දය විජයග්‍රහනයකින් නිමා වුවත් මාගේ මතයද වෙනස් නොවේ.

ඔහු වෙත කොටි ලේබලය අලවනු ලැබුවන්ගෙන් අසන්නට ඇත්තේ ඔබ මේ රට වෙනුවෙන් කර ඇත්තේ කුමක්ද කියා පමණි.

ප.ලි :-මම ඔහුව කිසි දිනක දැක නැත,ඔහු උදෙසා මගේ චන්දයක් හෝ භාවිතා කර නැත.ඒ ඔහු ගම්පහය නියෝජනය කරන ලද නිසාත් මම වෙනත් දිස්ත්‍රික්කයක චන්දදායකයකු වන නිසාත්ය.
හරක් මරණවට සංවේදී මිනිසුන් සිටින රටක තවත් මිනිසෙක් මලවිට ප්‍රීතිවනු දැක අතිශය කණගාටුවට පත්වෙමි.
(ඉහත චයාරුපය ගුගල් ඉමේජ් වලින් උපුටා ගත්තෙමි.)