Tuesday, May 22, 2018

ප්‍රේමය කිමැයි.

ඕෂෝ
ආදරෙයි නම් ඔබ මලකට , නෙලා ගන්නට එපා ඒ මල.

ඒ "ඕෂෝ" ගේ කියමනක්.

"ආදරය"කියන්නේ හිමිකර ගැනිමම නොවේයයි කියමනකුත් තියෙනවා.

කවුරු කවදා,කාට,කොහේදී කිව්වාද කියලා නොදන්න මුත් ඒ කියමන ගැන කවුරු හෝ,කවදාක හෝ,කොහේදී හෝ කියනවා අසා තියෙනවා.

ඉතින් ආදරෙයි කියා මලක් නටුවෙන් වෙන් කෙරුවෙත් වෙන්නේ ඒ මල පරව යන එක ඉක්මන් වෙන එක පමණයි.සමහරවිට මල නෙලා ගන්න තියෙන හදිසියට නටුවේ තියෙන කටු ඇනිලා තුවාල වෙන්නත් බැරි නැහැ.එහෙම වුනොත් අයිතිකර ගැනීමේ ආත්මාර්ථකාමී පරමාර්ථය නිසා අන්තිමට පරමලත් එක්ක ඉතුරු වෙන්නේ තුවාල කැළලක් විතරක් වෙන්නත් පුළුවන්.

දැන් තියෙන ප්‍රශ්නය එහෙනම් පුළුවන්ද අයිතිකර ගන්නේ නැතුව ආදරය/ප්‍රේම කරන්න.

ඇයි බැරි ! ආදරය ප්‍රේමය කියන්නේ හැඟීම් ඒවා අස්පර්ශයි.  අස්පර්ශ දේවල් භෞතික දේවල් වගේ අත්පත් කරගන්න බැහැ.හැබැයි අත්විදින්න පුළුවන්.හරියට හුළඟ වගේ.

හුළඟ හැම තැනම තියෙනවා.ඒ නිසානේ අපි හුස්ම ගන්නේ එත් හුළඟ දැකලා නැහැනේ අත්විඳිනවා පමණයි.


යමුනා මාලිනි පෙරේරා අකුරු කරලා තියෙන්නෙත්


"ප්‍රේමය ලොව හැම තැනම ඇති
 හැමදෙනාටම හමු වෙලා ඇති
 එනමුදු ප්‍රේමය කිමෙයි කියා
 හඳුනා ගත කිසි කෙනෙකු නැති " කියලා.

එහෙමනම් හඳුනා ගත්තේ නැති,හැඩයක් නැති ප්‍රේමයක්,ආදරයක් කොහොමද තමන්ගේම කර ගන්නේ ?

තමන්ගේම කර ගත්තා, නොගත්තා එත් ආදරයට / ප්‍රේමයට සිමා දාන්න බැහැ.


තව කෙනෙකුට මිට වඩා වෙනත් විදියකට හිතේවි.එත් මේ මට හිතෙන හැටි.

Friday, June 9, 2017

ජෝන්


කෙරුවාට සංවිධායකකම විපක්ෂයේ 
තිබ්බේ කකුල් දෙකම ආණ්ඩුවේ 
එල්ලිලා මහරජාගේ කුණු සාටකයේ 
උන්නා මතකයි ජෝන් උඹ උන්නා එජාපයේ 

අරගෙන ආණ්ඩුවක් රනිල් හා මෛත්‍රි 
උඹටත් දුන්නේ ඇමති කම් සුපිරි 
කටුස්සාගේ කරේ බැන්ද වැනි රන් අනගි 
හැසිරේ උඹත් වළං කඩේට පැන්න ගොනා හැටි 

මොකටද අයිසේ හදලා "ජෝගින් පාක්"
අනවශ්‍ය උන් රස්තියාදු ගහන තරම් 
කියමින් මැතිඳු ගලවලා ගල් පේලි 
කරයි ජනතා සේවය හරි තුටිනි 

වාහන පදින්නේ අනවශ්‍ය උන් හින්දා 
හැම තැන අනතුරු ඇත ඉන් වැඩි විලා 
මිල වැඩි කරලා වාහන ගෙන්වීම නවතලා 
අපි යමු ගොනා බැඳී කරත්තෙක නැගලා 

තිබුනත් බලේ තවමත් නැති හින්දා මොලේ 
යන යන තැන ඇදගෙන නාන සොඳේ 
කිළුටු වී ඇති යහපාලන සුදු රෙද්දේ 
උඹත් අනවශ්‍ය මිනිහෙක් තමා ජෝන් 

Friday, December 16, 2016

හමුදා,පොලිස් රාජ්‍ය අවශ්‍ය නැත.

මහින්ද රාජපක්ෂ හුළං ගසා පිම්බු හමුදා රාජ්‍ය වෙනුවට රනිල් වික්‍රමසිංහ හුළං ගසා පුම්බන පොලිස් රාජ්‍ය කාටුනය.අවන්ත ආටිගලගේ.
මා දන්නා පරිද්දෙන් ප්‍රජාතන්තවාදී රටක පොලිසියේ කාර්යභාරය වනුයේ නීතිය හා සාමය ආරක්ෂා කර ගැනීමයි.නමුත් පොලිසියට එසේ නීතිය හා සාමය රැක ගැනීමට නොහැකි ඇතැම් අවස්ථාවලදී ඒ සඳහා හමුදාව කැඳවන අයුරු දැක ගැනීමට ඇත.නමුත් ලංකාවේ පොලිසියට සාපේක්ෂව හොඳ බව පවසන හමුදාවන් එවැනි කැඳවීම් ලද ඇතැම් විට හැසිර ඇති ආකාරයන් නැති ප්‍රශ්න ඇති කිරීමට සමත් වූ බවක් පෙනෙන්නට ඇත.

පසුගිය රාජපක්‍ෂ රජය කාලයේ දී වැලිකඩ බන්ධනාගාරයේ සිදුකල සෝදිසි කිරීමකට හමුදාව යොදා ගැනීම අවසන් වුයේ රජය භාරයේ සිටි රැඳවියන් පිරිසක් ඝාතනය වීමෙනි.ඉන්පසු කාලයකදී රතුපස්වල ප්‍රදේශයේ ජනතා විරෝධතාවක් මැඩපැවැත්වීමට ගෙන්වූ හමුදා වෙඩි තැබීමකින් කිහිප දෙනෙක් මිය ගිය අතර පසුගිය දිනක හම්බන්තොට වරායේ විරෝධතාවක් මැඩපවත්වන්න පැමිණි නාවික හමුදාව අනවශ්‍ය ප්‍රශ්නයක් සදා ගත්තේ නාවික හමුදාපතිවරයා විසින් ප්‍රදේශීය මාධ්‍යවේදියෙකුට පහරදීම තුලිනි.(පහර කෑමට ලක් වූ තැනැත්තා මාධ්‍යවේදියෙක්ද නැද්ද යන්න අදාළ නොවේ.එවැනි පහරදීම් අනුමත කල හැකි නොවේ.)

රාජපක්‍ෂ පාලන සමයේදී "රණවිරුවන්"ලෙස කිරුළු දරා සිටියද ඒ රණවිරු ලේබලයට මුවා වෙමින්ම අකටයුතුකම් කරන ලද්දෝද බොහෝ වෙති.ඇවන්ට් ගාඩ් සිදුවීම සම්බන්ධයෙන් උසාවි කැඳවන ලද හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනාගේ දේශප්‍රේමයේ තරම සිතා ගත හැකිය ඔවුන් කටයුතු කර තිබෙන ආකාරය නිරීක්ෂණය කිරීමෙන්.

රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම හිමි පොලිසියද හමුදාවට නොදෙවෙනි ක්‍රියාකාරකම් වල යෙදෙන බව රහසක් නොවේ.නමුත් එසේ කියා රටේ සිදුවන හැම සිදුවිමකටම පොලිසිය වෙනුවට හමුදාව කැඳවන්න යාම ප්‍රඥාවන්ත ක්‍රියාවක් නොවන බව පැහැදිලිය.එසේ කල නොහැකි නම් කල යුත්තේ  නීතිය හා සාමය රකින්න බැරි "සර්ගේ" පොලිසිය විසුරුවා හරිනු ලැබීමයි.

කෙසේ වෙතත් පසුගිය දිනවල දැඩි කතාබහකට ලක් වූ නාවික හමුදාපතිවරයාගේ සිදුවීම අරබයා රජය මාධ්‍ය මර්දනය කරනවායි ඒකාබද්ධ විපක්ෂය නගන චෝදනාවද විහිළුවක් බවද කිව යුතුය.හිටපු රජය බලයේ සිටි කාලයේ ඇතැම් හමුදා සාමාජිකයින් රජයේ ඕනෑ එපා කම් අනුව ඝාතන සිදු කල බවටද චෝදනා තිබේ.ඉහතින්ද සඳහන් කල වැලිකඩ ඝාතනය පමණක් නොව ලසන්ත ඝාතනය,රවිරාජ් ඝාතනය ආදිය සඳහාද ආරක්ෂක හමුදා සම්බන්ධ බවට චෝදනා නැගෙන අතර ඒ සිදුවීම් කිසිවක් පුද්ගලික අවශ්‍යතා මත සිදු වුවාට වඩා පැවති රජයේ අවශ්‍යතාව මත සිදුවන්නට ඇති බව පැහැදිලිය. 

අපට මිලටරි රාජ්‍යක යටත් වැසියන්ව ජිවත් වීමට අවශ්‍ය නැත.ඒ නිසා දැන් නැග එන ගෝඨා රැල්ලද පරාජය කල යුතුය.මන්ද ඉහතින් සඳහන් කරන ලද හැමසිදුවිමකටම සෘජුව හෝ වක්‍රව ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ සම්බන්ධයක් පෙනෙන්ට ඇති බැවින් ඒ දේ කල යුතුව තිබේ .නැතහොත් සිදු වන්නේ නාමිකව හෝ පවතින ප්‍රජාතන්ත්‍රවාදයට කණ කොකා හැඩීම පමණි.

Wednesday, November 23, 2016

වදකයන් ලුහුබැඳ යන්න.

මේ කියන්න යන්නේ පොතක් ගැන.
පොත තමයි "වදකයන් ලුහුබැඳ මියුනික් කරා" කියන පොත.


කෘතියේ මුල් කවරය.
පහුගිය සැප්තැම්බර් පොත් ප්‍රදර්ශනය වෙලේ විදර්ශන කුටියේදී මේ පොතට ඇස ගියේ පොතේ තිබ්බ නම නිසා.මියුනික් නගරය ජර්මනියේ නගරයක් වෙච්ච් නිසාම මට හිතුනා මේ පොතත් ලෝක යුද්ධය හා සම්බන්ධව ලියවෙච්චි පොතක් වෙන්න ඇති කියලා.

ඉතින් පොත අතට අරගෙන පිටුවක් පෙරලලා බැලුවාම දැක්කා පරිවර්තකගේ නම "නිලුක කදුරුගමුව." කියලා.ඒ නම නුහුරු නමක් නොවුනේ පරිවර්තකයා බ්ලොග් ලියන්නෙක් වෙන නිසා.අපුරු කවි වගේම කතාන්දර පරිවර්තනය කරන බ්ලොග් රචකයෙක් වෙන නිලුකගේ බ්ලොග් එකේ නමත් "පරිවර්තන"

දෙවැනි ලෝක යුද්ධ සමයේදී "මයිකල් රෝගන්" නම් ඇමරිකානු බුද්ධි අංශ නිලධාරීයකු ජර්මන් පාලනය යටතේ පවතින ප්‍රංශයේ සිට සැඟවී කරන  මෙහෙයුමකදී නාට්සි ජර්මානුවන්ගේ අත්අඩංගුවට පත් වීමත් ඔහු සමගින් අත්අඩංගුවට පත් වෙන ගැබිණි බිරිඳ ඔහුගෙන් වෙන් කර ඇය නගන වේදනාත්මක විලාපයන් යොදවාගෙන ඔහුගෙන් ප්‍රශ්න කරන නට්සි වදකයින් සත් දෙනෙකුගෙන් පළිගැනීම සඳහා නට්සින් වෙතින් නිදහස ලැබීමෙන් අනතුරුව ඔහු ක්‍රියා කරන ආකාරය ගැන ලියා ඇති කෘතිය කියවන විට මගේ මතකයට නිතැතින්ම පැමිණියේ තරමක් දුරට ඒ හා සමාන කතාවක් සහිත කෘතියක් වූ  "ෆෙඩ්රික් ෆෝසයිත්"විසින් රචිත අභය හේවාවසම් විසින් පරිවර්තනය කරන ලද "හිට්ලර් ගේ එස් එස් හමුදාව" නම් කෘතියයි.

කෙසේ නමුත් Mario Puzo විසින් 1967 දී රචිත "Six Graves to Munich" නම් කෘතියට වඩා ඉදිරියෙන් 1972 දී Frederick Forsyth විසින් රචිත "The Odessa File" කෘතිය ඇති බව මගේ හැඟීමයි.

වෙහෙසකර කියවීමක් නොවන ලෙසට නිලුක විසින් පරිවර්තනය කර ඇති කෘතිය තුලින් යම් දෙයක් කිරීමට කිසිවෙකු විසින් අධිෂ්ඨාන කරන ලැබූ විට ඒ අධිෂ්ඨානය ඉටුකරගැනීම සඳහා ඔහු විසින් ගන්නා වෙහෙසවීම්,කැපකිරීම් ගැන ලියවුනු කෘතිය විදර්ශන ප්‍රකාශනයකි.


පොතේ පසුකවරය.

Friday, September 9, 2016

ඇඩොල්ෆ් අයික්මාන්ට එරෙහි නඩු විභාගය.

මේ සාහිත්‍ය මාසය.ඉතින් කාලෙකින් මුකුත් නොලිව්ව එක කියවපු පොතකින්ම වැඩේ පටන් ගන්නයි මේ හදන්නේ.

මම සාමාන්‍යයෙන් යුද්ධයට කැමති නැති අයෙක්.යුද්ධය කියන්නේ විනාශයක් පමණයි.නමුත් මම ප්‍රිය කරන විෂයක් තමයි පළමු,දෙවැනි ලෝක යුද්ධ ඉතිහාසය.ඒ ආශ්‍රිත දේ කියවන්න මගේ විශේෂ කැමැත්තක් තියෙනවා.

දෙවැනි ලෝක යුද්ධය තුල ලොකුම සංහාරයකට මුහුණ දෙන්න සිද්ද වුනේ "යුදෙව්" ජාතිකයින්ට.ඒ නට්සි නායක ඇඩොල්ෆ් හිටිලර් ගේ ආඥදායකත්වය යුදෙව් ජාතිකයින්ට විරුද්ධව ඉහළින්ම තිබීම හේතුවෙන්. කෙසේ නමුදු යුදෙව්වන්ට එරෙහි මෙවැනි සංහාරයක් තනිව කිරීම හිට්ලර්ට පමණක් කල හැක්කක් නොවන අතර යුදෙව්වන් නොමැති ආර්ය ජර්මානු මහා අධිරාජ්‍යක් සැදීමේ හිට්ලර්ගේ අභිප්‍රාය සපල කරගැනීම වෙනුවෙන් ඔහුට සහාය දැක්වූ බොහොමයක් දෙනා සිටියා. ඒ අය අතර සිටි "හෙන්රිච් හිම්ලර්,හර්මන් ගොරින්,රුඩොල්ෆ් හර්ස්,මාර්ටින් බොර්මන්,අර්නස්ට් කැල්ටෙන්බ්රූනර්,ජෝසෆ් ගොබෙල්ස්‌,දොස්තර ජෝශප් මෙන්ගල්" වැනි නට්සි දේශපාලකයින්,නිලදාරීන් අතරට කියවෙන තවත් බිහිසුණු නමක් තමයි "ඇඩොල්ෆ් අයික්මාන්" යන නම.

දෙවැනි ලෝක යුද්ධය නිමාවෙන් අනතුරුව මිත්‍ර රටවල් විසින් ජර්මනියේ "නියුරම්බර්ග්" නුවර පිහිටෙව් විශේෂ අධිකරණයක් මගින් හිට්ලර්ගේ රජයේ  සිටි නාසි පක්ෂයේ ප්‍රධානින් විසිහතර දෙනෙකුගේ සහා තවත් සංවිධාන හතක ඉරණම තීන්දු කරනු ලැබූ අතර එසේ නමුදු යුද්ධයෙන් අනතුරුව හෝ යුද්ධයේ අවසාන කාලයේදී ඇතැම් නාසි නායකයින් පලා යාමට සමත්වද සිටියේය.

කෙසේ වෙතත් එසේ පලාගිය ඇතැම් නාසි පක්ෂ නායකයින්,එස් එස් හමුදා නිලධාරීන් පසුපස හඹයෑම් සහා අත්අඩංගුවට ගැනීම් දිගටම සිදුවූ අතර පලාගිය බොහෝදෙනෙක් ගේ ගමනාන්තය වුයේ දකුණු ඇමරිකානු රටවල් වේ. එස් එස් අපරාධකරුවෙකු වූ දොස්තර ජෝශප් මෙන්ගල් කිසිදු අධිකරණයකින් දඬුවම් නොලබා මිය යන්නේ දකුණු ඇමරිකානු රටක් වන "බ්‍රසීලයේදී" වීම එක උදාහරණයක් පමණි.

මෙසේ පලාගිය අය අතරේ සිටි එක් අපරාධකරුවෙක් වූ "ඇඩොල්ෆ් අයික්මාන්" ආර්ජන්ටිනාවේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන ඊශ්‍රායලය වෙත ගෙනවිත් නඩු අසා දඬුවම් කරනු ලබන අතර ඒ නඩු විභාගය ගැන ලියවුනු කෘතියක් සිංහලට "එල් එස් එස් පතිරත්න" විසින් පරිවර්තනය කර ඇති අතර පරිවර්තනයේ නම "ඇඩොල්ෆ් අයික්මාන්ට එරෙහි නඩු විභාගය"යන්නයි.
මේ එම පරිවර්තනයේ මුල් කෘතිය විය හැක.
විජේසුරිය ප්‍රකාශනයක් වන කෘතිය මා මිලදී ගත්තේ එහි ඇත්තේ "ඇඩොල්ෆ් අයික්මාන්ව" ආර්ජන්ටිනාවේ සිට පැහැරගෙන එන කතාන්දරය ඇතැයි සිතා වුවත්  එම කෘතියේ ඇත්තේ අත්අඩංගුවට පත්වූ අයික්මාන්ට එරෙහිව 1961 අප්‍රේල් මස සිට ආරම්භව චෝදනා පහළොවක් ගැන කෙරෙන නඩු විභාගයේ තොරතුරු වේ.

"අවසන් විසඳුම,පිටුවහල් කිරීම,එක්තැන් කිරීම,වෙන් කිරීම" වැනි නම් වලින් ලේඛන වල සටහන් කර සිතාගත නොහැකි,අදහා ගත නොහැකි ලෙස මිලේච්ච ආකාරයෙන් මිනිසුන් ඝාතනය කරන ලද ඝාතන ක්‍රියාදාමයකට නායකත්වය දුන් ඝාතකයකු අවසානයේ තමන් සිදු කලේ ඉහලින් පැමිණි අණ පිළිපැදීමක් පමණක් කියා නිර්දෝෂී වීමට ගන්නා ප්‍රයන්තයන් විස්තර කෙරෙන කෘතියේ නඩුවේ චෝදනා ඉදිරිපත් කිරීම,සාක්ෂි මෙහෙයවීම,තීන්දුව,තීන්දුවට එරෙහි අහියාචනය සහා අභියාචනාධිකරණ තීන්දුව ගැන සියලු විස්තර සඳහන් වේ.

Monday, May 2, 2016

පෙර දිනයක මා පෙම් කල යුවතිය මේ පුංචි රටේ යළි අප හමුවේවි.

එදාත් මේ තරම් නැතත් සැරට අව්ව පයලා තිබ්බ දවසක්.අපි හිටියේ කොටුවේ දෙවැනි හරස් වීදියේ සාරි කඩේක.නෙක නෙක අරුමෝසම් සාරි අතරේ වල්මත් වෙලා වගේ හිටිය අපි දෙන්නා කඩෙන් එළියට ආවේ සාරි තියා ලේන්සුවක්වත් ගන්නේ නැතුව.

"එකනේ මම ඔයාට කිව්වේ දන්නා කෙනෙක් එක්ක යමු කියලා"

ඇයට මම එහෙම කිව්වේ මහන්සියෙන් විඩාවට පත් වෙලා හිටපු නිසා.ඇගේ පිළිතුර වුනේ පොඩි මන්දස්මිතයක්.

"ඔයා දන්නවාද වැඩක්" චණ්ඩි ඉර එළියෙන් බේරෙන්න කුඩේ ඉහලන ගමන් ඇය මගෙන් ඇහුවා.

"මොකක්ද" කියලා මම අහන්නත් කලින්ම ඇය කතාව කියන්න පටන් ගත්තා."අපේ අංජුයි,සංජුයි දෙන්නව මුලින්ම ගන්න හිටියේ අපේ වෙඩින් එකටනේ.දැන් ඒගොල්ලන්ව අපේ වෙඩින් එකට ගන්න වෙන්නේ දෙවැනියට"

අංජුයි,සංජුයි කියන්නේ ඇගේ අක්කාගේ දුවලා දෙන්නා.අපේ විවාහයේ වැඩ ගැන කතාබහා ඇති වෙන කොට ඇය අවධාරණයෙන් කියා සිටියා අපේ විවාහයේ මල් කුමරියන්ට ඇගේ අක්කගේ දුවලා දෙන්නවම ගත යුතු බව. 

දැන් ඇය කියන්නේ අපේ විවාහයේ ඇගේ අක්කලාගේ දුවලාට මල් කුමාරියන්ට ඉන්න වෙන්නේ තවත් අයකුගේ විවාහයක එසේ මල් කුමාරියන්ට සිටීමෙන් අනතුරව බවයි.

"එතකොට කාගේ වෙඩින් එකටද දෙන්නවා අරන් තියෙන්නේ."

මම ඇයට ඒ ප්‍රශ්නය යොමු කෙරුවේ ගල්කිස්සට එන්න මොරටුව බස් එකකට කොටුවෙන් නගින ගමන්.

"අමාලි අක්කාගේ මල්ලිගේ වෙඩින් එකට" ඇය උත්තර දුන්නේ බස් එකේ ජනේලයක් ලගින් වාඩිවෙන ගමන්.

"කවුද අමාලි අක්කා" මගෙන් ඇයට තවත් පැනයක්.

"ඇයි අනේ අමාලි අක්කා කියන්නේ අපේ තරංග අයියාගේ මල්ලි බැඳලා ඉන්න කෙනානේ"

තරංග අයියා යනු ඇගේ එකම සහොදරිගේ එහෙමත් නැති නම් ඇගේ අක්කාගේ සැමියායි.ඇගේ අක්කාගේ කුඩා දරුවන් දෙදෙනා මල් කුමාරියන් ලෙස සැරසෙන්න නියමිතව සිටින්නේ එම අමාලි අක්කාගේ මල්ලිගේ විවාහයටයි.

"දැන් කවද්ද ඔය මගුල තියෙන්නේ,කොහේ කෙල්ලෙක්වද බදින්නේ ?" "මැයි මාසේ,එයාත් ගල්කිස්සේ කෙනෙක් මට හම්බු වෙලත් තියෙනවා"ඇය උත්තර දුන්නේ  මගේ උරමත ඇගේ හිස සතපවන ගමනුයි.

කාලය ගත වුනා.අමාලි අක්කාගේ මල්ලිගේ විවාහයත් සිදුවුනා.

එදා ඉරිදාවක් කිසියම් කරුණක් නිසා එදින උදේ මට ඇගේ නිවසට යන්න සිදුවුනා.තවත් මාස කිහිපයක්ම ඇගෙත් මගෙත් විවාහයට ඉතුරුව තිබෙනවා.මා එදා උදේ ඇගේ නිවසට යන විට ඇගේ අක්කත් කුඩා දරුවන් දෙදෙනා සමගින් ඇගේ ගෙදරට ඇවිත් සිටියා.අමාලි අක්කාගේ මල්ලිගේ විවාහය සිදුවී තිබුනේ එයට පෙර සතියේදියි. 

ඇගේ ගෙදර ගුවන්විදුලි යන්ත්‍රයේ ලස්සන සින්දුවක් යමින් තිබුනා.

ජිවීත ගමනේ කෙදිනක හෝ 
අප යළි හමුවන දිනයේ 
මේ දුක් කඳුලැල් වියකුණු දෑසින් 
හිනැහෙනු මැන පෙර සේ

මේ පුංචි රටේ කොතැනකදී හෝ 
මතු කවදා හෝ යළි අප හමුවේවි.

සින්දුව අහමින්ම මම සාලයේ තිබ්බ හාන්සි පුටුවට බර දුන්නා.තේ කෝප්පයක් අරන් මා වෙත පැමිණි ඈ ඉන් අනතුරව වෙඩින් කේක් එකක්ද මා අත තිබ්බා තේ එක සමගින් කන්න.

"කොහෙන්ද වෙඩින් කේක්" මම ඇහුවේ කේක් කෑල්ලක් කන ගමන්මයි.

"අමාලි අක්කාගේ මල්ලිගේ වෙඩින් එකේ එව්වා.අක්කා ගෙනැල්ලා"

ඉන් මොහොතකට පස්සේ ඇය මාවෙත පැමිණියේ  විවහා උත්සවවලදී පැමිණෙන අමුත්තන් වෙත දෙන "Thank u Card"  එකක්ද රැගෙනයි.

"මේ බලන්න අපේ පැංචියෝ දෙන්නා අර වෙඩින් එකේ ඉන්න හැටි" ඇය එහෙම කියමින් මට දීපු "Thank u Card" එක මම අතට ගන්නකොටම ඇගේ අක්කා කිව්වා "මල්ලි ඔය නංගිත් ගල්කිස්සේ" යනුවෙන්.

"Thank u Card" එක අතට ගත්ත මගේ ඇස් දෙකට මුලින්ම දැක්කේ කාඩ් එකේ තිබ්බ නම් දෙක.මනාලියගේ නම දකිනවාත් එක්කම මගේ ඇස ගියේ ඒ "Thank u Card"එකේ උඩරට ඇඳුමින් සැරසුණු මාල හතක් දාපු මනාලිය වෙතට.

එක මොහොතකට මගේ හුස්ම නතර වෙන්න ඇති.හැබැයි ඒ එක මොහොතකට පමණයි.මගේ මුවින් පිටවුනු විශ්මයාර්ථ හඬ නිසාම මා ලග සිටි ඇයත් අගේ අක්කාත් විමසුවේ 

"ඇයි ඔය මෙයවා දන්නවාද"කියායි.

කුමට මුසා පවසම්ද ?

මේ මා පෙර දවසක පෙම් කල යුවතියයි.

අපේ ප්‍රේම සම්බන්ධය බිඳ වැටිමෙන් අනතුරුව අපි කිහිප වරක් මග තොට එකිනෙකා දැක තිබුනා.පසුව ඇය තරුණයකු සමගින් විවාහ ගිවිස ගෙන ඇති බව දැනගන්න ලැබුණා ඇගේ යෙහෙළියකගෙන්.කාලය ගත වෙලා දැන් මනලියකව සැරසුණු ඇගේ විවාහයේ "Thank u Card" එක මා අත.

ඒයිනුත් කලකට පස්සේ මමත්,ඇයත් නැවතත් පිටකොටුවේ යන්න ගියේ පෙරදිනයක මිලදී ගැනීමට නොහැකිවූ සාරි මිලදී ගැනීමටයි.

ඒ මොහොතේ අප ගමන්ගත් බස් රථයේ අමරදේවයන්ගේ 

පෙර දිනයක මා පෙම් කල යුවතිය
සිය පුතු නලවනවා 
මගේම ගීයක් නැළවිලි ස්වරයෙන් 
ඇතින් මතු වෙනවා

ගීය වාදනය වෙන්න ගත්තා.ඒවිට මගේ උරමත සුපුරුදු ලෙස ඇගේ හිස තබමින් ඈ කියා සිටියා මෙසේ


"ඔයාටත් ඕනේ නම් ඔය සින්දුව කියන්න පුළුවන්.ඔයගේ අර යාලුවා අම්මා කෙනෙක් වෙන්න යන්නේ"

Monday, April 18, 2016

අහඹුවක් නොවුණු ඛේදවාචකයක් ගැන ලියවුනු කෘති දෙකක් ගැන මගේ කියවීම.

ගොළුවන්ට කතා කරන්න පුළුවන්නම් ! එය අහම්බයක් විය හැක.කතා කල නොහැකි ඇතැම් ගොළුවන් වුවද කතාකරවන පොලිසියට පවා කතා කරවන්න නොහැකි වූ ගොළුවෙක් "නාට්‍ය හා භාෂා"පාසලකින් චතුර කථිකයකු කිරීම අහම්බයක් මෙන්ම ආශ්චර්යක්ද වනු නොඅනුමානය.

වම්මුන්ගේ රතු පාටට ඇති අයිතිය පරණ වලව්වක හුදකලා ජිවිතයක් ගත කල රදළයකු විසින් සාර්ථක ව්‍යාපාරිකයකුව තමන් සතුකර ගැනීම අහඹුවක් නොවන්නේද ?

ලියනගේ අමරකිර්තිගේ සම්මානනිය නවකතාව වන "කුරුලු හදවත"මිලට ගන්නට පසුගිය පොත් ප්‍රදර්ශණයේදී සුරස කුටියට ගොඩවූ විට අහඹු ලෙසම දුටු අමරකිර්තියන්ගේම නවතම කතාව වූ "අහම්බකාරක"මිලදී ගත්තේ "කුරුලු හදවත"පසුව මිලට ගැනීමේ සිතුවිල්ලෙනි. 

රටක් හඬවන ඛේදවාචක වුවද තමන්ගේ යහපත උදෙසා හරවා ගන්නා අය ඕනෑ තරම් ඇත.සුනාමියෙන් සියල්ල නැති වූ අය මෙන්ම ගොඩ ගිය අයද ඇත.රට වසර ගණනාවක් ආපස්සට ගෙනගිය කළු ජුලිය තමන්ගේ වාසනාව කර ගත් ගොළුවෙක් ගේ කතාව විස්මය ජනක කතන්දරයකි. 

දරුවෙකුට උපත දෙන තිබිරි ගෙයක් වැඩිහිටි මිනිසෙකුට "අලුත් ජිවිතයක්"දෙන තැනක් වීම අහම්බයක්ද නැතහොත් අරුමයක්ද ?

ලියනගේ අමරකිර්තියන් තමන්ගේ කෘතිය තුල සංකේත භාවිතයද අපුරුවට ගොඩ නගා ඇත."පිච්ච මල්,හඳුන්කුරු සුවඳ" ආදිය පමණක් නොව "රතුපාට"පවා සංකේතත්මකව භාවිතා කරමින් කතාව ගොඩ නංවන අයුරු අපුරුය.

හරක් මස් නොකන නමුත් කලවැදි මස් කන බැටළු හම පොරවා ගත් ඉහළ සමාජ පන්තියට නගින්න ලොබ බඳින මිනිස්සු අතරේ තමන් ගැනම ස්වයං විවරණයක නිරත වෙන පරමාදර්ශී,තමන්ගේ බිරිඳට වුවද ඇයගේ නිදහස සොයා යාමට ඉඩහල බන්දුල බලගල්ල තුල ඇතැම් විට තම ළබැඳි හිතවතිය තමන්ගේ ගෝලයා වෙත දක්වන සමීපබව ගැන නැගෙන සියුම් ඊර්ෂාව මිනිසුන් තුල තිබෙන පෘතග්ජන ස්භාවය මැනවින් පිලිබිබු කරවයි.

මේ සියල්ලට වඩා කතාව යටින් යන අහබුවක් නොවන "දේශපාලන කතාව"අපේ මෑත කාලින දේශපාලනය සිහි ගන්වයි.ධනයෙන් ඉහල නගින මිනිසුන් දේශපාලනයෙන් බලය අරුඪ කර ගන්න තනන වැයම.ඒ වෙනුවෙන් කරන මරා ගැනීම් ලාංකේය දේශපාලනයේ කවරදාත් සිදුවන්නක් බව සිහි ගන්වයි.

ලංකාවේ දොස්තරලා ගැන වාමාංශිකයෙක් වෙච්චි ධනපතියකුගේ ඉඩම් බලාගන්නා සේනගේ විවේචනය කවදාත් වලංගු කතාවකි.

මේ සියලු චරිත අතරේ මා සිත්ගත් කාන්තා චරිතය වූයේ රාධා චිටර්ය.ඒ රාධා චිටර් ගේත් නිශ්ශංක විජේමාන්නගේ "තරා මගේ දෙව්දුව"කෘතියේ එන තාරාත් අතරේ ඤතිත්වයක්ද මට දැනේ.

සිංහල රාධාත්,දෙමළ තරාත් එකම ඉරණමකට මුහුණ දෙන්නන් සේ සිතේ.
දෙදෙනාම තමන්ගේ ප්‍රේමය මග හැර ගත්තෝ වෙති. 

මේ චරිත දෙක පමණක් නොව එම එම කෘති දෙක අතරේද කිසියම් ඤතිත්වයක් ඇති බවක් හැඟේ.අපුරු අඛ්යනයකින් ලියුවුනු නිශ්ශංක විජේමාන්නගේ "තාරා මගේ දෙව්දුව"ද රසවත් කවියක් වැනි නව කතාවකි.කෘති දෙකම 83 ඛේදවාචකය ගැන කතා කරයි.

අවස්ථාවාදී දේශපාලකයින්ගේ අවජාතක දරුවාවූ ජාතිවාදය කොයි තරම් දේ අපට අහිමි කෙරුවාද ?මේ ඛේදවාචකය නිසා අහිමිවුයේ මිනිසුන්ගේ ජිවිත,දේපළ විතරක් නොවේ.එක පන්තියේ මිතුරන් හතුරන් කරවපු ඛෙදවාචකය මිනිසුන් එකිනෙකාව කොයි තරම් සහෝදරත්වයෙන් දුරස් කර දැමුවාද ?ඒ දුරස්වීම් ජිවිත වලට කරපු බලපෑම් කොයිතරම්ද ?


මෙව්වා උත්තර නැති ප්‍රශ්න.ඒ ප්‍රශ්න ආයෙත් ඇති නොවෙන්නයි අපි කටයුතු කලයුත්තේ.එහෙම සහෝදරත්වයෙන් කටයුතු කරන්න එදාත් අපිට පුළුවන් කමක් තිබ්බා නම් තාරාගේ කතාව මෙයට වඩා ලස්සන වෙන්නත් තිබුණා. සිදුවෙච්චි ඒ ඛේදවාචක අහඹු,හුදකලා සිදුවීම් වෙන්නත් තිබ්බා.  

ප.ලි : අහම්බකාරක "සුරස"පොතක්, තාරා මගේ දෙව්දුව "විදර්ශන" පොතක්.

Tuesday, March 8, 2016

නිදහස් චතුරස්‍රය පිහිටි භුමියේදී පෙම් යුවලකට බාධා කරන ලදැයි කියන කතාබහා සම්බන්ධයෙනි.

බුකීයෙන් ගත්තේ.

මිට අවුරුදු එකහාමරකට විතර කලින් මටත් ඔය වගේ සිදුවීමකට මුහුණ දෙන්න සිදු වුනා.ඒ පිල්ලෑව-බොරලැස්ගමුව ඇවිදීමේ පථයේදී.
එදා මම මගේ පෙම්වතිය සමගින් එහි ඇවිදමින් සිටියා.ඇය සිටියේ මගේ අතින් අල්ලාගෙන පමණයි.අපි බෙල්ලන්විල පැත්තේ සිට ඉදිරියට එසේ ඇවිදන් එන විට එක් මුර කුටියක සිටි අයෙක් අප දෙස අවධානයෙන් බලා ඉන්න බවක් පෙනුනත් අප එය නොතකා ඉදිරියට පැමිණෙමින් සිටියා.
එවිට අර ආරක්ෂක කුටියේ සිටි නිලධාරියා එහි සිටම අප වෙත කෑගසමින් කියා සිටියා

 "මේකේ පොඩි ළමයි,අම්මලා ඇවිදිනවා ඔය විදියට මේකේ ඇවිදින්න බැහැ.ලඟම තියෙන ගේට්ටුවෙන් එළියට යන්න" කියා.

ඇත්තෙන්ම ඒ මොහොතේ අපි වික්ෂිප්ත භාවයටත්,පිඩාවටත් පත් වුනා ඔහු පැවසු දේත් සමගින්.එම නිලධාරීයාගේ චෝදනාව වූයේ අපි එහි ආශිලාචාර ලෙස හැසිරුණා යන්නයි.ඒ මොහොතේ මා තුල පැමිණි ආවේගය මා පාලනය කර ගත්තේ මා අසල සිටි ඈ එම ස්ථානයෙන් පිටව යාමට හඬමින් බල කරපු නිසා.

කෙසේ නමුත් පිටව යාමට පෙර මම ඔහුගෙන් විමසා සිටියා ඔහු කොහොමද තීරණය කරන්නේ කියලා අපි හැසිරුණු විදියේ ශිලාචාර-අශිලාචාර බව ගැන කියා.ඔහු එයට පැහැදිලි උත්තරයක් දුන්නේ නැති අතර ඔහුට වැඩි යමක් කියන්න මට නොහැකි වුවේ පෙම්වතිය කදුළු පිරි දෑසින් මට එතනින් පිටව යන්නට බල කල නිසායි.

ඔහුගේ නිර්ණායක අනුව පෙම් යුවලක් අත් අල්ලා ගමන් ගැනීම අශිලාචර ක්‍රියාවක්. එසේ වන්නේ ඔහු අඩු වශයෙන් දයාරත්න රණතුංගයන් ගයනා "දුරස් වන්නට මේ ලෙසින්"ගීතය හෝ අසා නැති වන්නට පුළුවන්.එම ගීතය අසා ඇත්නම් එහි අන්තරා කොටසේ ඇති 

"අත්වැල් බැඳගෙන මං මාවත් දිග 
ඔහේ ඇවිද ගිය කාලය මතකද"  යන කොටසද අසා නැති වන්නට බැරි නැත.

අත් අල්ලා පෙම් යුවලක් ගමන් ගැනීම දඩුවම් ලබා දිය යුතු වරදක්ද?

නීති පැනවීමෙන් සදාචරය ඇති කල නොහැක. 

නිදහස් චතුරස්‍ර භූමියේ පෙම්වතුන්ගේ හැසිරීමක් සම්බන්ධයෙන් ඇති වූ නාටක අවසානයේ පෙම්වතුන්ට අවවාද  කරන ලද ආරක්ෂකයින්ගේ රැකියා අවදානමකට ලක් වීමට ඉඩ දිය යුතුද නොවේ.සිදුවිය යුත්තේ පුද්ගල නිදහසට බාධා නොවන පරිදි දෙපිරිසම කටයුතු කිරීමයි.එය එසේ නොවන තාක් මෙවැනි නාටක සාමාජය ඉදිරියේ වරින් වර දිග හැරෙනු ඇත.

Monday, February 8, 2016

නොහඬන්න අප්පච්චි.

ජායාරුපය අන්තර්ජාලයෙන්.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෑසේ කදුළු නැගෙන ජායාරුපයක "රටක කදුළු පිස දැමු මිනිසාගේ දෑසේ කදුළු දුටුවෙමු"යනුවෙන් සටහන්ව සමාජ වෙබ් අඩවිවල සංසරනය වනවා දුටුවෙමු.මේ රටක කදුළු පිස දැමුවා යයි අදහස් කරන්නේ යුද්ධය නිමා කිරීම විය යුතුය.ඒ හැර මර්වින් සිල්වා,බන්දුල ගුණවර්ධන,නිශාන්ත මුතුහෙට්ටිගම ඇතුළු මහින්ද රජයේ මැති ඇමතිවරු දුන් ආතල් වලින්ද (මේ යහපලාන ආණ්ඩුවේත් ඒ වගේ ජෝකර්ලා මදි නොකියන්න ඇති බව පෙනි යයි. ) රටේ මිනිසුන්ගේ කදුළු පිස දැමුවා විය යුතුය.

කෙසේ වෙතත් යුද්ධයට දේශපාලන නායකත්වය දුන් මහින්දට මෙන් යුධ හමුදාවට නයකත්වය දුන් සරත් ෆොන්සේකාට වීරත්වයේ කිරුළ පැළදීමට අවස්ථාවක් නොලැබුනේ වීරයා එක රැයින් ද්‍රෝහියෙක් වූ නිසාය.එසේ වන්නට එකම හේතුව මහින්දට විරුද්ධව මැතිවරණයට ඉදිරිපත් විමය. වීරයා ද්‍රෝහියෙක්ව දඟ ගෙට ගියාද ඒ ගැන කතා කල අය සිටියේ නැත.

කෙසේ වුවද ඉහත කි මහින්දගේ දැසට කදුළු උණන සිදුවීමට ප්‍රස්තුත වුයේ තම දෙවැනි පුත් යෝෂිත පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම සහා අධිකරණය විසින් ඔහු බන්ධනාගාර ගත කිරීමට කරන ලද නියෝගයයි.මේ අත්අඩංගුවට ගැනීම සිදු වූ දින මාධ්‍ය වෙත ඒ ගැන අදහස් දැක්කු මහින්ද කියා සිටියේ තම දරුවෙක් වුවත් වරදක් කර ඇතිනම් දඩුවම් දීමට තම විරුද්ධ නොවන බවයි.අත්අඩංගුවට ගත යෝෂිතගේ අප්පච්චි එසේ පැවසුවද මේ සිදුවීම ගැන අදහස් දක්වමින් යෝෂිතගේ බාප්පා වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ පවසා සිටියේ "පළිගත්තාට කමක් නැහැ.එත් ළමයින්ගෙන් පළි ගන්න එපා"යනුවෙනි.

ගෝඨාභයගේ අදහස් දැක්වීමට අනුව දේශපාලන පළිගැනීම් සිදු කෙරුවත් කමක් නැත.නමුත් ළමුන්ගෙන් පළි ගැනීම නොකළ යුත්තකි.

ලසන්ත විර්කමතුංග ඝාතනයෙන් ඒ ලසන්තගේ දරුවන්ට අයුක්තියක් වුයේ නැතිද?එක්නැලිගොඩගේ අතුරුදහන් වීම ඔහුගේ දරුවන්ට කල අසාධරණයක් නොවේද? සරත් ෆොන්සේකා සිරගත කිරීමෙන් ඒ දරුවන්ට ඉටු කලේ කුමන යුක්තියක්ද ? වැලිකඩ සිරකරුවන් ඝාතනය කිරීමෙන් ඒ දරුවන්ටත් දඩුවම් කලා නොවේද? රාජපක්ෂ සමයේ මෙවැනි තවත් සිදුවීම් උදාහරණ ලෙස දිය හැකි මුත් එය අවශ්‍ය නොවේ. 

 නීතිය සැමට සමාන විය යුතුය.එසේ නොවේ නම් යුක්තියේ දෙවගනගේ දෑසේ බැදී කඩතුරාවෙන් පලක් නැත.  

රාජපක්ෂ පවුලේ සාමාජිකයකු අත්අඩංගුවට ගැනීම විපක්ෂයේ  පමණක් නොව ආණ්ඩුවේ ඇතැමුන්ගේද විරෝධයකට හේතු වී ඇති බව පෙනේ.නමුත් එය එසේ විය යුතු නැත.යෝෂිත ඇතුළු පිරිස වෙත ඇති චෝදනා අධිකරණය ඉදිරියේ තහවුරු වුනොත් ඒ වැරදි සඳහා අධිකරණය  විසින් දෙන දඬුවම් විඳිය යුතුව ඇත.නිවැරදිකරුවන් වේ නම් ගැටලුවකින් තොරව නිදහස් වනු ඇත.


සි.එස්.එන් නාලිකාවේ සඟවා ඇති සන්නිවේදන උපකරණ හෝ වත්කම් සෙවීමට එදා මෙන්  රැගෙන නොයන නිසා මේ සැකකරුවන්ගේ  ජීවිත ගැන අනියත බියක් ඇති කර ගත යුතුද නැත.

Monday, January 18, 2016

පොතක් සහා කතාවක්.

පි කිව්වේ "මාමා" කියලා.
සමහරු "අප්පච්චි" කිව්වා.ජනවාරි අට වැනිදායින් පස්සේ "අප්පච්චි මලා"කියලාත් සමහරු කිව්වා.

ඒ අප්පච්චිගේ පුතාව අප්පච්චිගෙන් පස්සේ රජ කරවන්න සමහරු බලන් හිටියා.

හැබැයි වැඩේ වැරදුණා!

ඒගොල්ලෝ කිව්වේ "ශ්‍රේෂ්ඨ රජ්‍ය නායක සහෝදර"කියලා. 
ශ්‍රේෂ්ඨ රජ්‍ය නායක සහෝදර පුතාට කිව්වේ "ආදරණිය නායක" කියලා හිටං.

දැන් ඒ රට කරන්නේ අර කියපු "ශ්‍රේෂ්ඨ රජ්‍ය නායක සහෝදරයාගේ" මුනුබුරා.තාත්තාගෙන් පුතාට සිහසුන යන ජනතාව පාලකයින්ගේ යටත් වැසියෝ වෙලා ඉන්න රාජාණ්ඩු ක්‍රමයෙන් අපි ගැලවුණත් තාමත් ඒ රටේ මිනිස්සුන්ට එහෙම වාසනාවක් නැහැ. 


මේ උතුරු කොරියාවේ අදටත් තියෙන තත්වය.
උපුටා ගත්තේ අන්තර්ජාලයෙන්.

ඒ අතින් බලන කල අපි වාසනාවන්තයි.පහුගිය ජනවාරි අට වෙනිදා මහින්ද මාමාගේ ඒකාධිපති පවුල් පාලනය නතර නොවන්න අපිටත් උතුරු කොරියාවේ වගේ ආඥදායකත්වයක රස බලන්නත් ඉඩ ලැබෙන්න තිබුණා සමහරවිට.

ව්‍යජ දේශප්‍රේමයකින් රටේ සාගින්න දිළිදු සාමාන්‍ය ජනතාවට දරා ගන්න බල කරන අතරවාරයේ පක්‍ෂ නායකයන්ට,රජයේ ඉහළ නිලධාරින්ට විතරක් නෙමේ ශ්‍රේෂ්ඨ රජ්‍ය නායක සහෝදරයා වෙච්චි "කිම් ඉල් සුං" ගෙත්  ආදරණිය නායක "කිම් ජොං ඉල්" ගෙත් ගුණ ගයනා කරලා ප්‍රශස්ති කියපු වන්දි භට්ටයින්ටත් ලොකුම හැන්දෙන් බෙදපු කිම් ඉල් සුංගේ උතුරු කොරියාව සමහර වේලාවට මහින්ද මාමා තමන්ගේ වටේ හිටපු වන්දි භට්ටයින්ටත් සලකපු හැටි මතක් කරනවා.

හාල් ඇටයක් හොයා ගන්න නැති කමින් රටේ සාමාන්‍ය ජනතාව ගස් වල පොතු කනකොට.පක්‍ෂ නායකයෝ එකතු වෙලා ඒ මිනිස්සුන්ට ලැබුණු සහනාධර වලින් සාද දැම්මා.

මානව හිමිකම් නැතුව,සියලු මාධ්‍ය පාලකයින් මෙහෙයවන සහා පාලකයින්ගේ ගුණ ගයන හොරණෑ විතරක්ම වුණාම පාලකයෝ කියන බොරු දේවත්වයේ ලා සලකන්න රට වැසියන්ට සිදුවුණා.ඇමරිකාව අධිරාජ්‍යවාදී බල්ලෝ වෙනකොට අසල්වැසි දකුණු කොරියාව රූකඩ රාජ්‍යක් කියලා දේශප්‍රේමි නායකයෝ කියනකොට පාසල් පොත් වල එව්වා ඒ විදියටම සටහන් වුණා.

පාසැල් ගුරුවරු පවා "කිම් ඉල් සුං" ගේ විස්මිත බුද්ධිය ගැන පුදුම වුණා."කිම් ඉල් සුං" ගේ බුද්ධිය ගැන කතාවක් මේ.


"කුරුල්ලෝ දහයක් අත්තක් උඩ වහලා ඉන්නවා.දඩයක්කාරයෙක් එක කුරුල්ලෙක්ව මරනවා.දැන් කියක් අත්ත උඩ ඉන්නවාද ?" පංතියේ හැමෝම නමයක් කිව්වාම අනාගත ශ්‍රේෂ්ඨ නායක "කිම් ඉල් සුං" දීපු උත්තරේ "එකෙක්වත් නැහැ.වෙඩි සද්දෙට අනෙක් උන් පියබා යන නිසා" කොහොමද බුද්ධි ප්‍රභවය.!

ලෝකයට ජුගුප්සාජනක උතුරු කොරියාව වගේ රටක් වෙන්න ඉඩ නොදී,දේශපාලකයින්ට රට වනසන්න නොදෙන එක පුරවැසියන්ගේ යුතුකමක්.

ජාති,පාට,පක්‍ෂ වලට බෙදිලා ඒ දේ කරන්න බැහැ.

රජ වෙන්න හදපු එක්කෙනක්ව ජනතාව ගෙදර යැව්වේ තව කෙනෙක්ව රජ කරවන්න නොවන බව මෛත්‍රීත් ඒ වටේ ඉන්න වන්දිභට්ටන් දැනගත යුතුයි.එසේ නොවේ නම් මෛත්‍රීටත් මහින්දට සිදුවූ දේම වෙන්න වැඩි කාලයක් නොයනු ඇති.

උතුරු කොරියාව ගැන ඉහතින් දක්වපු උපුටන සියල්ල ලබා ගත්තේ HYOK KANG විසින් රචිත "This is Paradise, My North Korean Childhood" යන කෘතියේ සිංහල පරිවර්තනයෙන්.
 පරිවර්තක නිමල් සෝමරත්න.විදර්ශන පොතක්.

ප.ළි:ලෝකයේ අනෙක් රටවල් වලට වඩා සංවෘත රටක් වෙන උතුරු කොරියවේ තත්වය අද එදාට වඩා වෙනස් වෙන්න පුළුවන්.ඇතැම් අයට අනුව මේ කෘතිය  උතුරු කොරියාවට මඩ ගැසීමට අතිශයෝක්තියෙන් රචනා කරන ලද ප්‍රබන්ධයක්.කෙසේ වෙතත් මේ කෘතියේ ඇති සියල්ල ඇත්ත ලෙස පිළිගැනීමට හෝ බොරු ලෙස ප්‍රතික්ෂේප කිරීමට මට හැකියවක් නැත.




Thursday, December 10, 2015

හින පිළිබදව නක්ෂත්‍රකරුවෝ.

මේ පොඩ්ඩක් විතර පිළුණු කතාවක්.

මේ කතාව කියන්න තිබ්බේ අර සෝමවංශ සහෝදරයා ගිහින් විරවංශ මහත්තයාව බදා ගත්තු දවස්වල.මතකයිනේ ඒ වෙලාවේ සෝමවංශ කරපු කතාව!

"පොදු සතුරා විසින් අපිව එකතු කරලා තියෙනවා"කියලා කිව්වේ.

මේ කියන්න යන්නේ ඒ කතා ගැන නෙමේ.මේ කියන්න හදන්නේ ඒ දෙන්නගේ එකතු දීගේ ගැන මම හීනෙන් දැක්ක එක.

මම හීනෙන් දැක්කේ සෝමවංශ විමල් එක්ක එකම වේදිකාවේ මහින්ද වෙනුවෙන් කතා කරනවා.

ඒ වෙනකොට සෝමවංශ ජවිපෙන් ඉවත් වෙලා හිටියත් විමල් එක්ක එකතු වෙලා හිටියේ නැහැ.නිකම් දැකපු හීනයක් නමුත් ඒ හීනේ අන්තිමට සැබෑ උනා.

හීනේ සැබෑ වෙලා දෙන්නා දීග ගියාට ඒ දෙන්නගේ දීගේ තව කොච්චර කාලයක් තියේද කියලා නම් මට සැකයි.මොකෝ සෝමවංශ මහත්තයා ජවිපෙන් දික්කසාද උනාට තව තව කසාද කරන්න හොයන නිසා.  

මේ හීනේ මම දැක්කේ ජුනි පළමුවැනිදා පාන්දර.මට හීනේ දැක්ක දවස මතක මම එදාම උදේ බුකීයේ "සංදේශය"පිටුවේ මේ හීනේ ගැන සටහනක් දාපු නිසයි.


මේ තියෙන්නේ ඒ සටහන.
මම ගොඩක් වෙලාවට නිදා ගන්න කොට රෑ දොළහට ඉතා ආසන්න වෙනවා.ආයෙමත් උදේ පහට නැගිටලා කිරිතේ එක බීලා නිදා ගන්නවා.ඊට පස්සේ නැගිටින්නේ උදේ හතට විතර.මට ගොඩක් වෙලාවට ඉතින් හීන පේන්නේ ඔය තේ එක බීලා ආපහු නිදාගෙන ඉන්න වේලාවටයි.


මේ ඔය වගේ දැක්ක තව හීනයක්.

එදා දැක්කේ අපේ හිතවත්ම මිත්‍රයෙක් මරණයට පත් වෙලා ඉන්නවා.දැන් ඉතින් ඒ යාලුවාගේ මරණ ගෙදර මම ඇතුළු අපේ තව යාළුවෝ සෙට් එකක් ගිහින් හිටියා.වැඩේ කියන්නේ මම හීනෙන් මැරිලා ඉන්නවා දැක්ක යාළුවාත් අපිත් එක්කම ඌගේ මරණ  ගෙදර නයිට් එක ගහනවා.

කොහොමින් හරි හීනේ දැක්ක දවසේ හවස කෝල් එකක් එනවා 

"මචං xxගේ මාමණ්ඩි අන්ත්‍රා වෙලා" කියලා.

මම හීනෙන් මැරිලා ඉන්නවා දැක්ක එකාගේ මාමණ්ඩියි මැරිලා තියෙන්නේ.

ඒ දැන් ඉතින් බලන් ගියාම මටත් "රාජකීය දෛවඥ"වගේ තනතුරකට ඉල්ලන්න සුදුසුකම් තියෙනවා වගේනේ.

කනාවට හෝ හරි යන්න අපෙනුත් හීන පලාපල අහන්ට.

ප.ලි :කාලයක් තිස්සේ දැක්ක තවත් "හීනයක්" අර්ධ වශයෙන් තව දින කිහිපයකින් සැබෑ වෙන්න යනවා.ඒ හීනේ අනිත් අර්ධය සැබෑ වෙන්ට තවත් මාස කිහිපයක් තියෙනවා.

Saturday, October 31, 2015

දුකට කියන කවී.


Add caption


මහින්දගේ කටු කෑ හොරිකඩ  හැත්ත 
යහපාලනෙත් කුණු අඳිනවා    දැක්ක 
උස්සා බැටන් පොල්ල අසරණයන් තලන 
දීපං රළහාමි යුනිපෝම් එක බල්ලෙකුට 

Thursday, October 22, 2015

ඇඩ්‍රස් නැහැ


හෙන්රි අයියාගේ නොකීකතා බ්ලොග් එක ගැන දන්නවානේ.එකේ යන්නේ නොකී කතානේ,මටත් හිතුනා නොකී කතාවක් කියන්න.

හැබැයි මේක මේ නොකී කතාවක් කිව්වත් දන්නා කිහිපදෙනෙකුත් ඉන්නවා.හැබැයි ඒ දන්නා අය ඒ කතාව දන්නේ මම කියලා නෙමේ වෙනත් ආරංචි මාර්ග වලින් තමයි දන්න අය මේ කතාව ගැන දන්නේ.ඉතින් මම නොකිව්ව නිසා මේක නොකී කතාවක් තමයි හිටං.

මේ කතාවේ මම හැර තවත් අයෙක් ඉන්නවා.මිනිහා බ්ලොග් නොකියෙව්වාත් එයාගේ අනන්‍යතාව රකින්නත් එක්ක මම පොරට "දිගා"කියන අන්වර්ථ නාමය දෙන්නම්.මේ "දිගා" මගේ අතිජාත මිත්‍රයෙක්.එදාත්,අදත්,හැමදාටමත්.

මේ "දිගා"ඒ පවුලේ එකම දරුවා.

ඒ මීට හරියටම අවුරුදු පහකට විතර කලින් සිකුරාදා දවසක්.ඔෆිස් ගිහින් ගෙදර ඇවිත් හිටපු මට "දිගාගෙන්" කෝල් එකක් ආවේ මම බලපොරොත්තුවෙන් සිටිය විදියටමයි.

"මචං උඹලෑ ගේ ඉස්සරහා ඉන්නේ.වරෙන් පාරට" ඇමතුමට අනුව මමත් පාරට අවා.

දිගා ඇවිත් තිබ්බ කාර් එකේ ඉදිරිපස අනෙක් අසුනේ හිටියේ දිගාගේ පෙම්වතිය.හෙට දිනයේ ඇය ඔහුගේ නිත්‍යනුකුල බිරිඳ වීමට නියමිතයි.හැබැයි ඒ මුළු ලොවට හොරෙන්.දිගා කලින්ම ගිහින් විවහා ලේකම්වරයකු හමුවී සියල්ල සුදානම් කොට ගෙන තිබුණා.මට තිබුනේ පසුවදා එම විවාහයේ සාක්‍ෂිකරුවකු වීම පමණයි.

මම කාර් එකේ පිටුපසින් නැග්ගට පස්සේ මා මිතුරු දිගා හෙට දිනයේ සැලසුම විස්තර කලා.

ඒ අනුව පසුදා උදයේ නමය වනවිට සුදානමින් සිටි මාවත් රැගෙන මා මිත්‍රයා සහා ඔහුගේ පෙම්වතිය අනෙක් සාක්‍ෂිකරුද වාහනයට නංගාගෙන විවහා ලේකම් වෙතට ගියා.

අපි සාක්ෂියට අත්සන් කෙරුවා.විහාහය සිදු වුනා සියල්ලෝම සතුටින් විසිර ගියා.

හොඳම හරිය සිදුවුනේ ඊට දෙදවසකට පසුවයි.
පුරුද්දක් විදියට මම දිගාලාගේ ගෙවල් පැත්තේ නිතර යනවා.ඉතින් මේ වෙද්දී දිගා තම අලුත ගෙනා බිරිඳ සමගින් තමන්ගේ ගෙදර පදිංචිවී සිටියා.අලුත ගෙනා මනමාලිට විරුද්ධත්වයක් දිගාලාගේ ගෙදරින් ආවෙත් නැහැ.සියල්ල හොඳින් සිදු වෙන නිසා එදා හවස මම දිගාගේ ගෙදර යන්න ගියා.ඒ ගියෙත් දිගා මට කෝල් කරලා මෙහෙම කිව්වා නිසා.

"මචං අද හවසවත් උඹ අපේ ගෙවල් පැත්තේ වරෙන්.අපේ අම්මා දන්නේ නැහැ කවුද මේකට අත්සන් කෙරුවේ කියලා හිටං.උඹ නාවොත් උඹ ගැන සැක හිතයි.ඒ නිසා උඹ වරෙන්.හැබැයි අපේ අම්මා උඹේ කටට උත්තරේ දීලා අහයි උඹ නේද අත්සන් කෙරුවේ කියා උඹ නැහැ කියා කියපන්.දන්නෙවත් නැහැ කියලා කියපන් "

ඔන්න දැන් දිගාගේ උපදෙස් අනුව මම දිගාලාගේ ගෙදරට ගියා.මම යනකොට දිගා හදිසි වැඩකට එලියට ගිහින් හිටියේ.පෙරමගට ආපු දිගාගේ අම්මාත් මාත් අතරේ මෙහෙම දෙබසක් ඇති වුනා.

"පුතා දන්නවාද අපේ දිගා කරපු හපන්කමක්"

"මොකක්ද ආන්ටි"

"දිගා කසාද බැන්දානේ"

"නැහැ බොරු"

"බොරු නෙමේ ඇත්ත"එන්නකෝ ගෙට.

මමත් ගෙට ගියා.ඒ වෙනකොට ඒ ගෙදර ඒ පවුලේ හිතවතෙක් වෙච්චි මමත් දන්නා කියන කෙනෙක් ඇවිත් හිටියා.දිගාගේ තාත්තාත් හිටියා.ඒ අතරේ දිගාගේ බිරිඳ මට කාමරයක් ඇතුලේ සිට හස්ත සඥාවෙන් යමක් කිව්වාත් මට එය එක් වරම වැටහුනේ නැහැ.එත් එකක්ම දිගා කෝල් කරලා කලබලයෙන් කිව්වා

 "අපේ අම්මාට කියපන් අත්සන් කෙරුවේ උඹ කියලා" 
දැන් එක පාරක් මම නෙමෙයි කිව්වා මම ආයෙමත් කොහොමද මම තමයි කියලා කියන්නේ මම සද්ද නැතුව හා කියලා නිකන් හිටියා.

"දිගා නැහැනේ ආන්ටි මම පස්සේ එන්නම්"
"පොඩ්ඩක් ඉන්නකෝ පුතා,පුතා දන්නවාද මේ අත්සනයි,නමයි කාගේද කියලා හිටං"

දිගාගේ අම්මා එහෙම ඇහුවේ මගෙන් අර මහානුභාව සම්පන්න කසාද සහතිකේ මට පෙන්වන ගමන්. 

අන්න එතකොටයි මට ඇඩ්‍රස් නැති වුනේ.

ප.ලි : ඒ දෙමාපියෝ මා එක්ක තරහා වුනේ නැහැ.දිගාගේ භර්යාවත් බොහොම හොඳ ගුණ යහපත් කාන්තාවක්.දැන් දරුවකුත් සිටිනවා.


ප.ප.ලි : අපි කර දුන් විවහායක් වැරදි නැත.



Monday, August 3, 2015

මගේ මනාපය.



කලකට පස්සේ වෙලකට බැස්සේ කියලා "මී හරකෙක්" කිව්වායි කියන්නේ.ඉස්සර ගොවිතැන් කරන කොට නැතුවම බැරි වෙච්චි මී හරක් වුණත්  දැන් හිතනවා ඇති තාක්‍ෂණය කුබුරටත් බැහැලා තියෙන කොට නිරපරාදේ මඩ නා ගන්නේ මොකටද කියලා හිටං.

මී හරක්,මඩ වගේ වචනත් එක්ක එකටම ගලපා ගන්න පුළුවන් වචනයක් තමයි අපේ ජන්දත්.

දේශපාලකයෝ මී හරක්ය කියලා හිතං ඉන්න ජන්ද දායකයොත්,
ජන්දදායකයෝ මී හරක් කියලා හිතං ඉන්න දේශපලකයොත් ඉන්න රටේ මී හරක්ටත් වඩා වැඩියෙන් මඩ නාන/ගහන කාලයක්නේ ජන්ද කාලේ කියන්නේ.

පහුගිය ජනවාරි අටවෙනිදා මහින්දගේ ඒකාධිපති පාලනය අවසන් වෙච්චි දවසෙම වගේ තමයි මම හිතුවේ ඊගාව මහා ජන්දේදී "ජවිපෙට" ආයෙමත් දෙනවා කියලා හිටං.

එදා ජවිපෙට මහා ජන්දේදී කතිරේ ගහන්න ගත්ත තීරණය අද වෙද්දී තහවුරු කරගන්න රනිල්ගේ දින සියේ ආණ්ඩුවේ ක්‍රියා කලාපය බෙහෙවින්ම උපකාරී වුණා.රට ආපහු ජාතිවාදී,වර්ගවාදී බලලෝභයෙන් උමතු වෙච්චි ඒකාධිපතියෙක්ට යටත් කරන්න බැරි නිසා සන්ධානයට දෙන්නේ නැහැ.ඒ නිසා ජනවාරි අටවෙනිදා එපා වෙච්චි මහින්දව ආයෙමත් කොහොමත්ම එපාම තමයි.හිත හදාගෙන රනිල්ට දෙන්නත් බැරි මහා බැංකුවේ "බැඳුම්කර ගනුදෙනුව"ගැන රනිල්ගේ ඇල්මැරුණු ක්‍රියා කලාපය හා ප්‍රකාශ නිසයි.අජිත් නිවාඩ් මහා බැංකුවේ අධිපති ඉන්න කාලේ මිට වඩා දේවල් වුණා කියලා මේ ප්‍රශ්නය මග හරින එක සාධාරණ නැහැ.පහුගිය ආණ්ඩුවල වැරදි අලුත් ආණ්ඩුවේනුත් වෙනවානම් ජන්ද තියන එකෙනුත් තේරුමක් නැහැනේ. 

 කොහොම වෙතත් මේ මහා ජන්දෙන් කාටවත් 113 සරල බහුතරය ලබා ගන්න බැරි වෙන බව පැහැදිලියි.මොකාට වුණත් බලය අනිසි විදියට වැඩියෙන් ලැබුනාම පිස්සු කෙළින්න හදන නිසා එක එහෙම වෙන එකත් එක අතකට හොඳයි.කවුරු ආණ්ඩු කෙරුවත් ශක්තිමත් විපක්‍ෂයක් තියෙන්න ඕනේ රට අයාලේ නොයන්න නම්.පහුගිය කාලේ විපක්‍ෂයේ කාර්ය ජවිපෙන් ඉටුවූ ආකාරය ගැන සැහිමකට පත් විය හැකියි.ඒ නිසා කලිනුත් වතාවක වගේ මේ ගමනත් ජවිපෙට ජන්දේ දෙන්න ගත්තු තීරණය හරි කියලා මම හිතනවා.මේ ගමන මගේ මනාප තුන දෙන්නේ අනුර කුමාරට.ලාල් කාන්තට,සුනිල් වටගලට.

යම් විදියකින් ජවිපෙට නොදී එක්සත් ජාතික පෙරමුණට දෙනවා නම් මනාප දෙන්නේ හර්ෂට,එරාන්ට හා මනෝ ගනේෂන්ට.මනෝට දෙන්නේ මනෝ වාසියට නොවිකෙන පුද්ගලයෙක් කියලා හිතෙන නිසයි.පහුගිය ජන්දේදී කොළඹ මන්ත්‍රී කෙනෙක් විදියට පත්වෙච්චි ප්‍රභා ගනේෂන් මහින්දගේ දැත් ශක්තිමත් කරන්න මහින්ද ගාවට ගියාම තමන්ගේ සහෝදරයා වුණත් කරපු වැඩේ වැරදියි කියන්නත් ඔහුට විරුද්ධව විනය මාර්ග ගන්නත් මනෝ පැකිලුනේ නැහැ.තමන්ගේ මතය වෙනුවෙන් පැහැදලි ලෙස පෙනි ඉන්න ඔහු වගේ අයෙක්ට මනාපයක් දීමේ වරදක් මා දකින්නේ නැහැ.

පහුගිය මහා ජන්දේදී මම දුන්නේ යුඑන්පි එකට.පරදින බව දැන,දැන යුඑන්පි එකට දුන්නේමහින්දට එරෙහිව යුඑන්පි එකෙන් වැඩක් වේවි කියලා හිතලා.හිතපු තරම් වැඩක් වූණේ නැහැ හැබැයි එකෙන්.ඒ වතාවේ මනාප දුන්නේ රනිල්ට,රවීට හා මොහාන් ලාල් ග්‍රේරෝට.රත්මලානේ මිනිස්සුන්ට කොකා පෙන්නලා අන්තිමේදී  මොහාන් ලාල් මහින්දට සෙට් වුණා.දැන් "නැණස පැදු මිනිසා"කියලා අපේ ඔෆිස් එක එහා පැත්තේ ඔෆිස් එකක් දාගෙන ඉන්නවා.මට රවීව එපා වූණේ රවීගේ ප්‍රචාරක ව්‍යපාරය නිසාමයි.ජනතාවට සහන දුන්නේ ගෙදරින් ගෙනත් වගේ තමයි රවී පෝස්ටර්.කටවුට් ගහන්නේ.

කොහොම වුණත් ගිය ගමන වගේ විකෘති පාර්ලිමේන්තුවක් නොවී යහපත් ජනතා නියෝජනයක් සහිත ජනතාවට වගකියන පාර්ලිමේන්තුවක් මෙවර පත් වුණොත් එක තමයි වැදගත් වෙන්නේ.යහපාලනය කාගෙන්වත් සියට සීයක් බලාපොරොත්තු වෙන්න බැහැ.සාපේක්ෂ වශයෙන් හොඳ පාර්ලිමේන්තුවක් තමයි මෙවර බලාපොරොත්තුව.


මේ ගමන කප් එක කොහොමත් උස්සන්නේ යුඑන්පි එක.එක විශ්වාසයි.නමුත් තනියෙන් ආණ්ඩුව පිහිටුවන්න බැරි වෙනවා.එතකොට ඔය සන්ධානේ අප්පච්චි එක්ක නැගිටලා ඉන්න වුන් එහෙම ලැජ්ජාව (එහෙම එකක් තියේනවා නම්) පැත්තකින් තියලා එහෙම ඇවිත් රනිල්ගේ දෑත ශක්තිමත් කරන හැටි බලන්න පුළුවන්.

අන්න ඒ නිසා ඉහත කරුණු කරනාත් සලකා බලා මමත් මගේ හෘදසාක්ෂියට ඉඩ දෙන්න තීරණය කලා.ජනතාවාදී පාර්ලිමේන්තුවක්,සුබවාදී හෙටක් මෙවරවත් සිහිනයක් නොවේවා.

  

Friday, May 8, 2015

අපේ තාත්තායි,යහපාලනයයි.



මේ දවස්වල ජනප්‍රියම මෘතුකාවක්නේ "යහපාලනය"කියන්නේ හිටං.මේ අපේ තාත්තාගේ යහපාලන කතාවක්.අපේ තාත්තා ගැන කලිනුත් මම ලියලා තියෙනවානේ.

අපේ ගෙදර ජන්ද හතරයි.ගිය ජනධිපතිවරණයෙදී  හතර බෙදුණේ යහපාලනේට තුනක් යමපාලනේට එකක් විදියට.තාත්තා තමයි යමපාලනෙට ජන්දේ දුන්නේ.මහින්දට නොදී මෛත්‍රිට ජන්දේ දෙන්න කොයි තරම් කරුණු කාරණා අපි තාත්තාට පෙන්වලා දුන්නත් තාත්තා ජන්දේ දුන්නේ මහින්දටමයි.

මේ අවුරුද්දේ මුලදීම ඒ කියන්නේ ඔය ජන්ද දවස්වලදීම වගේ අපේ මල්ලි එයාගේ රස්සාවෙන් අයින් වුණා.වැඩකරන තැන පඩි මදි කියලා තමයි මිනිහා ඒ රස්සාවෙන් අයින් වුණේ.මිනිහාගේ ලොක්කා මල්ලිට ආයෙත් රස්සාවට එන්න පඩි වැඩිකරලා දෙන්නම් කිව්වත් මිනිහා ඒ රස්සාවට යන්න ආයෙත් කැමති වුණේ නැහැ. 

ඔය අතරවාරයේ මාසේ අන්තිම ආවා.සාමන්‍යවිදියට මම වැඩ කරන ආයතනයේ වාර්ෂික වැටුප් වැඩිවීම සිද්ධ වෙන්නේ ජනවාරියේ,හැබැයි මේ ජනවාරියේ එක ඒ විදියට සිද්ධ වුණේ නැහැ.එකට හේතු වුණේ යහපාලන ආණ්ඩුව අපේ ක්‍රොන්ත්‍රත් කිහිපයක් නතර කරලා තිබීමත් කරපු වැඩ වල සල්ලි නොලැබී යාමත් නිසා.හරියට නිකම් කලාහිතට වුණා වගේ වැඩක් තමයි අපිටත් වුණේ හිටං.

ඉතින් දැන් ඔය අපේ පඩි ජනවාරියේ වැඩි නොවිච්චි සිද්දිය මම ගෙදර ඇවිත් තාත්තා එක්ක කිව්වම තාත්තා කියාපි

"ඕකද උඹලාගේ යහපාලනේ,මල්ලිට රස්සාව නැහැ,උඹලාට පඩි වැඩි වෙලා නැහැ.දැන් තේරෙනවාද රඟේ" කියලා.

`````````````````````````````````````````````````````````````````````````````````

මේ තවත් කතාවක් මේ කතාව මතක් වුණේ අපේ හැලපයියාගේ ඌරු කතා නිසා.ඒ මතකය අලුත් වුණේ අපේ රවියියා ලියන්න ගත්තු කුකුළේ ගඟ කතා වස්තුව නිසා.


ඔන්න ඉතින් එකෝමත් එක සමයක අපි යාලුවෝ කිහිප දෙනෙක් කතා වුණා ට්‍රිප් එකක් යන්න.කොච්චර කතා වුණත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ බොහෝම හෙමිහිටනේ.විශේෂයෙන්ම ඔය ට්‍රිප් වගේ එව්වා අපි ගොඩක් වෙලාවට ගියේ කටින් තමයි.ඉතින් ඒ නිසා මේ වතාවේ කටින් නොවේ ඇත්තටම කොහෝම හරි යන්න ඕනේ කියලා තීරණය කර ගත්තා හිටං.

ට්‍රිප් එක යන්න සභා සම්මත කරගත්තේ අර කුකුළේ ගඟ පැත්තේ තියෙන මාකෙළිය ඇල්ල.නාලා,කලා,බිලා එන්න තමයි අපේ න්‍යය පත්‍රය වුණේ.ගමන යන්න යාළුවෙක්ගේ NOHA වැන් එකක් සුදානම්.මේ යාළුවාට තව KDH වැන් එකකුත් තියෙනවා.ගමනේ ප්‍රධන සංවිධායකත් මිනිහාම තමයි.

ටුඩේ ඉස්පෙෂල් මඤ්ඤොක්කා සමගින් ඌරු මස්  හොඳයිනේ!බොන දේවල් අතරමගින් ගන්න කතා කර ගත්තා.දැන් හැමෝම ගමනට සුදානම්.කල්ගියොත් වැඩේ නොවෙන්න තියෙන සම්භාවිතාව වැඩි හින්දා සෙනසුරාදාම ගමන යන්න දාගත්තා.

මඤ්ඤොක්කායි,ඌරු මසුයි හදන වැඩේ භාර ගත්තේ මම.මොකද අපේ ආච්චිට කෑම හදන්න පුළුවනි ආයේ නැහැ හැලි,වලං හුරාන් කන්න පුළුවන්.දිව්‍යලෝක රසයි එයාගේ කෑම.ඔන්න දැන් සිකුරාදා දවසක ජාඇල ගිහින් ආපු යාළුවෙක් ඌරු මස් කිලෝ 4 විතර අපේ ගෙදරට ගෙනත් දාලා ගිහින් තිබ්බා පහුවදාට අරන් යන්න හදන්න.මම ඔෆිස් ඉඳන් යන ගමන් මඤ්ඤොක්කා කිලෝත් 5 විතර අරන් ගියා.

එදා රෑම ආච්චි ඌරු මස් එක ඉව්වා.ලොකු මැටි ඇතිළියක දර ලිපේ.මඤ්ඤොක්කා එක පහුවදා උදේ හදන්න තියා ගත්තා.උදේ  හයට විතර කට්ටිය අපේ ගෙදරට එනවා කියලා රෑ නමයට විතර කෝල් කරලා ගමනේ සංවිධායකතුමා මට දැන්නුවා.දැන් සියල්ල හරි සතුටු සිතින් නින්දට ගියා.

පහුවදා උදේම නැගිටිනකොටත් ආච්චි මඤ්ඤොක්කා එක තම්බලාත් ඉවරයි.මම නැගිටලා ලෑස්ති වෙලා හිටං ඇවිත් ෆෝන් එක ගත්තා තව යාළුවෙක්ට කෝල් එකක් ගන්ට.එතකොටයි දැක්කේ මගේ ෆොන් එක ඔෆ් වෙලා තිබ්බ බව.සාමාන්‍යයෙන් මම නිදාගන්න කොට ඔය ෆෝන් එක ඔෆ් කරන්නේ නැතත් එදා කොහොමින් හරි ෆෝන් එක ඔෆ් වෙලා තිබ්බා.  

දැන් ඔන්න ෆෝන් එක ඕන් කරලා මිනිත්තු කිහිපයක් යද්දී මැසේජ් කිහිපයක් අවා.කෝල් ඇලට් කිහිපයක් එක්ක තිබ්බ එක මැසේජ් එකක තිබ්බා.'මචං ට්‍රිප් එක යන්න වෙන්නේ නැහැ.මම හදිසියේම හැටන් යනවා'කියලා එකක් අපේ ට්‍රිප් එකේ ප්‍රධන සංවිධායක තුමාගෙන්.


දැන් ආච්චි කුස්සියේ ලෑස්ති කරපු කෑම අරන් යන්න භාජන වලටත් දාන්න අරගෙන.ඔය අතරතුරේ තව යාළුවෙකුත් අපේ ගෙදරට අවා ට්‍රිප් එක යන්න.

සංවිධායකතුමාගේ මැසේජ් එක දැක්ක ගමන් මම යාළුවට කෝල් එකක් ගත්තා.මම හිතුවෙම මේකා මේ අපිව බයිට් කරන්න යන්න වෙන්නේ නැහැ කියලා කිව්වේ බොරුවට කියලා හිටං.එත් මම කෝල් කරනකොටත් ඇත්තටම සංවිධායකතුමා හැටන්.

වෙලා තියෙන්නේ සංවිධායක යාළුවාගේ තාත්තා අර මම කිව්ව KDH එකේ හැටන් වලට හයර් එකක් ගිහින්.හයර් එක ගිය උන් තාත්තාට බොන්න දීලා වැන් එක අරන් ගිහින්.තාත්තා බලන කොට වැන් එක නැහැලු.හයර් එක ගිය මිනිහා ෆෝන් එක ආන්සර් කරන්නෙත් නැහැලු.ඉතින් තාත්තා කලබල වෙලා පුතාට කෝල් කරලා පුතා කලබල වෙලා හැටන් දුවලා.

තනියෙනුත් නෙමේ මේකා ගිහින් තියෙන්නේ ට්‍රිප් එක යන්න හිටිය තව යාළුවෝ දෙන්නෙකුත් එක්ක.දැන් ඉතින් ට්‍රිප් එකට අබ සරණයි.දැන් මොනවා කරන්නද ඒ පාර මම හිතුවා දැන් ඔන්නඔහේ ඔෆිස් එකටවත් යනවා කියලා අර ආපු යාළුවාට කිව්වා "ඔහොම හිටපන් මම නාගෙන එන්නම්"කියලා.එක ඇහුණු තාත්තා කිව්වා "ඉතින් මේ මඤ්ඤොක්කා ටිකයි,මස් ටිකත් ටැප් එක ළඟටඅරන් ගිහින් නාලා කාපන්" කියලා. 

හරි දැන් ඒ කතා ඉවරයි.දැන් මගේ කතාව."යහපාලන ආණ්ඩුව" බලයට අවා කියලා එකෙන් අපේ සාක්කුවට වාසියක් නොවුණු බව ඇත්ත.ඒ වගේම "යහපාලනෙත්"කියපු තරම් යහපාලනයක් නැති බවත් ඇත්ත.එත් මිනිස්සු එපා කියලා බලයෙන් පහකරපු නායකයෝ තවමත් "ජාතිය,ආගම"ඉස්සරහට දාගෙන නටන පිස්සු දැක්කාම මේ යහපාලනය අඩුපාඩු තිබුණත් අර අධම මර පාලනයට වඩා ගොඩක් හොඳයි.

Monday, March 23, 2015

හොරු සමග හෙළුවෙන් බුදියන යහපාලන ආණ්ඩුව.


යහපාලනය,ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලස්සන කතන්දර කියමින් බලයට පැමිණි නව ආණ්ඩුවේ ගමන පෙර පැවති මහින්දගේ ජරාජීර්ණ ආණ්ඩුවේ ගමන මෙන් නොවුණත් යන හැටිය ඒ තරම් හොඳ නැත.පසුගිය ජනධිපතිවරණ කාලයේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාවෙන් ඇසුණු දේවල්,දුන් පොරොන්දු බලයට පැමිණිමෙන් අනතුරුව ඒ විදියෙන්ම සිදු නොවීම කණගාටුවකි.

ආකර්ෂණිය දින 100 වැඩසටහනට අදාළ දින ගණනින් දින 70 පමණ ගෙවී ගොස් තිබෙන නමුත් මහින්ද රාජපක්‍ෂගේ නාස්තිකාරී වියදම් පාලනයේ සීමාවක් සහා ලැබුණු සහන කිහිපයක් මිස ජනතාව වෙත සෘජු 
ප්‍රතිලාභ කිසිවක් නොලැබීමද අවාසනාවකි.සැමට එක ලෙස ක්‍රියාත්මකම වෙන නීතියක් ගැන යහපාලන බලාපොරොත්තු මුලින්ම බිඳ දැමුවේ නිතිය,සාමය,පොලිසිය භාර අමත්‍යවරයම වීම ඉමහත් කණගාටුවකි. 

මේ යහපාලන ආණ්ඩුවෙන් මා පුද්ගලිකවම බලාපොරොත්තු වුවේ මේ ප්‍රෝඩාකාරී ව්‍යවස්ථාවේ ජනතාවාදී සංශෝධනයක් මිස අනිකක් නොවේ.මා පුද්ගලිකව එසේ බලාපොරොත්තු වුවත් අනෙක් බොහෝදෙනාගේ අපේක්ෂාව වී තිබුණේ හොරුන් එතනෝල්,කුඩු ජාවාරම්කරුවන් නිතිය හමුවට පමුණුවා දඬුවම් පැමිණවීමයි.

ධනබලයෙන්,මැරබලයෙන් උදම්වී රාජ්‍යබලය උපයෝගී කරගෙන වැරදිකල වුන්ට දඬුවම් කිරීම අනිවර්යෙන් සිදුකල යුතු වන අතරම එසේ දුෂිතයින්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රමුඛතාව දෙන්නා සේම දුෂිතයින්,මිනීමරුවන් බිහිකරන,ආරක්ෂාකරන ව්‍යවස්ථාවේ පැහැදිළි වෙනසක්,ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කිරීම වැනි ජනතාවාදී දේ මේ දින 100 තුල සිදුකිරීමට යහපාලන ආණ්ඩුව ප්‍රමුඛතාව දියයුතු වන අතර එසේ සිදුකිරීමට බහුතර විපක්ෂයේ සහය නොලැබේනම් සිදුකල යුතුව තිබුණේ ආණ්ඩුව විසුරුවා හැර මහාමැතිවරණයකට යාමයි.නමුත් දැන් සිදුවෙන්නේ යහපාලනේ නාමයෙන් පක්‍ෂ,විපක්‍ෂ සියලු දුෂිතයින් එකම වේදිකාවකට එකතුවී එකිනෙකා සමග සහයෝගයෙන් එකිනෙකා ආරක්ෂා කර ගැනීමට සුදානම් වීමයි. 

පහුගිය මැතිවරණයෙන් පැරදවූයේ මහින්දගේ ඒකාධිපතිපාලනය පමණක් නොවේ.ඒ ආණ්ඩුවේ බොහොමයක්දෙනා ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද බව පැහැදිලිය.එසේ තිබියදී ගහෙන් ගෙඩි එන්නා සේ "ජාතික ආණ්ඩු"යයි කියාගන්නා විකෘති ආණ්ඩු පිහිටුවීම කිසිසේත් පිළිගත හැකි නොවේ.

ජනතාවට අවශ්‍ය නීතිගරුක,යුක්තිසහගත රටක් මිස වෙනකක් නොවේ.විපක්ෂය ආණ්ඩුව සමගින් දීග යෑමෙන් සිදු වන්නේ නාමික විපක්‍ෂය හෝ නැතිව යාමයි.එය ප්‍රජාතන්තවාදී රටකට කිසිසේත් සුදුසු නොවේ.විපක්ෂයේ හඬ ජවිපෙ වුවත් ඔවුන් පාර්ලිමේන්තුව තුළ ඔවුන් සතු බලය සීමිතවීමද ගැටලුවකි.

"ජාතික ආණ්ඩු" බිහිවිය යුත්තේ "ජාතික ප්‍රතිපත්ති" පෙරදැරි කරගෙන මිස පුද්ගල පරමාර්ථ මුදුන් කර ගැනීමේ පටු චේතනාවෙන් නොවිය යුතුය.මේ "ජාතික ආණ්ඩුව" හොරු සමගින් හෙළුවෙන් එකට සිට ගැනීමකි.බල්ලන් සමග නිදියැමකි. 

Thursday, February 19, 2015

බයියෝ ගොඩක් මැද.




කළුබෝවිල ඉස්පිරිතාලේ ඉන්න යාළුවෙකුගේ අම්මා කෙනෙක් බලන්න ඊයේ හවස ගියා.යාලුවගේ අම්මාව බලලා ඉවර වෙලා කළුබෝවිලින් පිළියන්දල යන බස් එකක නැග්ගේ පිළියන්දලට යන්න.මාත් එක්ක ගැනු ළමයත් හිටියා.ඉතින් අපි සුපුරුදු විදියට බස් එකේ අන්තිම පේළියේ සිට් එකේ කොනේ ඉඳගත්තායින් පස්සේ කොහුවලදි බස් එකට තවත් අය නැග්ගා.දැන් බස් එක යන අතරේ මට එහා පැත්තේ වාඩි වෙලා හිටපු අන්කල් කෙනෙක් තමන්ගේ ශ්‍රී මුඛ්‍ය විවර කොට මැදමුලන පර්සි මහේන්ද්‍ර රජ්ජුරුවෝ ගැන ප්‍රශස්තියක් පටන් ගත්තා.  


"රට එක්සේසත් කරපු මනුස්සයා.රජෙක් එතුමාලෝකේ ඕනේ තැනක ගිහින් අපි ලංකාවේ මිනිස්සු කියලා බය නැතුව කියන්න පුළුවන් කෙරුවේ ඒ මනුස්සයා" ආදී වශයෙන්.ආ තව ලන්ඩන් වල ඉන්න පුතා කතා කරලා කිව්වලු ඒ අංකල්ට I'm Sri Lankan කියලා ආඩම්බරෙන් කියන්න පුළුවන් තත්වයක් මහේන්ද්‍ර රජ්ජුරුවෝ හදලා තියෙනවා කියලාත්:D

ඔන්න දැන් ඉතින් අංකල්ගේ කතාව යන අතරේ මට ඉස්සරහා සිට් එකේ වාඩිවෙලා හිටපු ගැනු කෙනෙකුත් මේකට මැදිහත් වෙලා මහා සහාසික විදියට කිව්වා "දැන් දෙමෙල්ලු කෙළින්න ගත්තාම රඟේ තේරේවි"කියලා.ඒ විතරක් නෙමේ මෛත්‍රිට ජන්දේ දීපු උන්ට හෙණ ගහන්න ඕනේ කියලත් කිව්වා.ආන්ටි එහෙම කිව්ව ගමන් මම ජනේලේ අයිනේ හිටිය මගේ කෙල්ලවත්  තල්ලු කරලා ජනේලෙන් එළියේ බැලුවේ මටත් හෙණයක් ඒවිද සැකයෙන්:D ඒ ආන්ටිගේ දේශප්‍රේමි,දෑහිතකාමී හෙණ යෝජනාවෙන්  පස්සේ බස් එකේ නැගිට සිටි තවත් කෙනෙක් ඒ හෙණ යෝජනවා අනුමත කරමින් කිව්වා "වෙනසක්නේ ඕනේ වුණේ,දැන් ඔය වෙලා තියෙන්නේ,හොරු හොරු කියලා අපහාස කරනවා අර මනුස්සයාට,ඕවාට සහ ගැහුවේ නැතිනම් තමා පුදුමේ කියලා.   

දැන් මෙව්වා අහලා මගේ කට නලියනවා මේ දේශහිතේසී අංකල්ලා,ආන්ටිලාගෙන් අහන්න "ඇයි යකෝ අපේ ඕනේකමටද තව අවුරුදු දෙකක්ම රට කන්න පුළුවන් කම තියාගෙන ජන්දේකට ගියේ" කියලා.එත් මගේ හිතේ තිබ්බ ඒ සිතුවිලි වචන කරන්න ඉඩ නොලැබුණේ මට එහා පැත්තේ හිටපු සුදු මගේ කනට කරලා ඒ කතාවට එකතු වෙන්න එපා කියලා දාපු ආදරණිය තහංචිය නිසා.මොකද ඇය දන්නවා මම එතන හිටපු පිරිසට එරෙහි දේශද්‍රෝහියෙක් බව.


ඉතින් ඒ මහින්දවාදී යටත්වැසියන්ට එරෙහිව කියන්න දහසක් දේ තිබ්බත් මම නිහඩව හිටියා.යම් විදියකින් කෙල්ල කිව්ව දේ අහන්නේ නැතුව මමත් මගේ වටේ ඉඳන් අපේ අන්තිම රජතුමාගේ ගුණ ගයනා කරන අයට කිසියම් දෙයක් කිව්වා නම් ඒ පිරිස එකතු වෙලා මට ගහන්නත් තිබ්බා.අපරාදේ කියන්න බැහැ ඒ තරම් ජාත්‍යලයක්!  


කොහොමින් හරි ජන්දෙන් පැරදිලා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ගෙදර ගිය මිනිහා ගැන මේ අය මේ තරම් විස්සෝප වෙන්නේ ඇත්තටම රටට තියෙන ආදරේ නිසාද?නැතිනම් තමන්ගේ පටු අරමුණු නිසාද?නැතිනම් මේ හැමදේම ජාත්‍යන්තර කුමන්ත්‍රණද?මට ඕනේ වුණේ අර මහින්දගේ අධම,මජර ඒකාධිපති පාලනයේ වෙනසක්.ඒ ඒකාධිපති පාලනය වෙනස් වෙලා තිබ්බත් අපි බලාපොරොත්තු වෙච්චි වෙනස ඒ විදියෙන්ම වෙලා නැහැ.ඒ ගැන කණගාටුවක් තිබ්බත් ඒ කණගාටුව මහින්ද රාජපක්ෂ නැවත රජ කිරීමට නම් හේතුවක් නොවේ. 


  

Monday, January 26, 2015

රට පෙරට (ද) ?

වියයුත්ත එපරිද්දෙන්ම සිදුවෙමින් මහින්ද රාජපක්ෂ පරදවමින් විපක්‍ෂ අපේක්‍ෂකයා ජය ලැබුවා.ජනධිපතිවරණයට පෙර අලුත් රටක් ගැන තිබ්බ බලාපොරොත්තු ඉටු වෙනවා දකිනකොට හිත ඇතුළේ ලොකු සතුටක් දැනෙනවා.අලුත් රජයේ යම්,යම් අඩුපාඩු පෙනෙන්නේ නැතුව නෙමේ.නමුත් අවුරුදු ගාණක් ආපස්සට ගිය රටක්,ක්‍රමයක් දවසින් දෙකින් එක පාරටම වෙනස් කරන්න අමාරුයි.නමුත් දැන් පේන්න තියෙන ඒ වැරදි,අඩුපාඩු සුළුවෙන් තකන්නේ නැතුව දැම්මම හදා ගන්න එක ආණ්ඩුවට වගේම රටටත් හොඳයි.

පරද්දන්න බැහැ,අමාරුයි කියලා හිතපු පාලනයක් පෙරළා දමන්න ජනතා බලයට හැකි වුණා.රට ත්‍රස්තවාදයෙන් මුදවා ගත්තා වුණත් මිනිසුන්ගේ සිතීමේ නිදහසට සිමා පනවලා සමාජය නිද්‍රශීලි කරලා හොරු,තක්කඩි,කට්ටඩි එක්ක රට තමන්ගේ හිතුමනාපෙට සදාකල්ම පාලනය කරන්න හිතාගෙන හිටපු පාලකයාට අකමැත්තෙන් හෝ තමන් වාඩි වෙලා හිටපු සිහසුනෙන් බැහැලා යන්න සිද්ධ වුණේ ඔහු වටා සිටි අයගේ ක්‍රියාකලාපයන් නිසා කියලා බොහෝ දෙනා පැවසුවත් ඔහුගේ පරාජයේ ඒ අය වගේම ඔහුත් කොටස්කරුවෙක්.තමන් වටා ඉන්න අය පාලනය කර ගන්න බැරි කෙනා කොහොමද රටක් හරියට පාලනය කරන්නේ?

කොහොමින් කොහොම හරි ජනාධිපතිවරණයට කලින් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් දිවිපුදන්න තරම් සුදානමින් සිටි අය මැතිවරණයෙන් පසුව මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තමන්ගේ කරගන්න උත්සහා කරන හැටි හරිම හස්‍යාජනකයි.එක අතකට ඒ ඉතින් මේ රටේ දේශපාලනයේ හැටිනේ.අවස්ථාවාදී දේශපාලකයෝ එක මොහොතින් තමන්ගේ පාට වෙනස් කරගන්නේ හරියට නිකං අහස වගේ,එක එක වේලාවට එක එක පාටයි.

ඒ කතා කොහොම වුණත් දැන් රට ඉස්සරහා ලොකු අභියෝගයක් තියෙනවා.එක තමයි මේ මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයාගේ ආණ්ඩුව මහින්ද මහත්තයාගේ ආණ්ඩුව ගිය පාරේම යන්න නොදී "යහපාලන" මාවතේම ඉදිරියට අරන් යන එක. ඒක වේදිකාවල කියන තරම් කරන්න පහසු කරුණක් නොවුණත් කරන්න බැරි අපහසු දෙයක් නෙමෙයි.

මට හිතෙන විදියට අලුත් ආණ්ඩුවේ දින සියයේ වැඩ පිළිවෙළ තුළ ප්‍රමුඛත්වය දෙන්න ඕනේ ව්‍යවස්ථා සංශෝධනයට.දුෂිතයින්ට,සොරුන්ට අනිවර්යෙන්ම නිතිය ඉදිරියට පමුණුවා දඬුවම් දිය යුතුයි.එකේ තර්කයක් නැහැ.නමුත් මේ වේලාවේ මුල්තැන දෙන්න ඕනේ ව්‍යවස්ථා සංශෝධනයටඔළු ගෙඩි මාරු වීමෙන් පමණක් රටට යහපතක් වෙන්නේ නැහැ.එකට ක්‍රමයේ වෙනසක් තියෙන්න ඕනේ.ඒ කරුණ සම්පුර්ණ කරගන්න පුළුවන් නම් මේ ජයග්‍රහණය තවත් අර්ථන්විත වනු නිසැකයි.

කලින් ජනාධිපතිගේ ආකර්ශනිය තේමවක් තිබ්බේ "රට පෙරට" කියලා.හැබැයි ඉතින් එක තේමා පාඨයටම සිමා වෙලයි තිබ්බේ.කිසියම් භෞතිකව පෙනෙන සංවර්ධනයක් තිබ්බත් රටේ සංස්කෘතිම හෝ අධ්‍යාත්මික සංවර්ධනයක් තිබ්බේම නැති ගාණයි."රට පෙරට" කොහොම වෙතත් "රට වලට" ගිය යුගයක් කියලායි මට නම් හිතෙන්නේ ඒ යුගේ ගැන. 

කොහොමින් කොහොමහරි ගිය දේවල් වලට වඩා දැන් උදා කරගන්න,දිනා ගන්න සැහෙන දේවල් තවත් බොහොමයක් තියෙනවා.අපි බලමු මේ ආණ්ඩුව යන මාවත දිහා ඉවසිල්ලෙන්.හැබැයි මේ ආණ්ඩුවත් ගියොත් මහින්ද ගිය කෑලෑ පාරේම මේ ආණ්ඩුවට විරුද්ධව ලියන්න කතා කරන්න පසුබට වෙන්නෙත් නැහැ අපි.මොකද අපිට ඕනේ ආපස්සට යන රටක් නෙමේ පෙරට යන රටක් නිසා.

Thursday, October 16, 2014

තුන්වරක් මහින්ද හා ප්‍රජාතාන්වාදය.


විවිධ  නම් වලින් හඳුන්වන ශ්‍රී ලංකාවේ නිල නාමය වන්නේ "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය"යන්නයි.එම නිල නාමයේ සඳහන් වන ප්‍රජාතාන්ත්‍රික යන වදනෙන් ශ්‍රී ලංකාව ප්‍රජාතාන්වාදී රටක් ලෙස අර්ථ ගන්වන නමුත් එය නාමික ප්‍රජාතාන්වාදයක් බව මාගේ හැඟීමයි.

ප්‍රජාතාන්වාදී රටක මුලිකම ලක්ෂණයක් වනුයේ ජනතා පරමාධිපත්‍යයි.ජනතා පරමාධිපත්‍ය මැන බලනා ප්‍රධාන සාධකයක් වන්නේ  මැතිවරණ පැවැත්වීමයි.ඒ අනුව යමින් ශ්‍රී ලංකාවේද මැතිවරණ පවත්වන නමුත් එම මැතිවරණ සැමවිටම බලයේ සිටින පාලකයින්ට වාසි සහා තමන්ගේ න්‍යය පත්‍ර ක්‍රියාත්මක කිරීමට හැකි පරිසරයක් තුලදී පමණක් පැවත්වීම ජන්දදායකයින් ලෙස අපට කරනා බලවත් අසාධාරණයක් මෙන්ම ප්‍රජාතාන්වාදයටද එල්ල කරනා බලවත් පහරකි.

2005දී තියුණු ජයක්ද 2010දී පහසු ජයක්ද ලබා ගනිමින් රටේ පාලන සුක්කානම දෙවරක් අතට ගත් මහින්ද රාජපක්ෂ ප්‍රජාතාන්වාදී වෙස් මුහුණක් යළි  පැළද ගනිමින් නැවතත් තරගයට පිවිසෙන්න සැරසෙන මොහොතේ ජනතා විමුක්ති පෙරමුණත්,සරත් එන් සිල්වාත් ඇතුළු පිරිසක් එසේ තෙවැනි වරටත් මහින්ද රාජපක්ෂ මහතා තරඟ වැදීම ව්‍යවස්ථා විරෝධී බව පවසමින් විවිධ සම්මත්‍රන පවත්වමින් යන අතර ශිරාල් ලක්තිලක විසින් පවසා සිටියේ මැතිවරණ කොමසාරිස්වරයා නැවත වරක් මහින්ද රාජපක්ෂට නාමයෝජනා ලබා දෙන්නේ නම් ඔහුට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන බවයි.

එසේ මීළඟ ජනාධිපතිවරණයට තෙවැනි වරටත් ජනාධිපතිවරයාට ඉදිරිපත්වීමට හැකි/නොහැකි යයි කියා ගෙන එන තර්ක ගැන මෙයට පෙර රාජ් විසින් සටහනක් තබා ඇති අතර ඔය කුමන තර්කයක් යටතේ හෝ කුමන නීතියක් යටතේ වුවද මහින්ද රාජපක්ෂ නැවතත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම වැලක්විය නොහැකි කරුණක්ව තිබේ.මන්ද මේ වනවිටත් ජනාධිපතිවරයා විසින් නැවතත් තමන් තරඟ කරන බවට කර තිබෙන ප්‍රකාශ හේතුවෙන්ය.

සම්මත හෝ අසම්මත වේවා මහින්ද රාජපක්ෂට රෑට හිතෙන දේ පසුවදා රටේ නීතිය වන විට කවුරුන්,කෙසේ තර්ක කෙරුවත් කුමන අධිකරණ ක්‍රියාමාර්ගයක් ගනු ලැබුවත් ඒ සියල්ල තමන් සතු අසීමාන්තික විධයක බලය යොදවමින් නිරර්ථක කරන්නට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පසුබට නොවන හෙයින් මීළඟ ජනාධිපතිවරණයටද ඔහුගේ පැමිණීම අනිවාර්ය වී තිබේ.

එය එසේනම් දැන් කළයුත්තේ මහින්දට තුන්වරක් බෑ යනුවෙන් කීම නොව මහින්ද පරාජය කල හැක්කේ කුමන ආකාරයෙන්ද යන්න විමසා බැලීමයි.මන්ද පළමුවර මහින්ද චින්තනයෙන්ද,දෙවැනි වර මහින්ද චින්තන ඉදිරි දැක්මෙන්ද රට විශාල ආර්ථික,සමාජ අගාධයක් කරා ගෙන ගිය/යන මහින්ද මහතා තවත් වරක් බලයට පැමිණියද මේ යන ගමන වේගවත් වනු මිසක ඉන් රටට සෙතක් වේයැයි සිතිම අපහසු කරුණක් වී තිබේ.රජයේ හවුල්කරුවන් පවා රජය ගැන කලකිරීමට පත්ව සිටින මොහොතක විපක්ෂය මෙයට වඩා ක්‍රියාකාරීව ජනතාව වෙත සමීප වුවහොත් මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ජයග්‍රහණය සිහිනයක් කිරීම අපහසු නොවේ.

Wednesday, May 28, 2014

කදුළු ඇසේ තවම නැගේ මටත් හොරෙන් වාගේ.





         

අමාවක අහසට පුර සඳක්කොහින්දෝ
ගලා හැලෙන කදුළු වලට තිතක් කොහින්දෝ
පරවී වැටෙන මල් පොකුරේ සුවඳකොහින්දෝ
ඔබ ගැන නොසිතා මට හෙටක්කොහින්දෝ
  
එක කුඩයක් යට ගුලි වුණා මතකයි පොදවැස්සේ
දෙකොපුල් ඔබේ සිප ගත්තා ඒ හිරිමල්වයසේ
සිහිල් සුළන් හමා යද්දී අප වට කරනිතොරේ
තුරුල් වුණා ඔබ හෙමිහිට මගේ ළමැදමැද්දේ
  
අතිනත ගෙන අපි ඇවිදපු නුවර විදීදිගේ
අරලියා මල් පිපී තිබුණා මතකදහැන්දෑවේ
අන්නතවූ සතොසින් පිරි ඒ අතීතේ සිහිවන හැමවාරේ
කදුළු ඇසේ තවම නැගේ මටත් හොරෙන්              




වාගේ
ප.ළි.ය:-මේවා කවිද මන්දා.?කොහොම වුණත් මේ කවි ටික ලස්සනට මේ විදියට දාගන්න පුළුවන් වුණේ කාලෙකට කලින් අපේ දේශා මැතිතුමා එවාපු ලින්ක් එකක් උපකාරයෙන්.ඉතින් ඒ ලිනික් එක නිර්මාණය කරපු අළුත් මල්ලිටත්,දේශාටත් දෙන්නාටම තුති.. පින්තුරේ අන්තර්ජාලෙන්.